Main Logo

Wednesday 22 January 2020

බීබීසිය වෙනුවෙන් අපි

                     සිංහල ලිත් ඉලක්කම්


බීබීසිය වෙනුවෙන් අපි

චන්දිම වීරක්කොඩි  කියලා තිබුණා බීබීසී ලංකා වාර්තාකරු එකී සේවයෙන් අස් කරන්න කියලා. ඒ බීබීසියේ අපක්‍ෂපාතිත්වය රැක ගැනීමට කියල කියන්නෙ. බීබීසි වාර්තාකරු රන්ජන් රාමනායක එක්ක සංවාදයක යෙදිලා සංවිධානාත්මක දේශපාලන ක්‍රියාවලියක යෙදිල තියෙනව කියන චෝදනාව තමයි තියෙන්නෙ. ඉතින් ඒකට වාර්තාකරු අස් කරල වැඩක් තියෙනවා ද? බීබීසිය ඉන් පසු අපක්‍ෂපාති වේවි ද?


තවත් නීතිඥ මහත්වරු කිහිප දෙනෙක් ම එවැනි ම යෝජනාවක් කර තිබුණා. මේ සියල්ලන්ගෙ ම එක් උපකල්පනයක් තියෙන බව පේන්න තියෙනවා. බීබීසිය අපක්‍ෂපාතයි. එහෙත් වාර්තාකරු අපක්‍ෂපාත නැහැ. ඒ නිසා බීබීිසිය තම අපක්‍ෂපාතීත්වය තහවුරු කර ගැනීම සඳහා වාර්තාකරුට එරෙහි ව යම් පියවරක් ගන්න ඕන. මේකෙන් කියනවා ද බීබීසියෙ කලින් හිටපු වාර්තාකරුවන් අපක්‍ෂපාති කියා. මේ අය කතා කරන්නෙ බීබීසියෙ සිංහල සේවයේ වාර්තාකරු ගැන බවයි මගේ හැඟීම. සිංහල සේවය කියන්නෙ බීබීසියෙ අංශු මාත්‍රයක්  පමණයි.

මගේ නම් අත්දැකීම වෙනත් දෙයක්. මා දැන සිටි බීබීසී වාර්තාකරුවන් සිංහල බෞද්ධ විරෝධීන්. එහෙත් අප කිසි දිනෙක ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කරන ලෙස බීබීසියෙන් ඉල්ලා සිටියේ නැහැ. එයට හේතුවක් තිබුණා. බීබීසිය අපක්‍ෂපාත නැහැ. බීබීසිය සමස්තයක් ලෙස ගත්තමත් සිංහල සේවය ලෙස ගත්තමත් බොහෝ නිවේදකයන් ලෙස ගත්තමත් සිංහල විරෝධීයි. සිංහල බෞද්ධ විරෝධය ගැන කතා කරන්න දෙයක් නැහැ. ලෝකයේ කිසිම ජනමාධ්‍යයක් අපක්‍ෂපාත නැහැ.ලංකාවෙත් එහෙමයි.

බීබීසිය අපක්‍ෂපාත නොවන්නේ ය යන්න අපේ ඊනියා සොයා ගැනීමක් නො වෙයි. යම් පිරිසක් දන්නවා ජනමාධ්‍ය අපක්‍ෂපාත නොවන බව. එහෙත් චන්දිමගේ හා අර නීතිඥයන්ගේ ප්‍රකාශවලින් පැහැදිලිවන්නේ තවමත් යම් පිිරිසක් ජනමාධ්‍යයේ විශේෂයෙන් ම බීබීසියේ අපක්‍ෂපාතබවක් ගැන විශ්වාසයක් තියෙන බවයි.

