Main Logo

Saturday 18 January 2020

සඟ ගණ, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා පඬියෝ

 සිංහල ලිත් ඉලක්කම්


සඟ ගණ, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා පඬියෝ



අප සඟ ගණ යනුවෙන් ඇතැම් විට කියනවා. ඇතැම් ජාතිකවාදීන් යැයි කියන්නන් කිසිම ශ්‍රද්ධාවක් නැතිව ගණගෙඩියා යනුවෙන් කිවුවත් අප සඟ ගණ යන්න යොදා ගන්නේ ගෞරවයෙන්. මේ වචන දෙකෙන් ම කියැවෙන්නේ එකතුවක්, සංගමයක්, සමූහයක් ආදියයි. භික්‍ෂූන් වහන්සේ, සඟ ගණ ලෙස හැඳින්වෙන්නේ බුදුහාමුදුරුවන්ගෙ ධර්මය ලෝකයට ගෙන යන පිරිසක්. උන්වහන්සේලා බුද්ධ පුත්‍රයන් ලෙසත් හැඳින්වෙනවා. සඟ ගණ යන්න එක ම අර්ථය දෙණ වචන යුගලයක්. අප එය යුගලයක් වශයෙන් ව්‍යව හාර කරන්නේත් ගෞරවයට. එහෙත් සඟ ගණ යන්නෙහි තවත් අර්ථ තිබෙනවා.


අද පඬියන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියවන්නේ (ඔවුන්ගේ ඊනියා කියවීම!) ලෝකයේ පහළ වූ ඉහළ ම දේශපාලන ක්‍රමය ලෙස. ජනතාව කියන වියුක්ත සංකල්පයකට තීරණ ගැනීමට ඇති හොඳ ම ක්‍රමය ලෙස පඬියන් ඒ හඳුන්වනවා. පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට බටහිර මිසක් නැගෙනහිරක් පේන්නෙ නැහැ. කොහොමත් ඔවුන්ගෙ හිරු බැස ගිහින්. මේ පඬියන් ගෝඨාභයට විරුද්ධ ව කඳවුරු බැඳ ගත්තා. ඔවුන් සමහරකු සජිත්ට සහාය දුන්නා. තවත් සමහරු රනිල්දාසට දාසකම් කළා. එනම් පඬියන් රනිල්ගේ දාසයන්ගේ දාසයන් වුණා.

අද පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට කරන්න දෙයක් නැහැ. ඔවුන්ට දේශපාලන ඉලක්කයක් නැහැ. බලාපොරොත්තුවක් නැහැ. ඔවුන්ගේ ගුරුවරුන් වූ බටහිර උගතුන්ට බුද්ධිමතුන්ට ලංකාවේ දේශපාලනය ගැන කිව හැකි දෙයක් ඇත්තේත් නැහැ. මාක්ස්වාදයවත් Digital පශ්චාත් මාක්ස්වාදයවත් වෙනත් පශ්චාත් වාදයක්වත් ඔවුන්ට පිහිට වන්නේ නැහැ. එබැවින් ඔවුන්ට කළ හැක්කේ ගෝඨාභය ආණ්ඩුව සම්බන්ධයෙන් විහිළු සැපයීම මගින් තම වෛරය හා ක්‍රෝධය පෙන්නුම් කිරීම පමණයි. වෛරය විහිළු මගිනුත් ප්‍රකාශ කළ හැකි බවට හොඳ ම උදාහරණය පඬියන්. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් වෛරී විහිළු සපයන්නන් බවට පත් වෙලා.

පඬියන්ට අදත් එදත් ප්‍රශ්නය වුණේ අප බටහිර දැනුම හා තාක්‍ෂණය යොදා ගැනීම. එකල මා කාරයෙන් විශ්වවිද්‍යාලයට පැමිණීම සමහරුන්ට ප්‍රශ්නයක් වුණා. කාරයෙන් ගියත් බසයෙන් ගියත් ඒ බටහිර තාක්‍ෂණය යොදා ගැනීමක්. ඔවුන්ගේ ප්‍රශ්නයේ තිබුණේ ඔවුන්ට යමක් තේරුම් ගැනීමට ඇති නොහැකියාව පමණයි. සමහර විට ද්වේෂයකුත් තියෙන්න ඇති. බසයෙන් පැමිණීම ඔවුන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. 

අවශ්‍ය තැන්වල බටහිර තාක්‍ෂණය විතරක් නොවෙයි විද්‍යාව හා ශාස්ත්‍ර යොදා ගැනීමත් ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් ඒ අපට ගැලපෙන විධියට. පඬියන් මෙන් කිසිම වගවිභාගයක් නැතිව තමන්ට නොතේරෙන දේත් පුනරුච්චාරණය කිරීමෙන් නො වෙයි. ගෝඨාභය රාජපක්‍ෂ ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනීමෙන් ජාතිකවාදයට පිටුපාන්නේ නැහැ. එහෙම යම්කිසි සැකයක් හරි තියෙන අයකු ඉන්නවා නම් එදා රුවන්වැලි සෑ මළුවේ දී ගැමුණු පිළිමය දෙස බලා හිඳිමින් කළ දේශනය කියව ගන්න.

