Main Logo

Saturday 25 January 2020

තුනෙන් දෙක කුමකට ද? කෙසේ ද?

   සිංහල ලිත් ඉලක්කම්


තුනෙන් දෙක කුමකට ද? කෙසේ ද?


ආණ්ඩුවට වැඩ කරන්න තුනෙන් දෙකක් අවශ්‍ය කියන අය ඉන්නවා. අපට එය පිළිගන්න බැහැ. වත්මන් ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්.  එ ජා ප අද පාර්ලිමේන්තුවේ තම බහුතර බලයේ හයිය පෙන්නනවා. මහින්දලා 2015න් පසු වැඩ කරපු ආකාරය වෙනස්. ඔවුන්ට බහුතර බලයක් තිබුණ නමුත් මෛත්‍රිපාල යහපාලනයට යෑම නිසා ශ්‍රී ල නි පක්‍ෂයේ බෙදීමක් තිබුණා. ඒ බෙදීම නිසා යහපාලනයට විරුද්ධ ව ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කෙළේ නැහැ. පසුව ඔවුන් මහින්දගේ කීමට දහනවය සම්මත කර ගන්නත් ඡන්දය දුන්නා. බෙදීම තිබියදීත් මහින්ද එදා විරුද්ධ වුණා නම් දහනවය සම්මත කර ගන්න බැහැ. බෙදීම නිසා මහින්ද පක්‍ෂ වුණා කියනවා නම් එය පිළිගන්න බැහැ. මහින්ද ඒ වන විට ශක්තිමත්. ඔහු විරුද්ධ වුණා නම් දහනවය සඳහා තුනෙන් දෙකේ බහුතරය ලැබෙන්නේ නැහැ. මහින්දටත් දහනවය අවශ්‍ය වුණා.


එදා මෛත්‍රිපාලත් දහනවයට පක්‍ෂ වුණා. අද ඔහු පිළිගන්නවා එදා කෙළේ වරදක් කියලා. මහින්ද තවම එහෙම පිළිගන්නෙ නැහැ. ඔහු හැසිරෙන්නෙ එදා දහනවයට විරුද්ධ වුණා වගේ. එහෙත් අදවත් ඔහු දහනවයට විරුද්ධ ද කියල අහන්න වෙනවා. මෙරට දෙශපාලනය වත්මන් අවුලට දැම්මෙ දහනවයෙන්. අද පේන්න තියෙන දේ තමයි ව්‍යවස්ථාදායක සභාවවත් ඒ මගින් පත් කළ කොමිෂන් සභාත් ස්වාධීන නැති බව. දහනවයෙ මේ බොහොමයක් දේ වෙනස් කරන්න ඕන. ඒ සඳහාත් තවත් එවැනි දේ සඳහාත් නම් තුනෙන් දෙකේ බහුතරයක් අවශ්‍යයි. එහෙත් රටේ සාමාන්‍ය කටයුතු කරන්න තුනෙන් දෙකක් අවශ්‍ය නැහැ. 

ගෝඨාභය බලයට පත් වුණෙ සිංහල ඡන්දවලින්. සිංහලයන්ගෙන් සියයට හැත්තැවක් පමණ  ඔහුට ඡන්දය දුන්නා. මීළඟ මැතිවරණයේ දී, ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල අනුව ගණනය කළොත්, නව සංධානයට (එය හැකි ඉක්මණින් ලියා පදිංචි කරන්න ඕන) මන්ත්‍රී ධුර 130ක් පමණ ලැබේවි. ආණ්ඩුවක් ගෙන යෑමට එය හොඳට ම ප්‍රමාණවත්. ජනතාව දූෂිතයන් පත් කර නොඑවුවොත් ජනතා අපේක්‍ෂා මුදුන්පත් කර ගැනීම අමාරු වැඩක් නො වෙයි. ඒ සඳහා පළමුව නව සංධානය දූෂිතයන් ඉදිරිපත් නොකළ යුතුයි. මන්ත්‍රී ධුර 150ක් ලබුණොත් වඩා හොඳයි. එවිට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනත් කරන්න පුළුවන්. එහෙත් ඒ සඳහා ආණ්ඩුව සිංහලයන්ට සෘජුව කතා කරන්න ඕන. දළ වශයෙන් සිංහල ඡන්දවලින් 80%ක් ලබා ගන්න පුළුවන් නම් තුනෙන් දෙකේ බහුතරය ලබා ගන්නත් පුළුවන්.

එහෙත් ආණ්ඩුව සිංහල අපේක්‍ෂා ඉටු කරන්න ඕන. දෙමළ හා මුස්ලිම් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා ගැනත් බලන්න ඕන, එහෙත් දෙමළ මුස්ලිම් නායකයන්ගෙ අපේක්‍ෂා නම් සතපහකට ගණන් ගන්න ඕන නැහැ. ජනාධිපතිවරණයේ දී කළ කතා අනුව ජනතාව එම්සීසී ගිවිසුමට විරුද්ධ වුණා. පොහොට්ටුවේ කථිකයන් වේදිකාවල කිවුවෙ ඒ ගිවිසුම ප්‍රතික්‍ෂෙප කිරීමට. ගුණරුවන්ගේ සභාපතිත්වයෙන් එම්සීසී ගිවිසුම අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාවක් තිබුණ ද කියන එක ප්‍රශ්නයක්. කළ යුතුව තිබුණෙ එම්සීසී ගිවිසුම ඉවත ලා අවශ්‍ය ම නම්  රටට හිතවත් වෙනත් ගිවිසුමක් ගැන එක්සත් රාජ්‍ය සමග සාකච්ඡා ආරම්භ කිරීම. 

