Main Logo

Monday 20 January 2020

දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට

    සිංහල ලිත් ඉලක්කම්


දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට


ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අන්ත දූෂිත බව රන්ජන් රාමනායක හෙළිදරවු කරලා. අර අපක්‍ෂපාත බීබීසි වාර්තාකරු රන්ජන්ගෙ හොඳ මිත්‍රයකු පමණක් නොවෙයි. ඔවුන් දෙදෙනා එකට දේශපාලනය සැලසුම් කරලා. එය වත්මන් බීබීසි වාර්තාකරුගෙ ප්‍රශ්නයක් පමණක් නො වෙයි. එල්මෝගෙ කාලෙත් එහෙම තමයි. ඔහු කා සමග සම්බන්ධකම් පැවැත්වුවා ද කියා දන්නේ නැහැ. එහෙත් ඔහු සිංහල බෞද්ධ විරෝධී වුණා. ඔහුගෙ තිබුණු ඊනියා අපක්‍ෂපාතිත්වයක් නැහැ. 


පැෆරල් ලොක්කෙක් කියල තිබුණ වයස්ගත දේශපාලනඥයන් විශ්‍රාම ගත යුතු බව. ඔහුට වින්ස්ටන් චර්චිල් හම්බවෙලා නැතුව ඇති. ජනමාධ්‍යයෙන් මේ මැතිවරණ ලොක්කන්ට ලොකු ප්‍රචාරයක් දෙනවා. ඔවුනුත් මේ ඊනිය ප්‍රජාතන්ත්‍රවාදයේ ම කොටස්. ඔවුන් යැපෙන්නෙ කොහොම ද? ඔවුන් නිස්සරණාධ්‍යාශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සේවය කරනවා ද? ඔවුන්ගෙ ස්වාමිවරුන් කවුරුන් ද? 

කෙටියෙන් කිවුවොත් ඔවුන්ට පඩිනඩි (මොනයම් හරි දීමනාවක්) ගෙවන්නෙ කවුද? මේ මැතිවරණ ලොක්කොත් රාජ්‍ය නොවන සේවකයන්. ඔවුන් ලංකාවෙ දි රාජ්‍ය නොවන නමුත් ඔවුන්ගෙ ස්වාමිවරුන් බටහිර රාජ්‍ය සමග සම්බන්ධයි. ඔවුන් අවසාන වශයෙන් ඉටු කරන්නෙ තම ස්වාමිවරුන්ට අවශ්‍ය දේ. නැත්නම් ඒ ස්වාමිවරු මේ අය තම වැටුප් සේවකයන් ලෙස තියා ගන්න එකක් නැහැ. ඒත් මේ අය ප්‍රකාශ නිකුත් කරන්නෙ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නෙ ඊනියා ස්වාධීන පුද්ගලයන් ලෙස. ජනමාධ්‍යයට මේ ගැන කිසිම අවබෝධයක් නැහැ.  ජනමාධ්‍යයෙන් ඔවුන්ට ප්‍රචාරය ලැබෙනවා. ජනමාධ්‍යයත් දූෂිතයි.

ක්‍රමය දූෂිත ය කියන එකෙන් කියැවෙන්නෙ මොකක් ද? ක්‍රමය වෙනස්Continuity,  කරන්න ඕන කියන එක. මෙරට ජනමාධ්‍යයෙත් සිස්ටම් චේන්ජ් කාරයන් ඉන්නවා. මේ වෙනස සන්තතික ද? අසන්තතික ද? ජනමාධ්‍යවේදීන් කියන අයත් හිතන්නෙ අසන්තතික වෙනසක් ගැන. ඊනියා විප්ලවවාදීන් අපට උගන්වල තියෙන්නෙත් අසන්තතික වෙනස්කම් ගැන. අර පෙරටුගාමි ලොක්කෙකුත් කියල තිබුණ සමාජ ක්‍රමය වෙනස් කරන එක විතරයි දැන් තියෙන එක ම විකල්පය කියලා. 

මේ ලොක්කා එසේ මෙසේ කෙනෙක් නො වෙයි. ක්වොන්ටම් භෞතිකයෙ විශාරදයෙක්. ඔහු අනිශ්චයතා මූලධර්මය මැනවින් හදාරපු අයෙක්. ඔහුට අනුව ක්වොන්ටම් අංශුවක ගම්‍යතාව හා පිහිටුම එකවිට මනින්න පුළුවන්. හයිසන්බර්ග්ට ඔහු මුණ නොගැසීම තමයි බටහිර භෞතික විද්‍යාවට විසිවැනි සියවසේ   සිද්ධ වෙච්ච ලොකුම පාඩුව. ඒත් ඒක තරමක් පිරිමැහුණා ඔහුට කාලෝ මාමා හමුවීමෙන්. කාලෝ මාමා භෞතික විද්‍යාව ඉගෙන ගත්තෙ විජය බැණාගෙන් ද රන්ජන් බෑණගෙන් ද දන්නෙ නැහැ. ඒත් මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. රන්ජන්ට විජයත් මාමා කාලෝත් මාමා. එහෙම වෙන්න බැහැ කියල මා කියන්නෙ නැහැ. නෑදෑ සම්බන්ධකම් ඒකජ නැත්නම් රේඛීය (linear) නැහැ. ඇතැම් විවාහවලින්  රේඛීය සම්බන්ධකම් තිබුණත් අවුල් වෙනවා. පරිපථ වෙනස් වෙනවා. 

