Main Logo

Thursday 9 January 2020

ජාතික ගීය දෙමළෙන් - ඊළම කියන්නෙ සිංහල දේශය

  සිංහල ලිත් ඉලක්කම්





ජාතික ගීය දෙමළෙන් - ඊළම කියන්නෙ සිංහල දේශය



රන්ජන් ගැන කතා කරන එක වැදගත්. ඒත් මට ප්‍රශ්න රාශියක් තියෙනවා. විනිසුරුවන්ට කතා කෙළේ ඔහු පමණ ද? පොලීසියට කතා කෙළේ ඔහු පමණ ද? නීතිපති දෙපාර්තමේන්තුවට ඔහු හරි වෙනත් අය හරි කතා කරන්නේ නැද්ද? ඔහු වෙනත් අය වෙනුවෙනුත් කතා කෙළේ ද? ඔහුගෙ අනෙක් හඬපට කාට විරුද්ධව ද? ඒ අය තමන්ගේ ගැලවීම සඳහා රන්ජන්ගේ සියලු හඬපට ඉවත දමාවි ද? විනිසුරුවන් නීතිපති දෙපාර්තමේන්තුව ආදිය දූෂිත ද? දූෂිත නම් එය 2015න් පසු සිිදු වූවක් ද?    කතෝලිකයන් අතරත් කුල ක්‍රමයක් තියෙනවා ද? කතෝලික වීමේ කොලිටිය කුමක් ද? ප්‍රජාතන්ත්‍රවාදය අනාගමික ද? ලෝකයේ ඇති සංස්කෘතික ගැටුම ඉරානයේ පිළිබිඹූ වන්නේ ද?


ඒ ප්‍රශ්න දැනට පසෙක තබා ජාතික ගීයට නැවතත් යොමු වෙමු. දෙමළෙන් පමණක් නොව ඉංගිරිසියෙන් හා අරාබි භාෂාවෙන් ද ගැයිය යුතු බවට අද දි අයිලන්ඩ් පුවත්පතේ කවුද කියල තිබුණා. ඔහුට අනුව රට බහුසංස්කෘතිකයි. බහුසංස්කෘතික  බහුබූතය ගැන මා කොතෙකුත් ලියා ඇති. බහුසංස්කෘතික යැයි කියා එංගලන්තයේ ජාතික ගීය ඉංගිරිසියෙන් හැරෙන්න වෙනත් භාෂාවකින් ගයන්නේ නැහැ. ගෝඩ් සේව් ද ක්වීන් මිස තෙරුවන් සරණයි කියන්නේ නැහැ. මෙයින් කියන්නේ මෙරට බහුසංස්කෘතික වන බවක් නො වෙයි.

ඉන්දියාවේ ජාතික ගීය දෙමළෙන් ගායනා නොකරද්දී ලංකාවේ ජාතික ගීය දෙමළෙන් ගායනා කළ යුතු ද? තමිල්නාඩුවේ දෙමළ මුන්නේත්‍ර කළාහම් (ඩී එම් කේ) පක්‍ෂයට ද ප්‍රශ්නයක් වී ඇත්තේ ලංකාවේ ජාතික ගීය දෙමළෙන් නොගැයීම ය. ඒ පක්‍ෂය ඉන්දියාවේ ජාතික ගීය දෙමළෙන් ගායනා කරන ලෙස මෝදිගෙන් ඉල්ලන්නේ නැහැ. ඉන්දියාවේ ජාතික ගීය ගයන්නේ වංග හෙවත් බංගලි භාෂාවෙන්. එය හින්දියෙන්වත් ගයන්නේ නැහැ. එයට ඓතිහාසික හේතුවක් තියෙනවා. ඒ ඉන්දියාවේ නිදහස් සටනෙහි වංගයන්ගේ මැදිහත් වීමයි.

ඉන්දියාවේ අගනුවර නව දිල්ලියට ගෙන යෑමට පෙර ඉංගිරිසින් කොල්කතාවේ සිට රට පාලනය කළා. ඉන්දියාවේ නිදහස් සටනට කොල්කතාව මූලික වුණා. බ්‍රහ්ම සමාජ් වැනි සමාජ ඇති වුණේ කොල්කතාවෙහි. අවසාන කාලයෙහි ඨකුර් (තාගෝර්) වැන්නන්ගේ බලපෑම තිබුණා. ජන ගන මන ජාතික ගීය රචනා කෙරුණේ ඨකුර් විසින්.

