Main Logo

Tuesday 14 January 2020

කොඩි එසවීම හා රන්ජන් බැස්සීම

 සිංහල ලිත් ඉලක්කම්


කොඩි එසවීම හා රන්ජන් බැස්සීම



විපක්‍ෂ නායක කාර්යාලය වටා බෞද්ධ කොඩි හිටවලා කියලා ප්‍රවෘත්තියක් පළ  වුණා. ඒ විශේෂ උත්සවයක් සඳහා නො වෙයි. ඉන් පැහැදිලි වන්නේ විපක්‍ෂ නායක කාර්යාලය පන්සලක් කියන එක ද?  පන්සල්වල නම් බෞද්ධ කොඩි ලෙළ දීමට සලස්සනවා. එහෙත් සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ ගිහියන් එහෙම බෞද්ධ කොඩි ඔසවන්නේ නැහැ. සමහර විට සජිත් අලුත් සම්ප්‍රදායක් අරඹනවා ද දන්නේ නැහැ.


සජිත් එ ජා ප නායකයා වුණොත් සිරිකොත වටා ද බෞද්ධ කොඩි ඔසවනවා ද? බලාගන්නත් එක්ක සජිත්ට එ ජා ප නායකකම දීමට ආශු මාරසිංහට කටයුතු කරන්න පුළුවන් ද? අජිත් පෙරේරා ඒ ගැන මොකක් ද කියන්නෙ. ඒ මොකක් වුණත් දැන් විපක්‍ෂය බෞද්ධ ද? සුමන්තිරන් ඒකට පක්‍ෂ ද? හකීම් හා විපක්‍ෂයේ අනෙක් අබෞද්ධයන්ට ප්‍රශ්නයක් නැද්ද? සජිත් ඔවුන් සමග යම් එකඟත්වයකට ඇවිල්ල ද? 

සජිත් තම සිංහල බෞද්ධකම පෙන්වන්න උත්සාහයක් ගන්නේ කරුණාරත්න ජයසූරියට එරෙහිව ද? මෙරට පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් ඒ ගැන කිසිවක් කියා තිබූ බවක් මට මතක නැහැ. සමහර විට ඔවුන් ඒ ක්‍රියාව අනුමත කරනවා වෙන්න ඇති. ගෝඨාභය බුදුන් වඳින අවස්ථාවක් වුණත් වැඩ අරඹයි යන යෙදුම සහිත ව උපහාසයෙන් වාර්තා කරන ඊනියා සමාජ ජාල සජිත්ගේ කොඩි එසවීම නිහඬ ව අනුමත කිරීම ප්‍රශ්නයක්.

අද සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ හැඟීම ජනතාව අතර පැතිරිලා ගිහින්. එය සජිත්ට පමණක් නොව අකිල විරාජ්ටත් තේරෙනවා. ඔවුන් හිතනවා එ ජා පක්‍ෂයේ පරාජයට එයත්  හේතුවක් කියලා. එ ජා පක්‍ෂය වෑයම් කරනවා එය නිවැරදි කරගන්න. ඔවුන්ට අවශ්‍යයි තමන් සිංහල බෞද්ධ බවට ජනතාව අතර මතයක් ඇති කරන්න. ඒත් ඒක කොඩි දාලා කරන්න පුළුවන් එකක් නො වෙයි.  ඒ සඳහා එ ජා පක්‍ෂය සිංහල බෞද්ධත්වය සිංහලත්වය නියෝජනය කරන පක්‍ෂයක් වෙන්න ඕන.

එ ජා පක්‍ෂයට එය කරන්න බැහැ. ඒ පක්‍ෂය උත්පත්තියෙන් නොව ගර්භාෂයේ දී ම බෞද්ධ විරෝධී වෙලා. ඩී එස් සේනානායක හමුවීමට ගිය භික්‍ෂූන් වහන්සේලා කිහිප නමකට ඔහු පවසා ඇත්තේ ආණ්ඩු සරණං ගච්ඡාමි කියන්නට වේවි කියලයි. එ ජා පක්‍ෂය නිර්මාණය කරල තියෙන්නෙ බටහිර කොන්සර්වෙටිව්/ලිබරල් ආකෘතියේ. එයට කොඩි උස්සලා බෞද්ධ වෙන්න බැහැ. එක්සත් ජාතික පක්‍ෂයට සිංහලත්වයේ සිංහල ජාතිකත්වයේ පක්‍ෂයක් වෙන්න බැහැ. 