මේ අතර පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් යම් පිරිසක් තම පඬි බව ප්‍රකාශ කරමින් කියන්නේ තමන් බීබීසියේ හා පොදුවේ ජනමාධ්‍යයේ පක්‍ෂපාතීත්වය දැන සිටි බවයි. එහෙත් මේ පඬියන් අද සියල්ල හෙළි වී තිබෙන විට පමණක් බීබීසියේ පක්‍ෂපාතීත්වය  ගැන කතා කරනවා. එහෙත් බීබීසිය සහ තවත් විදේශ ජනමාධ්‍ය සිංහල බෞද්ධයන්ට එරෙහිව පච ප්‍රචාරයේ යෙදෙද්දී ඔවුන් නිහඬ ව සිටියේ ජනමාධ්‍ය පක්‍ෂපාතීත්වය ගැන කිසිවක් නොකියමින්. චැනල් 4 පච ප්‍රචාර බීබීීසියේ වැඩක් නො වී ද 

අරුණ පුවත්පත හැරෙන්න වෙනත් මුද්‍රිත  හරි විද්‍යුත් හරි කිසිම ජනමාධ්‍යයක් මා ලියන කියන කිසිවකට ප්‍රචාරයක් දෙන්නේ නැහැ. එය බොහෝ විට ජඩමාධ්‍යවේදීන් හා ජඩමාධ්‍යවේදය නිසා සිිදුවන්නක්. සමහර විට ජඩමාධ්‍යවේදී පඬියන් ද හිතනවා ඇති මා ලියන්නේ කියන්නේ දෙකේ පංතියේ ළමයින්ගේ කතා කියා. කෙසේ වෙතත් ජඩමාධ්‍යවේදීන්ට පින් සිදුවන්නට දැන් ඉස්සරට වැඩි පිරිසක් කාලය බ්ලොග් අඩවිය කියවනවා.

සිංහලයන්ට සාමාන්‍යයෙන් අර ඉංගිරිසි කියමනක ම වගේ නූණත් ගස් මිස කැලය පෙනෙන්නේ නැහැ. ඔවුන්ට සමස්තය දකින්න බැහැ. ඔවුන්ට සිද්ධි එකතු කර වියුක්ත කතන්දරයක් ගොතා ගන්න බැහැ. ඔවුන් සිද්ධියෙන් සිද්ධියට යනවා පමණයි. මේ දවස්වල වැඩඩියෙන්  අවධානය යොමු වන්නේ රන්ජන් හඬපටවලට. රන්ජන්ගේ හඬපට හරහා කියැවෙන්නේ සමස්ත ක්‍රමය ම දූෂිතය යන්න. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය සුදු පිරුවටකින් සරසනු ලැබූ ජරාජීර්ණ ක්‍රමයක් බව වටහා ගන්නේ නැහැ. එය දන්නා කිහිප දෙනකු ක්‍රමය වෙනස් කරන්න කතා කරනවා. ඒත් අර කිසි දිනෙක වලංගු නොවූ මාක්ස්ට අනුව. පුටින්ගෙන් ඇහුව නම් කියාවි මාක්ස්ගෙ තරම. පුටින්ගෙන් අහන්න බැරි නම් අඩු තරමෙන් මාක්ස්වාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය පොත් පිංච දෙක කියවන්න. ඒකට එතරම් වෙලාවක් යන්නෙ නැහැ.

මේ අතර රන්ජන් රාමනායක වීරයකු කිරීමට ඇතැමුන් කටයුතු කරනවා. රන්ජන් හුදෙක් අසරණයන්ගේ පිහිටට පැමිණි සුරදූතයකු නො වෙයි. ඔහු මහින්ද එක්කත් කතා කරන්න ඇති. මේ සියල්ලන් ම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක දැති රෝද පමණයි. රන්ජන් නමැති දැති රෝදය යම් හේතුවක් නිසා අනෙක් සමහර දැති රෝදවලට විරුද්ධ ව කතා කරනවා. මෙය රන්ජන්ගේ වීර ක්‍රියාවක් නොව අපේක්‍ෂා බිඳ වැටී යන යකා කොරහ බිඳ ගෙන යෑමක්. විරයන් නැති පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් රන්ජන් වීරයකු කිරීමට උත්සාහ ගන්නවා. 