ඉන්දියාවේ භාෂා රාශියක් තියෙන බැවින් ඒ සෑම භාෂාවකින් ම ජාතික ගීය ගැයීම ප්‍රායෝගික නැති බවත් ඒ නිසා එය දෙමළෙන් ගැයීමට ඉල්ලීමට නොහැකි බවත් යමකු කියන්න පුළුවන්. එහෙත් ලංකාවේ ඇත්තේ භාෂා දෙකක් පමණක් නිසා ජාතික ගීය දෙමළෙන් ගැයීමේ දී ප්‍රායෝගික ප්‍රශ්නයක් මතු නොවන බවත් තවදුරටත් කියන්න පුළුවන්. එහෙත් මෙය ප්‍රායෝගිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි.

තවත් සමහරු පෙන්නා දෙන්න පුළුවන් කැනඩාවේ ජාතික ගීය ඉංගිරිසි හා ප්‍රංශ යන භාෂා දෙකෙන් ම ගයන බව. එසේත් නැත්නම් නවසීලන්තයේ ජාතික ගීය මයෝරි හා ඉංගිරිසි යන භාෂා දෙකෙන් ම ගයන බව. එසේ ජාතික ගීය භාෂා දෙකකින් ගයන රටවල ඒ සඳහා විශේෂ හේතුවක් තියෙනවා. එසේ නැතිව හිතු මනාපයට හරි ප්‍රායෝගිකත්වය නිසා හරි ගැයෙන කතාවක් එහි නැහැ.

කැනඩාව කියන්නේ අනාදිමත් කාලයක ඉතිහාසයක් තියෙන රටක් නො වෙයි. වත්මන් කැනඩාවේ ඉංගිරිසි හා ප්‍රංශ යටත්විජිත ගොඩ නැගුණා. එහි සිටි ආදිවාසීන් හා ඔවුන්ගේ සංස්කෘතිය නැතිවෙන තැනට කටයුතු යෙදුණා. අද වන විට කැනඩාවේ දළ වශයෙන් ඉංගිරිසි කතා කරන ප්‍රදේශයක් හා ප්‍රංශ කතා කරන ප්‍රදේශයක් පවතිනවා. ඒ භාෂා දෙකට කැනඩාවේ ඇත්තේ එක ම ඓතිහාසික උරුමයක්. ඉංගිරිසි කතා කරන පිරිස වැඩි වුවත් භාෂා දෙක ම ඓතිහාසික වශයෙන් සම තත්වයක් දරණවා. කැනඩාවේ ජාතික ගීය ඉංගිරිසි හා ප්‍රංශ භාෂා දෙකෙන් ම ගයනවා නම් එයට වැදගත් හේතුවක් තියෙනවා.

නවසීලන්තයේත් ජාතික ගීය මයෝරි හා ඉංගිරිසි භාෂාවලින් ගැයෙනවා නම් එයටත් හේතුවක් තියෙනවා. අද නවසීලන්තයේ සංස්කෘතිය ඉංගිරිසින්ගෙන් ලැබුණු දෙයක්. බහුතරය කතා කරන භාෂාව ඉංගිරිසි. ඒ අතර මයෝරි භාෂාව එහි ඊනියා ආදිවාසීන්ගෙ භාෂාව. ආදිවාසීන් කියන්නෙ බටහිර ක්‍රමයට නම් යුරෝපීය ජාතියක් යම් රටකට යන විට ඒ රටේ වාසය කළ බහුතරය. එහෙත් යුරෝපීයයන් කල් යෑමේ දී ඒ බහුතරය විනාශ කරල සුළුතරයක් බවට පත් කරනවා. ඒ සුළුතරයට ආදිවාසීන් කියල නමක් පටබඳිනවා.

නවසීලන්තය තම රටේ ඊනියා ආදිවාසීන්ට තැනක් දීමට ඔවුන්ගෙ භාෂාවෙන් ජාතික ගීය ගයනවා වෙන්න පුළුවන්. ආදිවාසීන් නැති කරලා (නැත්තට ම නැති නොකළත්) දැන් තැනක් දෙනවා නම් ඒකත් එකක්.

