Main Logo

Wednesday 8 January 2020

රන්ජන්ගේ සේවය

           සිංහල ලිත් ඉලක්කම්


රන්ජන්ගේ සේවය



රන්ජන් රාමනායක තරම් මෙරට දේශපාලනයට සේවයක් කළ අයකු සමහර විට ඉඳලා නැතිව ඇති. මෙරට දේශපාලනයේ නීතියේ පොලීසියේ රාජ්‍ය සේවයේ සහ තවත් තැන්වල අමන ජරාජීර්ණ අවලම් භාවය කාටත් පේන විධියට හෙළිදරවු කෙළෙ රන්ජන් රාමනායක. මෙරට ඡන්දදායකයන්ට ඒ කිසිවක් වැඩක් වේවි ද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් මීළඟ මැතිවරණයේ දී කොහොම ඡන්දය දේවි ද කියන එක ප්‍රශ්නයක්. හොරු තක්කඩි නීති කඩන්නන් නීති නවන්නන් දූෂිතයන් දෙපැත්තෙ ම ඉන්නවා. මීළඟ පාර්ලිමේන්තුවට ජාතිකත්වයක් ඇති නවක පිරිසක් ඉදිරිපත් කරන්න  ගෝඨාභය රාජපක්‍ෂ කටයුතු කරනවා නම් හොඳයි. 


අද ජනවාරි අටවැනි දා බව ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන්ටත් අමතක වෙලා. ඔවුන් කියාවි ඒකෙ මතක් කරන්න දෙයක් නැහැ කියලා. ප්‍රබුද්ධයන් එහෙම තමයි. ඔවුන්ට වරදින්නෙ නැහැ. සමහර විට මෛත්‍රිපාලටත් අමතක ද දන්නෙ නැහැ. මෛත්‍රිපාලත් රනිලුත් දැන් තමන් දැරූ තනතුරු දරන්නේ නැහැ. රනිල් විපක්‍ෂ නායකත් නො වෙයි. ඒත් රන්ජන් වෙනුවෙන් කතා කරන්නෙ රනිල්. සජිත් සමහර විට දූෂණයට හවුල් වෙන්නෙ නැතිව වෙන්න ඇති. මා කියන්නේ රනිල් හවුල් වෙන බව නො වෙයි. මා අහන්නේ හවුල් නොවන්නේ කවුද යන්න පමණයි. ජනවාරි අට යහපාලන දවස වගේ ම බණ්ඩාරනායක මහතා උපන් දිනය. යහපාලනය නැත්තන් රන්ජන් කෙනෙකුත් නැහැ. 

අර ජනවාරි අටවැනි දා දවසක උපාසක  ඩඩ්ලිගෙ ආණ්ඩුවක් තිබුණු කාලෙ කොල්ලුපිටියෙ දි අපවත් කෙරුණු දඹරාවෙ රතනසාර හාමුදුරුවන් ගැන මතක් වෙන්නේ උන්වහන්සෙගෙ ගිහි කල නෑදෑයන්ට පමණක් ම වෙන්න ඕන. ඒ අවුරුදු පනහකටත් පෙර 1968 දි. මා සහකාර කථිකාචාර්යවරයකු  ලෙස බැඳුණු අලුත. මා ඊනියා විප්ලවවාදියකු ව හිටි කාලෙ. 

රනිල් කියල තිබුණ රන්ජන්ගෙ හඬපට දැන් තැන් තැන්වල ඇහෙන නිසා ඒ සියල්ල පොලීසිය විසින් කතානායකට භාර දෙනු ලැබිය යුතු බව.  එවිට කතානායක වැරදි දේ ඇති හඬපට පොලීසියට දේවිලු. රනිල් කතානායකට මේ වැඩේ පවරන්නෙ මොක ද? කතානායකට පොලීසිය ම බාරදුන්න ම ඉවරයි නේ. රනිල් කියන්නෙ මන්ත්‍රීවරුන් සම්බන්ධ දේ පමණක් කතානායකට පවරන්න කියල ද? කතානායක ඔය හඬපටවලට සවන් දේවි ද? නැත්නම් එයාගෙ කාර්ය මණ්ඩලයකට පවරාවි ද? විපක්‍ෂයට කතානායක විශ්වාස ද? 

කිසිම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රටක දූෂණයෙන් තොර පාලනයක් නැහැ. දූෂණය ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයක්. ව්‍යපාර කටයුතුවල දී කොමිස් දීමත් අංගයක්. කොමිස්වලින් තොර ව්‍යාපාරවත් දූෂණයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදයක්වත් නැහැ. නීතියට අධිකරණයට අත දාන්නෙ ලංකාවෙ දේශපාලනඥයන් විතරක් නො වෙයි. 

අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තවමත් යහපාලන සභාව ම ද? ඒකට අලුතෙන් පත් කරන්න බලාපොරොත්තුවක් නැද්ද? ඊනියා පොලිස් කොමිසම ඇතුළු කොමිසම් ගණනාවක් ම පත් කෙළෙ ඔය තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන්. කොමිසම් සභා සාමාජිකයන් අස් කරන්නත් බැහැ. ඔවුන් අස්වෙන්නෙත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය එහෙමයි. 

