AI - MUSK vs. MA : කෘත්‍රිම බුද්ධි විවාදය



World AI Conference in Shanghai : 28 / 08 / 2019



පේ-පෑල්, ස්පේස්-එක්ස්, ටෙස්ලා, නියුරාලින්ක් - මේ ඊලෝන් මස්ක්ගේ නම ඇසුනු පමණින් මතකයට නැගෙන ලෝක පූජිත සමාගම්. 

ජැක් මා, අලි බාබා නිර්මාතෲ වගේම චීනයේ ධනවත්ම පුද්ගලයා, ඒවගේම චීනයේ සමාගම් අතරින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වර්ධනය සඳහා විශාල වශයෙන් ආයෝජනය කරන සමාගම් වලින් එකක්.

පසුගිය 28වැනිදා, ලෝක කෘත්‍රිම බුද්ධි සම්මේලනයකදී මේ පතාක යෝධයින් දෙදෙනා  එක වේදිකාවක  කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ගැන කතා කලා. 

ඊලෝන් මස්ක් - මට හිතෙන විධියට අපි බොහෝ දෙනෙක් කෘත්‍රිම බුද්ධියේ හැකියාවන් හා හැකියාවන් විභවය ගැන විශාල ලෙස අවතක්සේරු කරලයි ඉන්නේ. කෘත්‍රිම බුද්ධි විශේෂඥයින් හා පර්යේෂකයින්  පවා මේ වැරැද්ද කරනවා. ඔවුන් සිතන්නේ කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයකට ඉතා බුද්ධිමත් මිනිසෙකුගේ චින්තන හා කල්පිත හැකියාවන් තියෙයි කියලා. හැබැයි නුදුරු අනාගතයේදීම කෘත්‍රිම බුද්ධි යන්ත්‍රවල බුද්ධිමය හැකියාවන් ඝාතීය (exponential) ලෙස වැඩිවෙනවා. 

සාමාන්‍ය මිනිසෙකුට වඩා සිය ගුණයක් බුද්ධිමත්, මිනිසෙකුට වඩා දහස් ගුණයක වේගයෙන් සිතිය හැකි, ප්‍රතික්‍රියාකල හැකි, මහා පුස්තකාල තරම් විශාල මතක ගබඩාවන් ඇති යන්ත්‍රයක් ගැන සිතා ගන්නට පුලුවන්ද? 

නුදුරු අනාගතයේ බිහිවන කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර එවැනි ඒවා වනවා නිසැකයි. එවැනි යන්ත්‍රයක සිතුම් පැතුම්, ආකල්ප තේරුම් ගැනීමට පවා මිනිසාට පුලුවන් වෙයිද? සැබැවින්ම බැහැ, චිම්පන්සියෙකුට මිනිසෙකුගේ චින්තනය ගැන කිසිදිනක අවබෝධයක් ලබා ගන්නට පුලුවන්ද? බෑ! ඒ වගේමයි අපට වඩා සියගුණයක් බුද්ධිමත්, දහස් ගුණයක් වේගවත් සුපිරි බුද්ධියක් ඇති යන්ත්‍රයක් තේරුම් ගැනීමට කිසිසේත්ම අපට හැකියාවක් නෑ. 

එවැනි යන්ත්‍රයක් පාලනය කරන්න අපට පුලුවන්ද? එවැනි යන්ත්‍ර අපේ අණට කීකරු වෙයිද? මම යාඥා කරනවා එවැනි සුපිරි කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයක් මානව හිතකාමි ආකල්ප ඇති එකක් වෙයි කියලා. එහෙම නොවුනොත් අපට කලහැක්කේ කුමක්ද?

කියමනක් තියෙනවා "if you cant beat them, join them" කියලා එනම් පරද්දන්න බැරි අය සමග එකතු වෙන්න කියලා. මම නියුරාලින්ක් කියලා සමාගමක් හදලා, මිනිස් මනස පරිගණකයකට සම්බන්ධ කරන්න පුලුවන් තාක්ෂණයක් බිහිකරන්න උත්සහ කරන්නේ ඒ නිසයි. කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර සමග අපට හැරෙන්නටවත් පුලුවන් වෙන්නේ අපේ මනසත් කෘත්‍රිම බුද්ධි පරිගණකවලට බද්ධකරලා උසස් කරගත්තොත් (upgrade) විතරයි.

