m prash

2020.02 .12 – ලංකාදීප

රථ වාහන තදබදයෙහි ස්වභාවය ගැන අලූතින් යමක් සදහන් කිරීම අවශ්‍ය නැත. කොළඹ නගරයට එන සහ එහි සිට පිටත්ව යන සැතපුම් විස්සක වට ප‍්‍රමාණයක ජීවත්වන සියළුම දෙනා එයින් පීඩා විදිති. මහනුවර, ගාල්ල හෝ මාතර වැනි අනෙක් නගරයක ස්වභාවය ද එයට නොදෙවෙනිය. කොළඹ නගරය වටා පිහිටි උප නගර පවා අධික වාහන තදබදයක පවතින අතර කාලය හා ධනය නිරපරාදේ වැයකිරීම බලවත් අපරාධයකි.

පර්යේෂකයන් ගණන් බලා ඇති අන්දමට තදබදය පවතින අවස්ථාවල මෙරට ප‍්‍රධාන නගර ආශ‍්‍රිත වාහන ගමනාගමන වේගය පැයට කිලෝ මීටර් හතරකි. සෙමෙන් ගමන් කරන වාහන වල පිලිස්සෙන ඉන්ධන වලින් පිටවන දුම වායු දූෂණයට හේතු වී තිබේ. වාහන වලින් පිටවන දුම සියයට හැත්තෑවක ප‍්‍රතිශතයකින් නාගරික වායු දූෂණයට බලපා ඇති බව ප‍්‍රකාශ වෙයි. රටට අවශ්‍ය ඉන්ධන සදහා වසරකට වියදම් කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9 කි. මෙයින් සියයට හැටකට වඩා රථ වාහන ධාවනයට බව ද නොරහසකි. විශාල විනිමය ප‍්‍රමාණයක් වැය කර පැයට කිලෝ මීටර් හතරක වේගයෙන් තදබදය පවතින අවස්ථාවල ගමන් කරන වාහන වලින් පිට කරන දුම බලවත් සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කරන බව පිලිගත යුතුය.

scan0211රථ වාහන තදබදය හා අධික ඉන්ධන පිරිවැය පාලනය කරනු සදහා ගත හැකි පියවර ගැන නොයෙක් අදහස් තිබේ. පර්යේෂණ කර වාර්තා නිකුත් කර ඇත. ප‍්‍රායෝගිකව යමක් සිදුවී නැත.

වාහන පරිහරණය අවම කරන අලූත් අදහස් ජාත්‍යන්තරයෙහි ක‍්‍රියාත්මක වෙයි. පුද්ගලික වාහන පරිහරණය අවම කරන අතර පොදු වාහන භාවිතා කරන නැඹුරුවක සිටී. පොදු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට හදුන්වා දී ඇති වාහන හවුලේ භාවිතා කිරීම ඉතා ජනප‍්‍රිය වී තිබේ. තොරතුරු තාක්ෂණය දියුණු වන විට ඒ වෙනුවෙන් සකස් වූ ඇප් වලින් වාහන ඇනවුම් කළ හැකි අතර වාහන වල ගමන හා හිස්ව ඇති ආසන වලට අතරමග දී මගීන් නංවා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බව දැක්වෙයි. ඇමරිකාවේ කරන ලද නවතම සමීක්ෂණයකට අනුව වාහන හවුලේ භාවිතා කරන ක‍්‍රම හෙයින් පුද්ගලික වාහන තිස් දෙකක් කරන සේවය එක වාහනයකින් කරන තරමට පැතිරී තිබේ. තමන්ගේ ගමනටම වෙන් කරන වාහනය යන සංකල්පය වෙනුවට ගමන සදහා  ඕනෑම වෙලාවක අනුන්ගේ වාහනයක් පරිහරණය කළ හැකි පරිදි සංකල්ප වෙනස් වන විට මහ පාරේ පවතින අධික තදබදය යම් ප‍්‍රමාණයකට පාලනය කළ හැකිය.

සමහර රටවල් නගරයට වාහන ඇතුළු වන විට බදු අය කරන අතර අධික තදබදය පවතින අවස්ථාවල බද්ද දෙගුණ තෙගුණ කෙරේ. වාහන නතර කරන තැන් අහෝසි කරන අතර එය පුද්ගලික වාහන භාවිතාව අධෛර්ය කරන පියවරකි. විදුලියෙන් ධාවනය කරන පොදු වාහන අධික බදු වලින් නිදහස් කරන අතර එය පරිසරය ආරක්ෂා කරන පියවරක් සේ සැලකේ. කුලී පදනමකින් හෝ හවුලේ පරිහරණය කරන විදුලිය බලයෙන් ධාවනය වන වාහන වලට ලැබෙන සහන අනුව මගීහු ගමනට කරන වියදම සෑහෙන ප‍්‍රමාණයකින් පහත වැටේ.

වායු දුෂණය අවම කරන ජනතාව ගලවා ගැනීම සහ අධික ඉන්ධන වියදම පාලනය කරන අරමුණ ඇතිව විප්ලවීය තීරණයකට යා යුතුය. කැළඹිල්ලක් ඇති කර පවතින රාමුවෙන් ඔබ්බට ගිය විසදුමක් කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ. ශ‍්‍රී ලංකාව අලූත් යුගයකට ඇතුළු වන විට පොදු ප‍්‍රවාහනය දියුණු කරන තීරණ ගැනීම වැදගත්ය. නගරයට එන වාහන පාලනය කිරීම අවශ්‍යය. පුද්ගල වාහන අධෛර්යය කර නගරයට යන එන විට වාහන හවුලේ පරිහරණය කරන ක‍්‍රම ප‍්‍රචලිත කරන පියවරකට යා යුතුය. වෙනත් විකල්පයක් රටට නැත.