HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලොව අංක එකේ මාරයා ‘කොවිඩ් -19’ (COVID-19) තවමත් නිදැල්ලේ!

පසුගිය සති කීපය තුළ ලොව හෙල්ලූ කොරෝනා වෛරස විශේෂයට දැන් නමක් දීලා තියෙනවා. ලෝක සෙෳඛ්‍ය සංවිධානය විසින් එයට දී ඇති නම ‘කොවිඩ් -19’ (COVID-19) යන්නයි. CO යන කොටසින් කොරෝනා යන්නත් VI යන කොටසින් වෛරස යන්නත් D යන අකුරෙන් රෝගයක් යන්නත් 19 න් එය මුලින්ම හමුවූ වසරත් දැක්වෙනවා. මෙසේ නම් කරන්නට හේතුව මෙතෙක් එවැනි වෛරස හමුවූ ප්‍රදේශ හා ඒවාට ඈඳුණු සතුන්ගේ නම් යොදා ගැනීම නිසා ඇතිවන අගතිය දුරු කර ලන්නටයි.


‘කොවිඩ් -19’ වෛරසය දැන් සෙෳඛ්‍ය ප්‍රශ්නයකට වඩා දේශපාලන හා ආර්ථික ප්‍රශ්නයක් වෙලා ඉවරයි. චීනය තුළ පමණක් නොව ලොව පුරා රටවලට සංචාරක කටයුතුවලට ඉන් බාධා පැමුණුණා පමණක් නොව වෙළෙඳ ගනුදෙනුවලට, භාණ්ඩ හුවමාරුවට පවා තහංචි පැනවීමට හේතු වුණා. මහජනයා විශාල වශයෙන් සහභාගිවන අන්තර් ජාතික උත්සව හා ක්‍රීඩා කරග සියල්ලම නවතා දමා ඉවරයි. ඇමරිකාව ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල් චීනයෙන් එන ගුවන් ගමන්, නැව් ගමන් පැමිණීම සම්පූර්ණයෙන් ම තහනම් කරලා. තවමත් එහි ඇති අනතුරුදායක බව පහව ගිහින් නැහැ. ලොව අංක එකේ මාරයා ලෙස හැඳින්වෙන මේ වෛරසය වැළැක්වීමට එන්නතක් තවමත් නිපදවා නැහැ. දැනට සොයා ගෙන ඇති එම එන්නත එන්නට තවත් මාස 18ක් පමණ ගත වන බව ලෝක සෙෳඛ්‍ය සංවිධානය කියනවා.

චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ඇරඹුණු මේ ‘කොවිඩ් -19’ මේ වන විට රටවල් 25 කට වැඩි ගණනකට පැතිර ගිහින් තියෙනවා. පසුගිය බදාදා (පෙබ. 13 වැනිදා) වන විට රටපුරා ඒ වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 60,000ක් වූ අතර ඉන් මෙතෙක් මරණයට පත් වූ සංඛ්‍යාව 1355ක්. මේ මරණවලින් වැඩි ගණනක් වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතෙන් හා වූහාන් නගරයෙන්. ඉන් බදාදා දිනය තුළ පමණක් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 14,840ක්. මියගිය ගණන 242ක්. මේ වන විට ඒ පළාතේ පන් කෝටි හැට ලක්ෂයක් ජනතාව ඔවුන් ජීවත්වන පරිසරය තුළම නිරෝධායනයට ලක් කරලා. ඔවුන්ට වෙනත් ප්‍රදේශවලට යාම තහනම් කරලයි තියෙන්නෙ. මෙය හදිසියේ වැඩි වීමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දකින්නේ නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ මෙය කලින් තොරතුරු දීම අඩුවෙන් කිරීමත්, චීන ජනපතිගේ නියෝගය මත දැන් නිවැරදි තොරතුරු දීම නිසා සිදු වූ වෙනස්කමක් ලෙසයි. ඒ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට ප්‍රශංසා කරනවා.

‘කොවිඩ් -19’ වෛරසය හේතුවෙන් ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය වූ චීන ආර්ථිකය විශාල පසුබෑමට ලක්වී ඇතැයි ANZ බැංකුව කියනවා. එරට GDP වර්ධන වේගය සියයට 5 සිට 3.2 දක්වා දැන් අඩුවී තියෙනවා.


මගීන් විශාල වශයෙන් ගෙන යන කෲස් නෞකාවලට එල්ලවී ඇති තර්ජනය සුළු පටු නැහැ. මේ වන විට චීනයෙන් හමුවී ඇති විශාලම රෝගීන් ගණන වාර්තා වී ඇත්තේ ජපාන වෙරළේ නවතා ඇති එවැනි මගී නැවකින්. ඉන් හමුවී ඇති ආසාදිතයන් ගණන් 174ක් වන අතර ‘කොවිඩ් -19’ වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූ ගණන 39ක්. දහස් ගණන් මගීන් සහිතව ඒ නැව දින 14ක් නිරෝධයනය කර නැංගුරම් ලා තියෙනවා.