අප ප්‍රජාතන්ත්‍රවාදය ගැන පමණක් නොවෙයි නීතිය දිහා බලන්නෙත් වෙනත් විකල්පයක් නැත කියන ගෞරවයකින් නො වෙයි. දැන් මේ ඊනියා මාක්ස්වාදී පඬියන්ටත් වෙස්ට්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය මහා දෙයක් බවට පත්වෙලා. ඔවුන් තම ශ්‍රෙෂ්ඨ ගුරුවරයා ලෙස සලකන ලෙනින් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව දෙස බලමින් කිවුවේ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය බව. ට්‍රොට්ස්කි උන්ගේ සදාචාරය හා අපේ සදාචාරය යන නමින් පොතක් ද ලිවුවා. මාක්ස්වාදයත් බටහිර නිර්මාණය වූ දැනුම් පද්ධතියක්. එහෙත් පඬියන්ගේ ගුරුවරුන්ට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වැනි දේ බටහිර වෙනත් ක්‍රමයක් වුණා. පඬියන්ට නම් මාක්ස්වාදය වලංගු නොවන බැවින් දෝ ඒ වෙනත් ක්‍රමය තමන්ගේ ම ක්‍රමය බවට පත්වෙලා. 

රන්ජන්ගේ හඬපට අපට නම් ප්‍රශ්නයක් නො වෙයි. මේ ක්‍රමය එදත් අදත් ක්‍රියාත්මක වන්නේ එලෙසයි. රන්ජන්ගෙන් හෙළිදරවු වන්නේ අලුත් දෙයක් නොවයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වෙන විධියකට ක්‍රියාත්මක වන්නේ නැහැ. අපට දේශපාලන පක්‍ෂවලින් ඉදිරිපත් කරන්නන්ට ඡන්දය දෙන්න වෙලා. එහෙත් ගෝඨාභය දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් කළ අයකු නො වෙයි. ඔහු පක්‍ෂයක අපේක්‍ෂකයකු නො වෙයි. එසේ වුවත් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ එලෙසින් නො වෙයි.

සඟ හා ගණ යන වචනවලට අද ව්‍යවහාරය අනුව නම් ජනරජයක් කියන අර්ථයත් තියෙනවා. ඒ ජනරජයේ තීරණ ගන්නේ සමානච්ඡන්දයෙන්. හුදෙක් බහුතර කැමැත්ත අනුව නො වෙයි. අපේ රටේ තිබුණේ මහා සම්මතවාදයක්. ග්‍රීසියේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වහලුන්ටවත් ගැහැණුන්ටවත් තිබුණේ නැහැ. අදත් ලෝකයේ කිසිම රටක ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔය ජනතාව කියන වියුක්ත සංකල්පයට කළ හැක්කේ පක්‍ෂ විසින් ඉදිරිපත් කෙරෙන්නන්ගෙන් කිහිප දෙනකු තෝරා ගැනීම පමණයි. 

බටහිර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිස නැගෙනහිර තිබූ කිසි දෙයක් ගැන නොදන්නා පඬියන්ට මේ ගැන කීමෙන් වැඩක් නැහැ. නැති ගුරුත්වාකර්ෂණයක් ඇතැයි සිතන පඬියන්ට, එය ඉන්ද්‍රිය ගෝචර යැයි සිතන්නන්ට නාථ දෙවියන් ගැන කීමෙන් ඇති ඵලය කුමක් ද? ඉන්ද්‍රිය ගෝචර නොවන, හුදෙක් නිවුටන්ගේ හිතළුවක් පමණක් වූ ගුරුත්වාකර්ෂණ බලය ඇතැයි කියා පෙන්නන්න පුළුවන් අයකු සිටී නම් කරුණාකර ඉදිරිපත් වන්න. එවැන්නකු සමග නාථ දෙවියන් ගැන කතා කරන්න මා සූදානම්. මේ පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට සඟ ගණ සමානච්ඡන්දය මහා සම්මතවාදය ආදිය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට යටයි.

ඉන්ද්‍රිය ගෝචර ලෝකයක් තිබෙන බව පෙන්නන්න පුළුවන් ද? පෙන්නනවා කියන්නේ ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක් ද? ඊනියා ඉන්ද්‍රිය ගෝචර ලෝකය එක ම ඉන්ද්‍රිය ඇති අයට වෙනස් ආකාරයෙන් ගෝචර වන්නේ ඇයි? සඟ ගණට නම් මේ ප්‍රශ්නවලට පිළිතුරු තියෙනවා.