මගේ මතකය දුර්වලයි. පාසලේ දී මතක තබා ගන්න ඕන විෂයවලට මට ලකුණු ලැබුණේ නැහැ. රසායන විද්‍යාව මගේ ප්‍රියතම විෂය වුණේ නැහැ. ඒත් මට හිතෙන්නෙ සමස්තයක් ලෙස සිංහලයන්ගෙ මතකය ඉතා දුර්වලය කියා. අපට බීබීසි  සිංහල සේවයේ වාර්තාකරු මිසක් චැනල් 4 මතක නැහැ. පාස්කු ප්‍රහාරය දිනවල බටහිර ඇතැම් ජනමාධ්‍ය මගේ දුර්වල මතකය අනුව බීබීසිය ද සමගින් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් සිංහලයන් ප්‍රකෝප වී ක්‍රියා කළ බවක් ලෝකයට පෙන්වන්න උත්සාහ කළා. එය අතේ පැළවෙන බොරුවක් බැවින් වැඩි කලක් ප්‍රචාරය කෙරුණේ නැහැ.

බීබීසිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි ලෝකයක ක්‍රියාත්මක වන කතෝලික බලපෑමක් ඇති ජනමාධ්‍යයක්. එය අපක්‍ෂපාත බවට ඉංගිරිසින් ප්‍රචාරය කර තිබෙනවා. ඉංගිරිිසින් තමන් මහත්වරුන් බවත් ලෝකයා ලවා කියවා ගන්නවා. ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාව කියා කියවා ගන්නවා. මහත්වරුන් විරුද්ධ පක්‍ෂයේ පිිතිකරුවන්ගේ මානසික ඒකග්‍රතාව බිඳින කතා කියනවා. ඉංගිරිසින් මහත්වරුන් බව ඌව වෙල්ලස්ස ජනතාව දන්නවා. කඩහපොළ හිමියන්ගෙන් ඇහුව නම් මහත්වරුන් ගැන දැන ගන්න තිබුණා. ඉංගිරිසින් දන්නවා අමාරු අවස්ථාවල ගැලවෙන විධිය. ඔවුන් ටොරිංග්ටන් ආණ්ඩුකාරයා ව ආපහු කැඳෙවුවා. ඒත් දිගින් දිගට ම තම සිංහල, විශේෂයෙන් සිංහල බෞද්ධ විරෝධී ක්‍රියා කරගෙන ගියා. අදත් කරගෙන යනවා. බීබීසියේ සිංහල අංශයේ වාර්තාකරු කරන්නෙත් එයයි. බීබීසිය ජනතා විරෝධය මැද  තම වාර්තාකරුට අස්වෙන්න කියා ඇති බවක් පේන්න තියෙනවා. ඊළඟට එන වාර්තාකරු සිංහල බෞද්ධ විරෝධී ක්‍රියා දිගට ම කරගෙන යාවි.

බීබීිසිය මූලික වශයෙන් එංගලන්ත ආණ්ඩුවේ ආයතනයක්. එහෙත් ඇතැම් අවස්ථාවල එය ආණ්ඩුව විවේචනය කරනවා. එවිට එංගලන්තයේ උගතුන් අනුව යමින් මෙරට අනුකාරකයන් ද අප්පුඩි ගහනවා. එහෙත් අප තේරුම් ගත යුත්ත නම් බීබීසිය හැමදාමත් බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී සංස්ථාපනය රකින බවයි. බීබීසිය තමන්ට හිතෙන විධියට ආණ්ඩුව සංස්ථාපනයට විරුද්ධ ව යන අවස්ථාවල  ආණ්ඩුව විව්චනය කරනවා. ඒ ආණ්ඩුව නිවැරදි කර ගැනීමට. අපේ අප්පුඩියට අපි ම රැවටෙනවා. ඒ අපි වෙනුවෙන් අපි නො වෙයි. බීබීසිය වෙනුවෙන් අපි. චන්දිමත් නීතිඥවරුනුත් කරන්නේ එයයි. ඔවුන්ට බීබීසියේ ම පිහිටයි.