HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දැනුම දෙන විස්මිත එක්ටැම් ගෙයක් මහ මඟ දුටිමි!

නවසීලන්තයේ අප නැවතී සිටි නිවහනේ සිට ෂැපර්රොක් මාවතේ ඇවිද ගෙන යන විට මට අපූරු එක් ටැම් ගෙයක් දක්නට ලැබුණා. එය දැනුම දෙන එක් ටැම්ගෙයක්. තවත් විදියකින් කීවොත් ලී කණුවක් මත පිහිටි කුඩා පුස්තකාලයක්. ‘ෆ්‍රී ලිට්ල් ලයිබ්‍රරි’ කියා ලියා තිබු එය පිහිටියේ කුඩා උද්‍යානයක් අසල දැව කණුවක් මතයි. ඒ තුළ පොත් 50ක විතර එකතුවක් තිබුණා. එය මෙහි දක්නට ලැබෙන ප්‍රජා සත්කාර සේවයක්. එය එහි ඇති පොත් ගෙන ගොස් කියවා නැවත තබන ලෙසත් කැමති නම් තවත් පොත් එකතු කරන ලෙසත් එහි ඉල්ලීමක් කර තිබුණා. එහි වූ කුඩා නාම පුවරුවෙහි සඳහන් වූයේ එය හේමා ජයසූරියගේ පොදු සේවාවක් ලෙස කළ පරිත්‍යාගයක් කියායි. ‘ජයසූරිය’ යන නම සිංහල අපට නුහුරු එකක් නොවෙයි.

‍මේ ගැන මම, ඕක්ලන්ඩ් පුස්තකාල සේවයේ නියුතු මගේ ඥාති දියණියක වූ සුරනී සමග කී විට ඇය කීවේ පරිත්‍යාගශීලී පුද්ගලයන් විසින් තමන්ගේ රුචි පරිදි එවැනි එක්ටැම් ගේ පුස්තකාල මහ මඟ සිටුවා ඇති බවයි. නගරාධිකාරියේ අවසරය ඇතිව ඉදිකර ඇති ඒවා නිදහස් පුස්තකාල ලෙසයි සැලකෙන්නේ. ඒවාට අගුල් නැහැ. මහ මඟ යන ඕනෑම කෙනෙකුට එයින් පොතක් රැගෙන ගොස් කියවා ආපසු ගෙනවුත් තැබිය හැකියි.


මේ එක් ටැම් ගේ පුස්තකාලය නිසා මට නවසීලන්තයේ පුස්තකාල ගැන සොයන්න ආසාවක් ඇති වුණා. මං ඕක්ලන්ඩ් නගරයේ පුස්තකාල කීපයකට ම ගියා. ඇත්තෙන්ම නවසීලන්තයේ ඇත්තේ නිකම්ම පුස්තකාල නෙවෙයි. ඒවා ‘නොලේජ් සෙන්ටර්ස්’ හෙවත් දැනුම සපයන මධ්‍යස්ථානයි. පුරවැසියකුට අවශ්‍ය ඕනෑම දෙයක් ගැන දැනුවත් වෙන්න ඒ තැනකට ආවාම පුළුවන්. ඕනෑම විෂයයක් ගැන තමන්ට ඇතිවන සෑම ආකාරයේම ගැටළු විසඳා ගන්න, ඒ සඳහා අවශ්‍ය විශේෂඥයන් හමුවන්න කල් තියා දැනුම් දීමෙන් පසු මෙ‍හිදී පුළුවන්. ඒ සඳහා විශේෂ කාමර තියෙනවා. පාසල් සිසුවකුගේ නිබන්ධනයක් සම්පාදනය කරන හැටි, පොතපත පරිශීලනයෙන් පර්යේෂණයක යෙදෙන්නකුට ඒ සඳහා අවශ්‍ය සහය ලබා ගන්නා හැටි පමණක් නොව බදු උපදෙස් මෙන්ම එදිනෙදා ජීවිතයේ මතුවන ගැටළු විසඳා ගන්න හැටි ආදිය හැම එකක් ගැනම දැන ගන්න හැකියාව තියෙනවා.


