අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ප්‍රාර්ථනා

Avatar Nisanka Weheraduwa | January 3, 2020 153 Views 0 Likes 0 Ratings

153 Views 0 Ratings Rate it

අලුත් අවුරුද්දක් කියන්නෙම හැමෝටම බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් අලුත් වෙන්න ලැබෙන හොඳ අවස්ථාවක්. අලුතින් අවුරුද්දක් උදාවෙනකොට පරණ වසරේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න උත්සාහ කිරීම අතිශය වැදගත්. මේ එළඹෙන 2020 අවුරුද්දේ අලුත් වෙන්න ඕනේ කොහොමද..? ඒ ගැන මොනවගේ අදහසක්ද තියෙන්නෙ කියල කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් අපි විමසීමක් කළා.

සම්මානනීය රංගන ශිල්පිනි අනෝමා ජනාදරී

කලාකාරිනියක් හැටියට මට කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්. 70 වසරක් තිස්සේ අපේ සිනමාව පවතිනවා. හැබැයි මේ පහුගිය අවුරුදු 70කම මේක හසුරවලා තියෙන්නෙ වඳුරෝ වගේ කියල කනගාටුවෙන් වුනත් කියන්න සිද්ද වෙනවා. තවමත් මේ ක්ෂේත්‍රයට වෘත්තීය පසුබිමක් නැහැ. අධ්‍යාපන තත්වයක් ඇතිකරන්න තියා එහෙම එකක් හිතන්න වත් පෙළඹිලා නැහැ. වෙන රටවල කලාකරුවන් කාණ්ඩ කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. විශේෂයෙන්ම රංගනය වගේ විෂයක හැකියාව අනුව විවිධ වර්ගීකරණ තියෙනවා. එතකොට නිර්මාණයකට කෙනෙක්ව දායක කරගන්නේ ඔහුට හෝ ඇයට තියෙන Grade එක අනුවයි. එතැන වෘත්තීයභාවය තියෙනවා. ලබාගත්ත අධ්‍යාපන මට්ටමක් තියෙනවා. කෝ අපේ සිනමාවට මේ දේවල්..? අවුරුදු 70ක් මේකේ පොල් ගෑවද කියල තමයි අහන්න වෙන්නෙ. අඩුම තරමේ මේ ක්ෂේත්‍රයට වෘත්තීය මට්ටමක් හදන්න වත් මේ හිටපු අයට බැරිවුනා. කලාකරුවෝ මන්ත්‍රීවරු වෙලා පාර්ලිමේන්තු ගියා. වෙන විවිධ බලතල සහිත තැන් වල නිළධාරීන් වුනා. නමුත් මොනවද කරේ..? තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ ඉටු කරගත්ත විතරමයි.

ඉතින් අලුත් අවුරුද්දක්, අලුත් දශකයක් උදාවෙන මේ වෙලාවේ මට කියන්න තියෙන්නේ මේ අලුත් දශකයෙදිවත් මේ කලාවට නිවැරදි නිරවුල් ප්‍රතිපත්ති සම්පාදනය කරන්න මේ උදවියගේ ඇස් ඇරේවා කියල තමයි. නිවැරදි අධ්‍යාපනික ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. වෘත්තීය භාවය රැකෙන්න ඕනේ. නියාමනයක් තියෙන්න ඕනේ. වල්බූරු නිදහසක් තියෙනකොට ඕන කෙනෙකුට හිතෙන හිතෙන දේවල් මේක ඇතුලේ කරන්න පුළුවන්. කලාව අවරට හ ගිහින් කියල කීප දෙනෙකුම තැන් තැන් වල කියල තියෙනවා මම දැක්කා. කවුද අවරට ගෙනිච්චේ. පිට රටකින් ඇවිත්ද..? මේකේ ඉන්න යම නේද මේක අවරට ගෙනිච්චේ. ඉතින් වෘත්තීය භාවය අනිවාර්යෙන්ම හදිය යුතුයි. කර්මාන්තයක් විදිහට මේක ගොඩනැගෙන්න හරි අධ්‍යාපන පසුබිමක් තියෙන්න ඕනේ, නියාමනයක් තියෙන්න ඕනේ, නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඉතිං ඔන්න ඕව නිසිලෙස ගොඩනැගෙන අලුත් වසරක් වෙන්න කියන එකයි මගේ නම් අපේක්ෂාව. ඉතින් බලතල සහිත අය තවදුරටත් මේ දේවල් නොසලකා හරිනවා නම් “හෙණ ගහනවා” කියල තමයි කියන්න වෙන්නේ.

සම්මානනීය රංගන ශිල්පිනී නිරංජනී ශාම්මුගරාජා

අලුත් අවුරුද්දක් උදාවුනා තමයි. හැබැයි මම හිතන්නේ අලුත් අවුරුද්ද වගේම හැම අලුත් දවසක්මත් අපට ආශිර්වාදයක්. ඉතිං අවුරුදක් ලැබුවා කියල සන්තෝස වෙලා සමරලා ඉන්නවාට අමතරව අපි ඒ උදාවුනු අවුරුද්ද වඩා හොඳ එකක් කරගන්න වැඩ කරන්න ඕනේ. අපේ හැම පියවරක්ම හැම ක්‍රියාවක්ම අරමුණක් ඇතුව තේරුමක් ඇතුව අවබෝධයෙන් කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒ දේවල් තමන්ට වගේම අනිකාටත් හොඳක් යහපතක් වන දෙයක් වෙන්න ඕනේ. ඒ වගේම කරන හැම දෙකින්ම තමන් තෘප්තිමත් විය යුතුයි. තමන්ට සතුටක් ලැබිය යුතුයි. තමන්ගේ හෘද සාක්ෂියට එකඟ විය යුතුයි. අනිකාගේ මුහුණට හිනාවක් ගෙන්න පුළුවන් අපි කරන බොහොම පුංචි දේවල් වලිනුත්. ඉතිං අපි ඒ දේවල් නොසලකා හරින්නෙ ඇයි..? හැම වෙලාවේම කාටහෝ යහපතක් වන විදිහට, සතුටක් ඇතිවන විදිහට වැඩ කරනවා නම්, ඒ ආශීර්වාදය අපි වටේම රැඳෙනවා. ඉතිං ඔන්න ඔය සිතිවිලි එක්ක අලුත් අවුරුද්දේ උදාවන හැම දවසක්ම ආරම්භ කරනවා නම් අවුරුද්දම යහපත් සහ සුභවාදී වෙයි කියල මම විශ්වාස කරනවා.

Share

153 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.