දැන් රන්ජන්ගෙ කියන හඬපට කාගෙ ද කියල තවම හරියට ම දන්නවා ද කියල ප්‍රබුද්ධ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕවා අර පරීක්‍ෂකට මේ පරීක්‍ෂකට යවන්න ඕන. කවුරු හරි රන්ජන්ගෙ කටහඬ ශානිගෙ කටහඬ අර රණවක මහත්මියගෙ කටහඬ තියෙන අය එකතු කරගෙන මේ හඬපට සකස් කරල ත්‍රිරෝද රියැදුරු කෙනකු ලවා රන්ජන්ගෙ ගෙදරට යැවුවා වෙන්න බැරි ද? එහෙමත් නැත්තන් පොලීසිය ම ඒ හඬපට එදා රන්ජන්ගෙ ගෙදරට එන විට ගෙනාවා වෙන්න බැරි ද? දක්‍ෂ නීතිඥ මහතුන්ට අධිකරණය ඉදිරියේ ඔප්පූ කරන්න බැරි මොනවා ද? එහෙමත් නැත්නම් කවුරු හරි විනිසුරුතුමකුට කතා කරාවි ද? රන්ජන් නම් කතා කරන එකක් නැහැ. නැහැ මා කියන්නෙ කතා කරනවාට නො වෙයි. කතා කළත් විනිසුරුවන් සවන් දේවි යැයි. අධිකරණයට අපේ ගෞරවය එහෙම මයි. අබමල් රේණුවකින්ත් අඩුවෙලත් නැහැ වැඩිවෙලත් නැහැ.

නීතිය නවනවා කියන එක පූජිතගෙ කතාවක් නො වෙයි. රන්ජන්ට නම් දවසක් පූජිතලා මාරු වුණා. ඒත් බොහෝ දෙනා  දන්නෙ අත්අඩංගුවෙ ඉන්න පූජිත ගැන. නීතිය නැවීම ඉංගිරිසි කතාවක්. ඒක සිංහලට පරිවර්තනය කර ගෙන. ඒ කියන්නෙ ඉංගිරිසි කාරයොත් නීතිය නවනවා. නැත්තන් බෙන්ඩින් ද ලෝ. ඉංගිරිසියෙන් බෙන්ඩින් ද ලෝ කරල බෙන්ඩින් ලෝ වෙන්න පුළුවන්. මේ ලෝ දෙක දෙවිධියකට ලියන්නෙත් උච්චාරණය කරන්නෙත් (law හා low).

වළං හෝදන කතාව ඒ තරම් හොඳ නැහැ. ඒක ගහැණුන් පහත දැමීමක්. වළං හේදිල්ල නොවෙයි අමාත්‍යාංශ ලේකම්කමුත් ඉහළ පහළ භේදයකින් තොරව සලකන්න ඕනෙ. රන්ජන්ගෙ හඬපටවල ගණිකාවන් ගැනත් කියවෙනවාලු. ඒ අය එක එක වර්ගවල කියනවා.  ගණිකා කිවුවත් නගර සෝභිනී කිවුවත් එක ම නොවෙයි.  දරුමල්ලන් රැක ගන්න ඇඟ විකුණන අය ගැන අපේ හදවත් උණුවෙන්න ඕන. ගැහැණු කියන්නෙ පිරිමින්ට තම ආශාවන් ඉටු කර ගන්න තියෙන භාණ්ඩ නොවෙයි.  

අප හදන්න ඕනෙ ගැහැණු හදවතින් ම හිනැහෙන රටක්. එදාට තමයි රට දියුණු කියල කියන්න පුළුවන්. ඒක රටක දියුණුවේ නිර්ණායකය වෙන්න ඕන. අතට පයට මෙහෙකරුවන් ඉන්න,  හදවතින් වැළපෙමින් ලිප්ස්ටික් හරි නාදළු හරි දෙතොල් විවර කර හිනහවෙමින් බී එම් ඩබ්ලිව් රථවලින් යන ගැහැණු ඉන්න රටක් දියුණු නැහැ. හිතන්න එපා බටහිර රටවල් දියුණුයි කියලා. 

රන්ජන්ලා ශානිලා කියන්නෙ අපේ රටේ දියුණුවේ තරම. අප බටහිර අනුකරණයෙන් තමයි මේ දියුණුව අත් පත් කර ගෙන තියෙන්නෙ. මොකෝ ප්‍රජාතන්ත්‍රවාදය හා රෝම ලන්දේසි නීතිය අපි නිර්මාණය කරපු දේ යැයි. ඒත් රන්ජන්ට, ශානිට හා රණවක නෝනට පමණක් දොස් කියල බේරෙන්න බැහැ. අපේ ඇස්වලත් පොල් පරාල තියෙනවා. ඒකෙන් කියන්නෙ රන්ජන්ලා වෙනුවෙන් නීතිය නවන්න කියන එක නො වෙයි.