දැන් මේ පෙරටුගාමි ලොක්කා ක්‍රමය වෙනස් කරන්න ඕන කියන විට 1971 යි 1987-90 යි මතක් වෙනවා. ඒ ක්‍රමය වෙනස් කරන්නෙ විජේවීරගෙ නායකත්වයෙන් කෙරුණ විප්ලව. පෙරටුගාමීන් 1987 කාලෙ නොනැසී ඉඳලා. ඒකත් ලොකු වැඩක්. බිල්ලන්ට අහුවෙන්නෙ නැතිව හිටියෙ කොහොම ද කියල යටත්විජිත හේරත් කල්පනා කරනවා ඇති. පෙරටුගාමීන් ගැන ලොකුවට හිතල ප්‍රසිද්ධිය දෙන ජනමාධ්‍යවේදීන් මොන තරම් ප්‍රබුද්ධයන් වෙන්න ඕන ද? 

පෙරටුගාමි ලොක්ක කියන්නෙ අසන්තතික සමාජ වෙනසක් ගැන. ඒ විප්ලවවාදීන් විප්ලවය ගැන මිසක් වෙනත් වෙනසක් ගැන හිතන්නෙ නැහැ. ලෝකයේ ඔය කියන අසන්තතික සමාජ වෙනස්කම් සිද්ධ වෙලා නැහැ. ප්‍රංශ විප්ලවය වුණත් සන්තතික වෙනස්කමක්. එංගලන්තයේ තවමත් ඔවුන්ගෙ රැජන ඉන්නවා. හැරී හා මේගන් රාජකීය තනතුරු අත්හැරලා වුණත් හැරී රජකම අයිති ධුරාවලියේ හයවැනියා. ඔහු බැරි වෙලාවත් රජ වුණොත් මේගන් රැජින වෙනවා. 

මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය දුෂිතය කියන එක අපෙත් පිළිගැනීම. එහෙත් මේ ක්‍රමය විප්ලවයකින් වෙනස් කරන්න අපි හිතන්නෙ නැහැ. හිතුවත් කරන්නත් බැහැ. පෙරටුගාමි ලොක්කටත් කරන්න බැහැ. ජනමාධ්‍යවේදියො ඉන්නකම් ඔහෙ කියව කියව ඉන්න පුළුවන්. මාධ්‍ය සංදර්ශන පවත්වන්න පුළුවන්. අනුගාමිකයන් රවටන්න පුළුවන්.

අපට වුවමනා සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම. ඒක ඊනියා ඓතිහාසික අනිවාර්ය සිද්ධියක් නොවෙයි. එහෙම දෙයක් ගැන මාක්ස් කියල නැහැ. මාක්ස් කිවුව දෙයක් වෙලත් නැහැ. මහාවංසයෙත් එහෙම දෙයක් කියල නැහැ. පෘතුගීසීන් ලංකාවට එයි කියල චූලවංසයෙත් නැහැ. සිංහලයන්ට මාක්ස්ට වගේ අනාගතය කීමේ හැකියාවක් නැහැ. ඒ නිසා පෙරටුගාමීන්ට පඬියන්ට සිංහල බෞද්ධයන්ගෙන් වැඩක් නැහැ. වැඩේ තියෙන්නෙ ක්වොන්ටම් භෞතිකයෙත් අනාගතය කියන්න බැරි වීම. ඒකෙ තියෙන්නෙ එක එක ගුණ මැන්නොත් ඒ ඒ සම්භාවිතාවන් සහිත ව ඒ ඒ ප්‍රතිඵල (අගය) ලැබෙනවා කියන එක. ක්වොන්ටම් විශාරදයකු වූ පෙරටුගාමි ලොක්කා ඒක දන්නවා ඇති. 

මේ දුෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සඟ ගණ ක්‍රියාකරන අන්දම අනුව සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට අපි හීන් සීරුවෙ නිවි හැනහිල්ලෙ කටයුතු කරනවා. එය සන්තතික වෙනස්වීමක ප්‍රතිඵලයක්. අපට ඕන නිිවි හැනහිල්ලෙ ජීවත්වෙන්න මිසක් ඊනියා ඓතිහාසික ද්‍රව්‍යවාදී ආකෘතියෙ විප්ලව කරන්න නො වෙයි.