Thursday, December 19, 2019

පොලීසිය ඝාතනය කළ සැමියා වෙනුවෙන් රු: 2,075,000.00 වන්දියක් බිරිඳට හිමිවෙයි.


2010 වසරේදී, ඇඹිලිපිටිය පොලීසිය සිදුකළ, මෙම ඝාතනය සම්බ්නධයෙන්, බිරිඳ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව, මෙම මස 17 වන දින ප‍්‍රකාශයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන් හා රජය විසින් රුපියල් විසි ලක්ෂ හැත්තෑ පන් දහසක් වන්දි වශයෙන් ඇයට ගෙවන්නට නියම කළේය.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් වූ එවකට ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති නිරෝෂන් අබේකෝන්, සැරයන් 32215 වසන්ත සුරවීර, කොස්තාපල් 41953 චමින්ද හා කොස්තාපල් 20527 පුෂ්ප කුමාර යන සිව්දෙනා, එක් අයෙක් රු: 250,000/- බැගින් පුද්ගලිකවද,

එම පොලීසියේ පොලිස් පරීක්ෂක පීටර්, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක විජිත කුමාර හා ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ආනන්ද සමරසේකර යන තිදෙනා විසින් රුපියල් 25,000/- බැගින් පුද්ගලිකව ඇයට වන්දි වශයෙන් ගෙවිය යුතුය.

මෙයට අමතරව රජයේ වගකීම ඉටු නොකිරීම හේතුවෙන් රජයට, දශ ලක්ෂයක වන්දියක් ගෙවීමට නියම කෙරින.

මේ අනුව ඇයට හිමිවන මු`ඵ වන්දි මුදල රුපියල් විසිලක්ෂ හැත්තෑ පන් දහසකි.

2010 ඔක්තෝබර් 16 වන දින, අජිත් ප‍්‍රසන්නව අත්අඩංගුවට ගන්නා ලදි. දින දෙකකට පසුව එනම් 18 වන දින, වෙඩි තබා මරා දමන ලදි.

මෙම ඝාතනය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ ඇඹිලිපිටිය දිසා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාය. ඥතීන්ගේ ඉල්ලීම මත අධිකරණ නියෝගයකින් මෘත දේහය ගොඩ ගෙන, කරාපිටිය ශීක්ෂණ රෝහල මගින් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබීය.

පළමු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් වධ හිංසා පැමිණ වූ බවට සඳහන් නොවීය. එය කරාපිටිය ශික්ෂණ රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිශේධ විය.

මෙම පොලිස් ඝාතනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ ඇඹිලිපිටිය පොලීසිය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 11 හා 13 වගන්ති උල්ලංඝණය කර ඇති බවයි.

මෙම තීන්දුවෙන් ශ‍්‍රියානි එරෙහි ඉද්දමල්ගොඩ නඩුවේදී, ප‍්‍රකාශයට පත්වූ ජීවත්වීමේ අයිතිය යලිත් තහවුරු කරනු ලැබීය.

සිද්ධිය වී වසර 9 කට පසුව මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් රජය රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම තහවුරු කර තිබේ.

පොලීසිය විසින් ඝාතනය කළ අජිත් ප‍්‍රසන්නගේ බිරිඳ තරංගනී ලක්මාලි වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටිය අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විනිසුරු මුර්දු එන්.බී. ප‍්‍රනාන්දු, විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය ගේ එකඟතාවය මත විනිසුරු ජනාධිපති නීතිඥ එස්. තුරෙයිරාජා තීන්දුව ප‍්‍රකාශයට පත්කරනු ලැබීය.

  ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙන මෙම වන්දි මුදල රජය විසින් හා වග උත්තර කරුවන් විසින් කෙදිනකට පෙර ගෙවිය යුතුව තිබේ ද යන්න පිළිබඳව නියමයක් කර නොමැති නිසා වන්දි ගෙවීම පිළිබඳව බරපතල අවිනිශ්චිත තවයක් පවතින බව කිව යුතුය ව තිබේ.

නඩු තීන්දුව- https://www.janasansadaya.org/page.php?id=655&lang=en


No comments:

Post a Comment