ජැක් මා : ඊලෝන් මස්ක්ට තාක්ෂණය ගැන පුලුල් දැක්මක් තියෙනවා. මම තාක්ෂණවේදියෙක් නෙමෙයි. ව්‍යාපාරිකයෙක්. මම හිතනවා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය දියුණුවෙමින්, ව්‍යාප්තවෙමින් යාමෙන් මිනිස් සමාජය අලුත් මානයකට ගෙනයයි කියලා.

අනාගතය ගැන අනාවැකි කියන්න අමාරුයි. මිනිස් අනාවැකි වලින් 99%ක්ම වැරදිලා තියෙනවා. ඒ නිසා මම කැමතියි ධනාත්මකව හිතන්න. මිනිස් වර්ගයාගේ අනාගතය ගැන සුබවාදීව දකින්න මම කැමතියි.

මම හිතනවා ඉතා දියුණු කෘත්‍රිම බුද්ධි තාක්ෂණ මගින් අද අපට විසඳුම් නැති, මිනිස් මනසට විසඳුම් සොයාගත නොහැකි ගැටලුවලට විසඳුම් සොයාදෙයි කියලා. අපට සිතාගන්නට බැරි අපූර්ව නිර්මාණ, අපූර්ව තාක්ෂණ, අපූර්ව විසඳුම් ඔවුන් බිහිකරයි.

ඊලෝන් මස්ක් - මම අසුබ වාදියෙක් නෙමෙයි. ඒත් තාක්ෂණයේ දියුණුව බලන්න. පුදුමාකාරයි. මීට දශක කිහිපයකට ඉස්සෙල්ලා පලවෙනි පරිගණක ක්‍රීඩාව වෙන්නේ පොන්ග්. එහාට මෙහා යන සමචතුරශ්‍රයකුයි, ඉරි දෙකකිනුයි නිර්මාණය වුනු ඉතාම සරල ක්‍රීඩාවක්. අද වෙනකොට සර්ව-තාත්වික සජීවී ක්‍රීඩා බිහිවෙලා. තව අවුරුදු කිහිපයකදී  AR/VR තාක්ෂණයෙන් ක්‍රීඩාව හා සැබෑලෝකය අතර වෙනස බොඳවෙලා යයි. 

කොටුවකුයි ඉරි දෙකකුයි ඇසුරින් සැදුනු පලමු ක්‍රීඩාවලින් ත්‍රිමාණ, තාත්වික, සජීවී ක්‍රිඩා බිහිවෙන්නෙ ගියේ අවුරුදු 30ක්-40ක් විතර. තව අවුරුදු 30කින් කෘත්‍රිම බුද්ධිය කොතැනක තියේවිද?

මට හිතෙන විධියට නම් මිනිසා කියන්නේ සුපිරි ඩිජිටල් ජීවයක් බිහිකරන බූට් ලෝඩර් එකක් විතරයි කියලයි. තාක්ෂණය ගැන දන්නේ නැති අයට කියනවා නම්, බූට් ලෝඩර් කියන්නේ කුඩා වගේම සරල පරිගණක මෘදුකාංගයක්. පරිගණකයක් පණගැන්වෙන්න මේ සරල බූට් ලෝඩර් මෘදුකාංගය අත්‍යාවශ්‍යයි. ඒත් ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ අතිශය සංකීර්ණ මෘදුකාංග. 