මේ වෛරසය චීනයට ආ හැටි ගැන විවිධ මත පළවුණා. කැනඩාවේ රසායනාගාරයකින් චීන ජාතික ඔත්තුකරුවන් දෙපළක් විසින් ජීව අවියක් තැනීමට චීනයට ගෙනා එකක් ලෙස හැඳින්වුණා. ඒ පසුගිය දෙසැම්බරයේ මුල්ම රෝගියා හමු වූ වූහාන් නගරයේ මත්ස්‍ය හා සත්ව අළෙවි වෙළඳ පොළ අසල චීන පර්යේෂණාගාරයක් ඇති නිසයි. ඒ වගේම පසුගිය ඔක්තෝබරයේ වූහාන් නගරයේ පැවති ලෝක හමුදා ක්‍රීඩා උළෙලට ආ විදේශ ඔත්තුකරුවන් විසින් දමා ගිය වෛරසයකින් මේ හදිය ඇතිවූයේ යැයි මතයකුත් පළ වී තියෙනවා. අනෙක් මත බොහොමයක් පවසන්නේ එය සතුන්‍ගෙන් මිනිසාට බෝ වූවක් ලෙසයි.

චීන විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ‘කොවිඩ් -19’ වෛරසය නිසැකවම බෝවන්නට ඇත්තේ වවුලන්ගෙන් හෝ සර්පයන්ගෙන් හෝ විය හැකියි කියායි. කෙසේ නමුත් මේ බව තහවුරු කිරීමට තවමත් හැකි වී නෑ. චීන ජාතිකයන් සතුන් රැසක් ආහාරයට ගන්නා අතර, සර්පයන් සහ වවුලන් ද ඒ අතර ඉන්නවා. සර්පයන්ට වඩා කොරෝනා වයිරස මිනිසුන්ට ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇත්තේ වවුලන්ගෙන්.

‘කොවිඩ් -19’ වෛරසය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදකයකු වන ප්‍රංශයේ ‘පාෂ්චර්’ සමාගමේ ප්‍රධානී ආචාර්ය අර්නෝද් ෆොන්ටැනෙට් අවධාරණය කර ඇත්තේ මෙය කෙළින්ම වවුලන්ගෙන් මිනිසාට බෝවන්නට ඇතැයි තමන් විශ්වාස නොකරන බවත්, ඒ සඳහා ‘අතරමැදි සතකු’ සිටිය යුතු බවයි.

‘කොවිඩ් -19’ වෛරසයේ සුලමුල සොයා ගැනීමට චීන වෛද්‍ය පර්යේෂකයන් ඉමහත් වෙහෙසක් දරනවා. වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම, එය පැතිරීම වැළැක්වීමටත්, ඒ සඳහා පිළියමක් ලෙස ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ගැනීමටත්, රෝගීවූවන්ට ප්‍රතිකාර කිරීමේදීත් ඉතා වැදගත් වෙනවා. චීන පර්යේෂකයන් දිවා රෑ වෙහෙසෙමින් ඒ සඳහා වෙහෙසෙනවා. එහිදී ඒ වෛරසයේ ජාන ව්‍යුහය හඳුනා ගැනීමට උත්සාහ දරද්දී, චීනුන් ආහාරයට ගන්නා සතුන්ගේ (විශේෂයෙන් වූහාන් සත්ව වෙළෙඳපොළේ විකිණීමට ඇති සතුන්ගේ සිරුරුවල ජාන සාම්පල පැතිරෙන වෛරස සාම්පල සමඟ සසඳා බැලීමක් සිදු කෙරුණා. සත්ව විශේෂ 1,000 ක සාම්පල මේ අයුරින් සැසඳීමට යොදා ගැනුනා. මේ වෛරසයේ ජාන සියයට අනූ නමයක් ම සමාන වූයේ කබල්ලෑවන්ගෙන් ලබා ගත් ජාන ව්‍යුහය ටයි. එය එසේ නම් වෛරසය වවුලන්ගෙන් කබල්ලෑවන්ටත්, ඉන්පසු මිනිසුන්ටත් බෝවී තියෙනවා. දැනට රෝගය අප අතරට ගෙනා සතා ලෙස ඇඟිල්ල දික් වෙන්නේ කබල්ලෑවාටයි.

දැනට පවතින තත්වය ලෝකයේ වෛරස විශේෂඥයන් කියන්නේ ඉක්මනින් මේ තත්වය පාලනය කර ගෙන ප්‍රතිශක්තිකරණ එන්නතක් සොයා නොගතහොත් මේ වෛරසය තවදුරටත් පැතිරී යමින් ලෝක ජනගහනයෙන් සියයට හැටකට එය ආසාදනය වීමෙ ප්‍රවණතාව ඇති බවයි. ඒ අනුව මරණ සංඛ්‍යාව අනුමාන කර ගන්න අපට පුළුවන්.

Post a Comment

0 Comments