පඬියන් සමහර විට ඒ බව දන්නවා ඇති. ඔවුන් කොඩි එසවීම ගැන  එතරම් කලබලයක් නැත්තේ ඒ නිසා වෙන්න පුළුවන්. දැන් පඬියන් බලා ඉන්නේ සජිත් බෞද්ධ වෙනකම් නොව සිංහල බෞද්ධයන් ගෝඨාභයට ඡන්දය දීමෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොවන තුරු. සිංහල බෞද්ධයන් බලාපොරෙත්තු වූ දේ ලෙස ඔවුන් තේරුම් ගන්නා දේ සිංහල බෞද්ධයන්ගේ බලාපොරෙත්තුවක් නො වෙයි. 

සිංහල බෞද්ධයන් ගෝඨාභය රාජපක්‍ෂගෙන් සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩ නැගීමක් බලාපොරොත්තු වන්නේ නැහැ. ගෝඨාභයටත් අවශ්‍ය වුවත් එය අවුරුදු පහකින් කරන්න පුළුවන් දෙයක් නො වෙයි. සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අද ඉන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයේ වියගහට හසු වී. අද පඬියන්ට සිංහල බෞද්ධ සංස්කෘතියට හිතු හැටියට පහර දීමට හැකි වී තිබෙන්නේ මේ ආධිපත්‍යය නිසයි. 

රන්ජන් රාමනායක හාමුදුරුවරුන්ට පහර දෙන්නේ යශෝධරාවට නිගරු දෙන ආකාරයෙන් කතා කරන්නේ මේ ආධිපත්‍යය නිසයි. පඬියන් ද ජ වි පෙ ද රන්ජන් වෙනුවෙන් පෙනී සිටින්නේ පඬියන් පමණක් නොව ජ වි පෙරමුණ ද සිංහල බෞද්ධ විරෝධී නිසයි. ජයලත් මනෝරත්න ද ගියේ  ජාතිකත්ව මගක නො වෙයි. පඬියන් ඔහුට සුබ ගමන් පතන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක නොව බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියක. මනෝරත්න එයට අකමැති වෙන එකක් නැහැ.

සිංහල බෞද්ධයන් ගෝඨාභයගෙන් බලාපොරොත්තු වන්නේ සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩ නැගීමට පියවර කිහිපයක් ගන්නා ලෙස පමණයි. එයට වැඩි දෙයක් බලාපොරොත්තු වන්නේ නැහැ. සිංහල බෞද්ධයන් පරිහාණියකට ලක් වී ඇති නමුත්  ඔවුන් දැන් අවදි වෙලා. කවුද කියා ඇති අන්දමට සිංහලයන්ගේ යටි සිත් අවදි වෙලා. රන්ජන් රාමනායක අවසානයේ දී බේරෙන්න ඉඩ තියෙනවා. ඒ අර බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය නිසා. එහෙත් ඔහුටත් ඔහු සාමාජිකත්වය දරණ එ ජා පක්‍ෂයටත් විරෝධයක් සිංහල සමාජයේ ඇති වෙලා. 

එ ජා පක්‍ෂයට රන්ජන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අඩු තරමෙන් මැතිවරණය වන තුරු අත්හිටුවීමට සිදු වෙලා. සජිත්ට බෞද්ධ කොඩි ඔසවන්න සිදු වෙලා. බටහිර නියෝජිතයා වූ රනිල්ගේ නායකත්වයට අභියෝග එල්ල වෙලා. ඒ අතර රාජිත ගෙදර ගිහිල්ලා. පරස්පරය ඇත්තේ එතැනයි. නීතිය සිංහල නොවෙයි. නීතිඥයන් සිංහල වෙන්න පුළුවන්. එහෙත් රෝම ලන්දේසි නීතියට සිංහල වෙන්න බැහැ.