ඩිජිටල් ජීවයත් ඒ වගේ. ඒක බූට් වෙන්නේ මිනිස් ජීවයෙන්. මිනිසා තමයි පරිගණක තාක්ෂණය, මයික්‍රෝචිප් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධි මෘදුකාංග බිහිකරන්නේ. මේවා හරියට ඩිජිටල් ජීවයේ බූට් ලෝඩිං අවස්ථාව වගේ. ඒත් ඊට පස්සේ ඔවුන් දසදහස් ගුණයක් සංකීර්ණ හා බුද්ධිමත් කෘත්‍රිම ජීවයක් වෙනවා. 

ඊට පස්සේ අපෙන් වැඩක් තියේවිද ඔවුන්ට?


ජැක් මා : අපි අලුත් මාතෘකාවකට යමු. කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර රැකියාවලට ඇතිකරන බලපෑම ගැන ලොකු විවාදයක් තියෙනවා. එක් පාර්ෂවයක් කියනවා කෘත්‍රිම බුද්ධිය නිසා විශාල රැකියා වියුක්තියක් ඇති වෙනවා කියලා. අනෙක් පාර්ෂවය කියනවා නැතිවෙන රැකියාවලට වඩා විශාල අලුත් රැකියා ප්‍රමාණයක් බිහිවෙනවා කියලා.



ඒ වගේම නව ජෛව තාක්ෂණයන් නිසා මිනිසුන් අවුරුදු 100ක්, 120ක් ජීවත්වෙයි. මේ විශාල කාළය ඔවුන් ගතකරන්නේ කොහොමද? මම හිතන විධියට කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර මිනිසුන් කරන්න අකමැති වැඩ, මානසිකව වෙහෙසකර වැඩ, කායිකව දුෂ්කර, අණතුරුදායක වැඩ සියල්ල භාර ගනී. 

මිනිසුන්ට නිර්මාණශීලී වැඩවල නියලෙන්නට වැඩි අවස්ථාවක් ලැබෙයි. කෘත්‍රිම බුද්ධි උපාංග වල සහයෙන් අලුත්ම නිර්මාණ, කළාකෘති, තක්ෂණයන් බිහිකරයි, නව ගවේෂණයන් සිදුකරයි. පරිගණකය කියන උපාංගයෙන් මිනිසා මොනතරම් අලුත් නිර්මාණ කරණවද? සමහර තාක්ෂණයන් පරිගණක නොමැතිව නිර්මාණය කරන්නට බැහැ. එතරම් සංකීර්ණයි. කෘත්‍රිම බුද්ධි උපාංගවල සහයෙන් මිනිසා මීටත් වඩා අපූර්ව තාක්ෂණයන් බිහිකරයි.

ඒවගේම මිනිසුන් වැඩි වැඩියෙන් සංචාරය කරයි, විනෝද වෙයි. දිනකට පැය 4ක් විතර, සතියකට දින තුනක් විතර වැඩ කිරීම හොඳටම සෑහෙයි. ඉතිරි කාළය, තමන් කැමති දැනුමක් ලබාගන්න, විනෝද වෙන්න, ගවේෂණය කරන්න, නිර්මාණ කරන්න ගතකරයි. වෙනත් ග්‍රහලෝක තරණය කරන්න, වෙනත් තාරකාවලට යානා යවන්න පුලුවන් තාක්ෂණයන් කෘත්‍රිම බුද්ධිය ආධාරයෙන් නිර්මාණය කරගන්නට පුලුවන් වෙයි.


මම දෙන පනිවිඩය නම්, රැකියා ගැන බයවෙන්න එපා කියන එකයි. අලුත් රැකියා ඕනෑ තරම් බිහිවෙයි. ඒවගේම දැන් පැය විසිහතරෙන් පැය 8ක්, දින 7න් දින 5ක් වැඩකරන මිනිසා දිනකට පැය 4ක්, සතියකට දින 3ක් හෝ 4ක් වැඩකරන තත්වයට පත්වෙයි. ඉතිරිකාලය, පවුල, විනෝදාංශ, ඇවිදීම, ගවේෂණය, ඉගෙනීමට ගත කරයි.

Comments

  1. Great Content, Super high-quality and keep it up :)

    http://www.bazaartrading.in/

    ReplyDelete

Post a Comment