ලංකාවෙ තත්වය මොකක් ද? ලංකාවෙ ඉතිහාසයට අනුව ආදිවාසීන් ඉන්නවා ද? බටහිරයන් වැදි ජනතාව ආදිවාසීන් ලෙස හඳුන්වනවා. ඔවුන් එයින් කියන්න උත්සාහ කරන්නේ සිංහලයන් පිටරටකින් පැමිණ වැදි ජනතාව නැති කළ බව ද? ඔවුන්ට කියන්න පුළුවන්ද සිංහලයන් පැමිණියෙ මොන රටෙන් ද කියලා. නවසීලන්තයට ගිය ඉංගිරිසින් කතා කරන භාෂාව (පොඩි පොඩි වෙනස්කම් ඇතිව වෙන්න පුළුවන්) තවමත් කතා කරන ඉංගිරිසින් එංගලන්තයෙ ඉන්නවා. එහෙත් සිංහල භාෂාවට සමීප භාෂාවක්වත් කතා කරන කිසිම ජනතාවක් භාරතයෙ හරි වෙනත් රටක හරි ඉන්නවා ද? සිංහල භාෂාව වංග භාෂාවෙන් බිඳී ආ එකක් ද?

සිංහල ජාතිය මෙන් ම සිංහල භාෂාව හා සිංහල සංස්කෘතියත් ලංකාවේ ම නිර්මාණය වී ඇත්තේ. පස්වැනි සියවසට පෙර එහෙත් පණ්ඩුකාභය සමයට පසු විශාල පිරිසක් වංගයෙන් (නැගෙනහිර පුණ්ඩ්‍රාවෙන්) මෙරටට සංක්‍රමණය වී තිබෙනවා. මහාවංසයේ කියැවෙන විජය පුවත ඒ සම්බන්ධවයි. එහෙත් ඒ පිරිස් නව ජාතියක් නව භාෂාවක් ගොඩ නගා නැහැ. අප වංගයන්වත් අප කතා කරන්නේ වංග භාෂාවවත් නො වෙයි. සමහර විට නැගෙනහිර පුණ්ඩ්‍රාවෙහි කතා කළ පාළි භාෂාව සිංහල භාෂාවට වචන හා ව්‍යාකරණ රීති කිහිපයක් එකතු කරන්න ඇති. පසුව  සංස්කෘත වචනත් වියරණ රීතිත් එකතු වී තිබෙනවා.   අද වන විට අපට ඉංගිරිසි වචන හා රීතිත් එකතු වෙනවා. ඒ ඉංගිිරිසින්ගේ සංස්කෘතික දේශපාලනික ආධිපත්‍යයෙන්.

මෙරට සිංහල ජාතිය තමයි ආදිවාසීනුත්. ඒ ආදිවාසීන්ට විවිධ කාලවල දී විවිධ පිරිස් එකතු වී තිබෙනවා. අපට සිංහල කියන නම ලැබුණෙ බටහිර පුණ්ඩ්‍රාවෙන් පැමිණි සිංහල ප්‍රධාන පිරිසක් නිසා වෙන්න පුළුවන්. සිංහල විවාහ වෙලා හිටියෙ ග්‍රීක කුමාරිකාවක් එක්ක. අනුරාධපුරයෙ එක් කාලෙක පණ්ඩුකාභය රජු යවනයන්ට (ග්‍රීකයන්ට) කොටසකුත් වෙන් කරල තිබුණා. හරියට නායක්කාර් රජවරුන්ගෙ කාලෙ මහනුවර මලබාරයන්ට ප්‍රදේශයක් වෙන් වෙලා තිබුණ වගේ. ඉංගිරිසින් මලබාර් වීදිය ලෙස නම් කෙළෙ මේ ප්‍රදේශයෙ කොටසක් වෙන්න පුළුවන්. (බටහිර පුණ්ඩ්‍රාව ගැන දැනගැනීමට පරණවිතාන මහතා ග්‍රීකයන් හා මෞර්යයන් ගැන ලියා ඇති පොතපත කියවන්න. බෙංගාලයේ (වංගයේ) ඇති නැගෙනහිර පුණ්ඩ්‍රාව ගැන අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්.)

