HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නස්රුදින්ගේ අලූත් කතා

නස්රුදින් හතර වැනි පොතත් දැන් මුද්‍රණයෙන් නිකුත් වෙලා තියෙනවා.

නස්රුදින් සිංහල පාඨකයන් අතරට ඇවිත් මේ වන විට දශක පහකට වැඩියි. මීට වසර පනස් පහකට පෙර මා මුල්වරට නස්රුදින් සිංහලෙන් ගෙන ආවේ ලේක්හවුස් ආයකන පළ කළ ‘නවයුගය’ සඟරාවෙන්. ඒ අවස්ථාවේ දී මෙවන් කතා පොත් පෙළක් ලියන්නට සිදුවේ යැයි මං කොහොමවත් සිතුවෙ නෑ.

ලිඛිත සාහිත්‍යය බිහි වන්නට බොහෝ කලකට පෙර ලොව පුරා සෑම ජන සමාජයකම නුවණ දැනුම වඩන මාධ්‍යය වූයේ කටින් කටට ගිය මේ උපමා කතායි. එවන් උපමා කතාවලට ඇතුළත් සියලුම ගුණාංග මේ නස්රුදින්ගේ කතාවලද දක්නට ලැබෙනවා. වෙනසකට තියෙන්නේ මේ කතාවක ඇති සරල බවත්, එහි යටි පෙළෙන් දිවෙන ගැඹුරු බවයි කියන දාර්ශනික ලක්ෂණය විතරයි. ඒ නිසා මේ කතා අසන්නා මුලින් එක්වරම සිනාසෙනවා; ඉන්පසු කල්පනාවට වැටෙනවා; අන්තිමේදී නස්රුදින් නම් ‘මෝඩ’ මිනිසා තුළ සැඟවී සිටින ‘නැණවතා’ හා ‘දාර්ශනිකයා’ හඳුනා ගන්නවා.



නස්රුදින්ගේ කතා ලොව පුරා කොතරම් ජනපි‍්‍රය ද යත් ඒ චරිතය සත්‍ය වශයෙන් ම තමන්ගේ රටේ ජීවත්වූ කෙනෙකුගේ යැයි කියන්නට රටවල් තුනක් ම ඉදිරිපත් වී තියෙනවා. ඒ තුර්කිය, ඇෆ්ඝනිස්තානය හා ඉරානය යන රටවල් තුනයි. ඒ අතරින් තුර්කිය ඉදිරියට එන්නේ පැරණි වාර්තා ඉදිරිපත් කරමිනුයි.

තුර්කියේ ඒ ඉපැරණි වාර්තාවලට අනුව 13 වන සියවසේදී රම් නමින් ප‍්‍රකට ව තිබූ සුල්තානා රාජධානියේ අගනුවර වූ කොන්යා අසල ඇක්ෂහීර්හී නස්රුදින් විසූ බව දැක්වෙනවා. ඔහු 1275 හෝ 1285 ජූනි මාසයේදී මිය යන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. එහි ඔහුගේ සොහොන යැයි සැක කරන ස්මාරකයක් ද සොයා ගෙන තියෙනවා. එසේ ම එරට රජයේ අනුග‍්‍රහයෙන් සෑම වසරක ම ජූලි 5ත් 10ත් අතර අන්තර්ජාතික නස්රුදින් උළෙලක්ද ඔහු උපන් ඒ නගරයේදී පැවැත්වෙනවා. එසේ ම මීට වසර 52කට පෙර යුනෙස්කෝව විසින් 1966-67 වසර ‘අන්තර්ජාතික නස්රුදින්ගේ වසර’ ලෙස ද නම් කරනු ලැබුවා.  - පර්සි ජයමාන්න

(ඇම්. ඞී. ගුණසේන සමාගමේ අලුත්ම ප‍්‍රකාශනයක් වූ ‘නස්රුදින්ගේ අලුත් කතා’ කෘතියෙන් එක් කතාවක් පහත දැක්වෙනවා.)

නඩු තීන්දුව

නස්රුදින් ඌරු පැටියකු හොරකම් කිරීමේ වරදට අත්අඩංගුවට ගැනුණා. ඒ නඩුව උසාවියට ඉදිරිපත් කර ඉතාමත් කෙටියෙන් ඉවර වුණා.

මොකද නස්රුදින්ට විරුද්ධව ඇහින් දුටු සාක්කි කිසිවක් තිබුණේ නෑ. නඩුකාර තුමා නස්රුදින්ව නිදහස් කරමින් නඩුව නිෂ්ප‍්‍රභ කළා.

ඒත් නස්රුදින්ට එතැන සිදුවුණු දේ හරියට තේරුම් ගියේ නෑ. එයා නඩුකාරතුමන් දිහා කට ඇරගෙන බලන් උන්නා.

”නඩුව අහලා ඉවරයි! යුෂ්මතා නිදහස්! යුෂ්මතාට දැන් යන්න පුළුවන්” නඩුකාර තුමා කීවා.

”ඔබතුමාට බොහෝම ස්තූතියි මාව නිදහස් කළාට” නස්රුදින් හිස කඳ නවලා නඩුකාරතුමාට ආචාර කර මෙහෙම ඇහුවා; ”දැන් මං ඌරු පැටියාව අයිතිකාරයට ආපහු දෙන්න  ඕනැද?”

Post a Comment

0 Comments