Main Logo

Friday 17 January 2020

පඬි කතා හා ලාල්කාන්තගෙ කාන්තිමත් කතා

   සිංහල ලිත් ඉලක්කම්


  පඬි  කතා  හා ලාල්කාන්තගෙ කාන්තිමත් කතා

ලාල්කාන්ත තිස්ස අත්තනායකගේ කතාව නැවත කියලා. ලාල්කාන්ත නිර්ධන පංති ආඥාදායකත්වය පිහිටුවීමට පෙනී සිටින විප්ලවවාදියෙක්. එය සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීම වගේ වැඩක් නො වෙයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් කියන්නෙ මොකක් ද කියල මාක්ස් හරි වෙනත් බටහිරයකු හරි කියල නැහැ. ඒ නිසා එහෙම රාජ්‍යයක් තියෙන්න පුළුවන් කියලවත් පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් හිතන්නෙ නැහැ. බටහිරයකු කියල නැති දෙයක් ලෝකයේ තියෙන්න පුළුවන් ද? 


පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට ප්‍රශ්නයක් වෙලා සිංහල බෞද්ධ රාජ්‍යයක් කියන්නෙ මොකක් ද කියලා. 1815ට පෙර කන්ද උඩරට තිබුණෙ සිංහල බෞද්ධ රාජ්‍යයක්. 1505ට පෙර මුළු ලංකාවෙ ම, ඔවු යාපනයෙත් ඇතුළුව තිබුණෙ සිංහල බෞද්ධ රාජ්‍යයක්. සිංහල බෞද්ධ රාජ්‍යයක හාමුදුරුවරු හමුදාවවත් පොලීසියවත් දිසාපතිවරුන්වත් ප්‍රාදේශීය ලේකම්වරුන්වත් නො වෙයි. පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට බටහිර රාජ්‍ය ආකෘතිය නැතිව කිසිම දෙයක් බලන්න බැහැ. බලන්නෙ නැති විට පේන්නෙත් නැහැ. 

සිංහල බෞද්ධ රාජ්‍යයෙ හාමුදුරුවරු දැරුවෙ ඔය බටහිර ආකාරයෙ කසිකබල් තනතුරු නො වෙයි. උන්වහන්සේ වැඩ හිටියෙ රජ්ජුරුවන්ටත් උඩින්. අර නිග්‍රොධ සාමණේරයන් වහන්සේ සිංහල බෞද්ධ රාජ්‍යයක නොවුණත් අශෝක රජුගෙ සිංහාසනෙ අසුන් ගත්තෙ එබැවින්. රජුන් තැනීම මෙන් ම රජුන් පළවා හැරීමත් හාමුදුරුවරුන්ගෙ  කටයුත්තක් වුණා. පහුගිය කාලෙ ලංකාවෙ රජුන් තැනුවෙ දෙමළ හා මුස්ලිම් ජාතිවාදී ආගම්වාදී පක්‍ෂ. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වුණෙ හාමුදුරුවරුන්ගෙත් ආශිර්වාදයෙන්. එක් අතකින් නොව කිහිප අතකින් ම ගත් විට ගෝඨාභය රාජපක්‍ෂ හාමුදුරුවරුන් ප්‍රධාන මෙරට ජාතිකත්වයේ අපේක්‍ෂකයා. එතුමා අද ජාතික ජනාධිපති. 

ගෝඨාභය රාජපක්‍ෂ සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවාවි කියල අප හිතන්නෙ නැහැ. එය සුළුපටු කාර්යයක් නො වෙයි. එහෙත් එතුමා අතින් ඒ සම්බන්ධයෙන් පියවර කිහිපයක් ගැනෙන බව අපි දන්නවා. පක්‍ෂයක අපේක්‍ෂකයා ලෙස නොව හාමුදුරුවරුන්ගෙ ආශිර්වාදය සහිත ව  ජාතික අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීම ම සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට තබන ලද එක් පියවරක්. එතුමාට සිංහල බෞද්ධයන්ගෙන් සියයට හැත්තෑවක පමණ ඡන්දය ලැබුණු බවත් අමතක කළ යුතු නැහැ.

අප කටයුතු කරන්නේ තිබූ සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමටයි. ලාල්කාන්තත් ඇතැම් පඬියනුත් සැරසෙන්නෙ ලෝකයෙ කිසිම රටක කිසිම තැනක නොතිබුණු රාජ්‍යයක් පිහිටුවන්න. සිංහල බෞද්ධ රාජ්‍යයට හිනහවෙන මේ පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට තේරෙන්නෙ නැහැ ඔවුන් නිරත වී සිටින විහිළු ක්‍රියාදාමය මොකක් ද කියලවත්. ලාල්කාන්තල  ඊනියා නිර්ධන පංති ආඥාදායකත්වයක් පිහිටුවන්න වලිකන අතරෙ ඇතැම් පඬියන් උත්සාහ කරන්නෙ කම්කරු පංති ආඥාදායකත්වය පිහිටුවන්න. මේ දෙකේ වෙනස කියල දෙන්න පඬියකු ඉදිරිපත් වෙනවා ද? ඒත් ඒක ලාල්කාන්තලාට වැඩක් වෙයි කියල හිතන්න බැහැ.