විවිධ ජන කොටස් එකතු වුණාට සිංහලයන් තම අනන්‍යතාව රැක ගත්තා. සිංහල භාෂාව විකාශය වී ඇති ආකාරය සෙල්ලිපිවලින් හා ලෙන්ලිපිවලින් අධ්‍යයනය කරන්න පුළුවන්. පසු කාලෙක ඒ සඳහා පොතපතත් යොදා ගන්න පුළුවන්. ඒ භාෂාව ලෝකයේ වෙන කොහේවත් නැහැ. අපට ග්‍රීක බලපෑම මෙන් ම මොහෙන්ජදාරෝ හරප්පා බලපෑමත් තියෙන්න පුළුවන්. මෞර්ය බලපෑම මෙන් ම වංග බලපෑමත් තියෙන්න පුළුවන්. ඇෆ්ගනිස්ථාන් (කාම්බෝජ) පර්සියන් (ඉරාන) බලපෑමත් තියෙන්න පුළුවන්. පසුව මියන්මාර් හා වත්මන් කාම්බෝජ බලපෑමත් තියෙන්න පුළුවන්. මියන්මාරයට හා වත්මන් කාම්බෝජයට සිංහල බලපෑමත් තියෙන්න පුළුවන්. වත්මන් කාම්බෝජය සිංහලයන් අතර වූ කාම්බෝජයන්ගේ (කබොජ) නිර්මාණයක් වෙන්නත් පුළුවන්. මෙහි පුළුවන් යන්න යොදා ඇත්තේ සාධක තිබෙන බැවින් මිස හුදු හිතළුවක් වශයෙන් නො වෙයි.   සිංහලයන් මෙරට අදිවාසීන් මෙන් ම වත්මන් වාසීන්. මේ සිංහල අපගෙ රටයි. නන්දා මාලීනීට නැති වුණාට සිංහල රට අපේ.

අප දෙමළ ජාතිවාදීන්ට අවුරුදු තිහක පමණ කාලයක තිස්සේ කියන කරුණු ඔවුන් අමතක කරනවා. ඇතැම් සිංහල ජාතිකවාදීන්ටත් අප මේ කරුණු කියා ඇති බව අමතකයි.  එක කරුණක් පමණක් නැවත මතක් කරනවා. මදුරාසි (චෙන්නායි) විශ්වවිද්‍යාලය මගින් නිකුත් කර ඇති දෙමළ ශබ්දකෝශයෙහි ඊළාම් යන්නට නිරුක්ති සපයන්නේ සීහලාම් යන්නෙන් බිඳී ආ ලෙස. ඒ කියන්නේ ඊළාම් යන්නෙන් කියැවෙන්නෙත් සිංහල දේශය යන්නයි. දෙමළ ජාතිවාදීන්ට වෙනත් ඊළමක් හොයා ගන්න පුළුවන් බයිබලයේ කියැවෙන බටහිර ආසියාවේ ප්‍රදේශයක පමණයි.

කැනඩාවේ ඓතිහාසික වශයෙන් ඉංගිරිසි හා ප්‍රංශ සම තත්වයේ. එහෙත් ලංකාවේ සිංහල හා දෙමළ සම තත්වයේ නො වෙයි. සිංහල භාෂාවේ පාළි සංස්කෘත මෙන් ම දෙමළ පෘතුගීසි ලන්දේසි ඉංගිරිසි වචන තියෙනවා. ඉංගිරිසි භාෂාවෙ වෙනත් භාෂාවලින් ගත් වචන කොපමණ තියෙනවා ද? ලංකාවේ කතා කරන විවිධ දෙමළ භාෂාවල සිංහල වචන තියෙන්න ඕන. ඒ ගැන කිසිවකු අධ්‍යයනයක් කරන්නේ නැහැ. මෙරට පැරණි දෙමළ සෙල්ලිපි ඇත්තේ අල්පයක්. ඒවා සමහරක් සංචාරකයන් සංක්‍රමණිකයන් වෙනුවෙන් ලියූ ලිපි. මෙරට දෙමළ පෙතපත ලියන්න පටන් ගත්තේ කවදා ද

සුමන්තිරන් කෑ ගැහුවට මෙරට ජාතික ගීය දෙමළෙන් ගැයීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඉංගිරිසින්ගෙන් නිදහස ලබා ගැනීමට සටන් කර ඇත්තේ කැප්පෙටිපොළ, පුරන් අප්පු ගොංගාලෙගොඩ බණ්ඩා ධර්මපාලතුමා වැනි සිංහලයන්. ( ලංකා ජාතික කොංග්‍රසය සටන් කෙළේ එංගලන්තයේ රජූ අපේත් රජු කර ගන්නා ඊනියා ඩොමීනියන් නිදහසක් සඳහා.අද වෙල්ලාලයන් කරන්නෙ  ලැබූ නිදහස උතුරු හා නැගෙනහිර පළාත්වල  නැවත සිංහලයන්ගෙන් අරගෙන ඉංගිරිසින්ට ආපසු ලබා දීමටයි. දෙමළ ජාතික ගීයත් අවසානයේ දී ඒ සඳහා පමණයි.