කැලෑ කැපීම ගැන තවමත් පියවරක් ගෙන නැහැ. විපක්‍ෂයේ ඉන්න කොට කියන දේ ආණ්ඩු බලය ලැබුණ ම කරයි කියල ජනයා අපේක්‍ෂා කරනවා. කැලෑ කපල තියෙන බව පැහැදිලියි. අවශ්‍ය වන්නේ එයට වග කිවයුත්තන් සොයා ගැනීම. ඒ සඳහා ක්‍රම කිහිපයක් ම තියෙනවා. වැඩ පටන් ගැනීමට දැන් කාලය ඇවිත්. මුස්ලිම් හෝ වෙනත් වාර්ගික හෝ ඡන්දයක් බලා ගෙන අවශ්‍ය කටයුතු නොකර සිටිය යුතු නැහැ. හරියට වැඩ කරනවා නම්  ආණ්ඩුවට පක්‍ෂ සිංහලයන්ගේ ඡන්ද ප්‍රතිශතය බලා ඉන්දැද්දී වැඩි වේවි. 

නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන තවමත් අනතුරේ. සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ආණ්ඩුව මේ සිද්ධස්ථාන ආරක්‍ෂා කිරීමට සුදුසු ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන තුරු බලා ඉන්නවා.  ඔවුන්ට එක්සත් ජාතික පක්‍ෂය කාගේ නායකත්වයෙන් වුණත් වැඩක් නැහැ. එය ජරාජීර්ණ පක්‍ෂයක් බවත් සිංහල විරෝධී බවත් ජනයා දන්නවා. සජිත් යටතේ එ ජා ප බෝන් අගේන් පක්‍ෂයක් වේවි.

බැඳුම්කර මගඩිය ගැනත් නිශ්චිත දෙයක් කියන්න ඕන. ඊනියා වෝහාරික විගණන වාර්තාව (අධිකරණ විගණන වාර්තාව) ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි. 2015 කලින් සිදු වූයේ කුමක් ද? 2015න් පසු ඇති කර තිබෙන වෙනස කුමක් ද? අර්ථසාධක අරමුදල සමග ඇති සම්බන්ධය කුමක් ද? අර්ජුන් ඇලෝෂියස්ගේ පූර්ව 2015 කාලය හා පසු 2015 කාලය අතර ක්‍රියාකාරකම් කවරේ ද? එහි වෙනසක් වේ ද? පාඩුවක් සිදුවීම හා මගඩියක් වංචාවක් අතර වෙනස කුමක් ද? ජනයා මේ සියල්ල දැන ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. තේරෙන භාෂාවකින් ඒ සියල්ල කියන්න ඕන.

මේ කරුණු ගැන පියවර ගැනීමට තුනෙන් දෙකක් තබා දෙකෙන් එකක්වත් අවශ්‍ය නැහැ. සුළුතර ආණ්ඩුවකට වුවත් එ පියවර ගන්න පුළුවන්. එසේ පියවර ගැනීම ම මැතිවරණයේ දී තුනෙන් දෙකේ බහුතරයක් ලබා ගැනීමට ඉවහල් වේවි. ජනයා තුනෙන් දෙකක් ඉල්ලූ පමණින් දෙන්නෙ නැහැ. 

ජෙනීවාහි මංගල සමරවීර අනුමැතිය හා අනුග්‍රහකත්වය දුන් යෝජනාවෙන් අප ඉවත් වන්නේ කෙසේ ද යන්න සොයා බැලිය යුතුයි. අප අත්සන් කළ යෝජනාවක් අප ප්‍රතික්‍ෂෙප කරන්නේ කෙසේ ද? ඒ සඳහා මගක් නැහැ කියා අප කියන්නේ නැහැ. ඒ මග කුමක් ද යන්න නීති විශාරදයන් මෙන් ම අනෙක් අය ද එකතු වී හෙළිදරවු කර ගත යුතුයි. මේ සියල්ල සඳහා මාස එකහමාරක් හොඳට ම ප්‍රමාණවත්. නැහැ බැහැ නොකියා ඉක්මණින් වැඩේට බහිමු. ආණ්ඩුව පසුගිය මාස දෙකක පමණ කාලයෙහි විශාල වැඩ කොටසක් කර තිබෙනවා. ඒ වැඩ කොටස ඉදිරියට ගෙන යෑමට තුනෙන් දෙකක් අවශ්‍ය නැහැ. එහෙත් ඒ වැඩ කොටස ඉක්මණින් ඉදිරියට ගෙන ගියහොත් තුනෙන් දෙකක් ලබා ගැනීමත් ඉන්පසු අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමත් පහසු කාර්යයක් වේවි.