ලෙනින් ඊනියා කම්කරු පංති රාජ්‍යයක් පිහිටුවලා සමාජවාදය ඇති කෙරුව කියල නිකමට හිතමු. ඒ රාජ්‍යයට මොකද වුණේ. ඒක අස්ථායී රාජ්‍යයක් ද? මාක්ස් කම්කරු පංති රාජ්‍යයේ ස්ථාවරත්වය ගැන කතා කරලා නැහැ. ඔහු හිතන්න ඇති ඒක ස්ථායී රාජ්‍යයක් බවත් සමාජවාදී රාජ්‍යය ක්‍රමයෙන් විකාශය වෙලා රාජ්‍යය වියැකී ගිය කොමියූනිස්ට් සමාජයක් ඇති වෙන බවත්. අයියෝ මාක්ස්! අන්න පුටින් අගමැති බලතල වැඩි කර ගැනීමේ වුවමනාවෙන් ආණ්ඩුව වෙනස් කරලා. දැන් අලුත් අගමැතිවරයකු ඉන්නවා. තව අවුරුදු දෙක තුනකින් පුටින් අගමැති වෙන්න බලාපොරොත්තු වෙනවා. ලාල්කාන්ත දන්න විධියට රුසියාවෙ අගමැතිවරු මාරු කෙරුණෙ ජනමතය වෙනස් වී ඇති නිසා ද? 

ලාල්කාන්ත කියන්නෙ අර තිස්ස අත්තනායක කිවුව වගේ එක් ජනමතයකින් තවත් ජනමතයක් වෙනස කරන්න බැහැ කියලා. අනේ අම්මපා! ඊනියා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙ තියෙන එක ප්‍රශ්නයක් තමයි ජනමතය වෙනස් වෙන ආකාරයට පාර්ලිමේන්තුව වෙනස් නො වීම. 2019 ජනාධිපතිවරණයෙ ප්‍රතිඵල අනුව මැතිවරණයක දි ගෝඨාභය රාජපක්‍ෂගෙ නායකත්වයෙන් දැනටත් පිහිටුවා ඇති ශ්‍රි ලංකා නිදහස් පොදුජන සංධානයට මන්ත්‍රී ආසන 130ක් පමණ ලැබෙන්න ඕන. ඒක වත්මන්   පාර්ලිමේන්තුවෙ පිළිබිඹු නොවීම ම තමයි ප්‍රශ්නය. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කරපු එක දෙයක් තමයි ඒ ජනමතය වෙනස්වීම තහවුරු කරන විධියට පාර්ලිමේන්තුවක් පිහිටුවීමට අවස්ථාව නැති කිරීම. වත්මන් ජනමතය අනුව අනුර රනිල්දාසලාට යටත්විජිත හේරත්ලාට පාර්ලිමේන්තුවේ ඉන්න බැහැ. ලාල්කාන්ත 2019 ජනමතය වෙනුවට 2015 ජනමතය තියාගන්න කතා කරන්නෙ ඇයි ද කියන එක පැහැදිලියි. ඊළඟ මැතිවරණයෙන් පස්සෙ වැඩිම වුණොත් ජ වි පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලැබේවි. 

එක් ජනමතයකින් තවත් ජමතයක් අහෝසි වෙන්නෙ නැහැ කියන එකට මා ජනවාරි අටවැනි දා පිළිතුරු දීල තියෙනවා. ඒ තිස්ස අත්තනායක ගැන සඳහන් කරමින්. ලාල්කාන්ත නම් සුපිරි විප්ලවවාදියා කියන්නෙ එ ජා පක්‍ෂය මහින්දට අගමැති කම දීල ගිය එක වැරදි කියලා. රනිල් රනිල්දාසට වඩා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු බව පැහැදිලියිි. බැරි වෙලාවත් රනිල්දාස අගමැති වෙලා හිටිය නම් මහින්දට අගමැතිකම දීල යන එකක් නැහැ. 

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 2015 ජනාධිපතිවරණයෙන් පස්සෙ මහින්ද අගමැතිකම රනිල්ට දීල ගිය එකත් වැරදි ද? 2015 ජනමතයෙන් 2010 ජනමතය වෙනස් වුණා ද? එකල ලාල්කාන්තලගෙ විප්ලවවාදියො රනිල්ගෙ ආණඩුවට සහාය දෙන විට ජනමත කතාව මතක් වුණෙ නැද්ද? කබරගොයා තලගොයා කරන එක ජ වි පෙ හැමදාමත් කළ දෙයක්.