ලෝකයේ පැරණි චිත්‍රපට බලන්න කැමති අයට ඒ සඳහා පහසුකම් මේ පුස්තකාලවල සපයා තියෙනවා. මේ එක් පුස්තකාලයක මා දුටුවා, කුඩා දරුවන්ට සෙල්ලම් කරන්න වෙන කොටසක් සකස් කර තිබුණා. අම්මා පුස්තකාලය පරිහරණය කර එනතුරු සෙල්ලම් කරමින් සිටින කුඩා දරුවන් කීප දෙනකුම එහි සිටිනු මා දුටුවා.

නවසීලන්තය පුරා මෙවැනි පුස්තකාල 667ක් තියෙනවා. එයින් අඩකට වඩා ඇත්තේ මහජන පුස්තකාලයි. පාසල් පුස්තකාල 2,500ක් විතර තියෙනවා. පුස්තකාල එකට වැඩිය ඇති පාසලුත් තියෙනවා. නවසීලන්තයේ මා සංචාරය කළ ඕක්ලන්ඩ් නගරය කේන්ද්‍ර කර ගෙන පිහිටුවා ඇති ඕක්ලන්ඩ් පුස්තකාල පද්ධතියට මහජන පුස්තකාල 55ක්, පර්යේෂණ මධ්‍යස්ථාන 5ක් හා ජංගම පුස්තකාල 7ක් ඇතුළත්. ඒ හැරෙන්නට නගරයේ සීමාන්තික ප්‍රදේශයේ ග්‍රාමීය පුස්තකාල 10ත් 20ත් අතර ගණනක් තියෙනවා. ඒවා ඍජුව ම ඕක්ලන්ඩ් පුස්තකාල පද්ධතියට ඇතුළත් නොවුවත් ඒවා පවත්වා ගෙන යාමට අවශ්‍ය සහය ඔවුන්ගෙන් ලැබෙනවා.

ඕක්ලන්ඩ්හි පදිංචි වලංගු ලිපිනයක් ඇති පාඨකයකුට එහි සාමාජිකත්වයක් ලබා ගන්න පුළුවන්. එමගින් වරකට පොත් 35ක් ලබා ගත හැකියි. මේවා දවස් 28ක් ළඟ තබා ගත හැකියි. පොත්වලට අමතරව චිත්‍රපට, ටෙලිවිෂන් වැඩ සටහන් ඇතුළු විවිධ අයිතම ඊට ඇතුළත් වෙනවා. බොහොමයක් ඒවා නොමිලයේ සැපයෙන අතර කුලී පදනම මත දෙනු ලබන ඩීවීඩී වැනි ඒවාට මුදලක් අය කෙරනවා.

කුඩා අකුරු කියවීමට අපහසු අයට ඒ පොත ම ලොකු අකුරින් කියවන්න විශේෂ අංශයක් තියෙනවා, ‘බිගර් ෆොන්ට්’ කියා. එහි ඇති පොත් මුද්‍රණය කර ඇත්තේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලොකු අකුරින්.

ඕක්ලන්ඩ් පුස්තකාල සේවාවට අයත් වෙබ් අඩවිය මගින් පාඨකයන් දැනුවත් කරනවා, ඔවුන්ගේ හැම ශාඛාවකම සිදු කෙරෙන වැඩසටහන් ගැන.

ඒ අනුව පාඨකයන්ට අදාළ ශාඛාවට ගොස් ඒවාට සහභාගි විය හැකියි. ඒ වැඩ සටහන් බොහොමයක් ම කියවීම ප්‍රවර්ධනය කරන ඒවායි.

නවසීලන්තයේ ලේඛකයන් ලියන පොත පළ කෙරෙන හැම අවස්ථාවක කතුවරයා කැඳවා ඒ කෘතිය ගැන ඔහු හා සමඟ කතාබහ කරන්න පුස්තකාලය හැම විටම කටයුතු යොදනවා.


ඒ වගේ පුස්තකාල වෙබ් අඩවිය ඔස්සේ නිවසේ සිට ඉ-පොතපත හා සඟරා ලබා ගෙන පරිශීලනය කරන්න පුළුවන්. අන්තර්ජාලය හරහා විශේෂ යෙදවුම් මගින් ඒවා කියවන්න ඔබට පුළුවන්.

ඕක්ලන්ඩ් නගරයේ වෙසෙන පහළොස් ලක්ෂයක් වන මුළු ජනගහනයෙන් හය ලක්ෂයක් පමණ දෙනා පුස්තකාල පරිහරණය කරනවා.

-පර්සි ජයමාන්න

Post a Comment

0 Comments