HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නවසීලන්තයේ ළමා සෙල්ලම් පිටියක ආකිමිඩීස් දඟරයක්!

නවසීලන්තයෙහි දියුණු රටක් හැටියට අපට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඔවුන් එදිනෙදා දකින දෙයින් පවා ළමයින්ට අධ්‍යාපනය දෙනවා. මං ඊයේ උදේ සිරිත් පරිදි කරන ඇවිදීම අතරෙදි ඇවිදින මං පෙතෙකදි පුංචි උපකරණයක් දැක්කා. ඒ ඇවිදින මං පෙත මැද හරියෙ පුංචි ළමයින් වෙනුවෙන් තනාපු සරල ඇටවුම් කීපයක් සහිත විනෝද උයනක් තිබ්බා. ඔන්චිල්ලාවක්, ළමයින්ට ඉහළ නගින්න තේඩාවලින් හා දම්වැල්වලින් තනාපු අට්ටාලයක්, ඉණිමගකින් ඉහළට නැග පහළට රූටා යා හැකි උමගක් තිබුණා. ඒ අතර තමයි අර අපූරු උපකරණය තිබ්බෙ. වානේවලින් තනාපු එය සර්පිලාකාර දඟරයක්.


ලේසියෙන් ම කළ හැකි වතුර බොන ටැප් එකක් සවි කරනව වෙනුවට මේක එතැන තනලා තියෙන්නෙ ළමයින්ට දැනුමත් විනෝදයත් දෙන්නයි. ඒක කරකවලා වතුර පහළ සිට ඉහළට අරන් බොන්නත් අත පය සෝදා ගන්නත් දරුවන්ට පුලුවන්. එතැනට එන ළමයින් මේ උපකරණය ගැන හොයන්න පොළඹවන්නයි.

ඒක අපි අඳුනන්නෙ ආකිමිඩීස්ගේ  දඟරය කියලයි. ඒක ලෝකයේ මෙතෙක් සොයා ගෙන තියෙන පැරණිම මෙවලමක්. ක්‍රිස්තු පූර්ව 350 දී තරම මිසර ජාතිකයො  මේ දඟරය ජලය පහත් තැනක සිට උස තැනකට ගෙන යන්න පාවිච්චි කරලා තියෙනවා. ඒ කාලෙ එහෙ සංචාරයක යෙදුණු ආකිමිඩීස් මේ අපූරු උපකරණය ගැන අදහස ග්‍රීසියේ වැසියන්ට කියා දීලා ඒ වගේ එකක් හදල පෙන්නලා තියෙනවා. මේ උපකරණය තමන්ගේ එකක් කියලා ආකිමිඩීස් කවදාවත් කියලා නැහැ.

ලෝකයේ පැරණි පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙන උයනට වතුර ගත්තෙ දඟර මගින් කියලා පැරණි ‍ කුණීකාකාර අක්ෂරවලින් ලියපු ලිපියක් විකේතනය කරලා විද්‍යාඥයන් දැන් සොයා ගෙන තියෙනවා.

නෙදර්ලන්තය ස්වීඩනය වගේ රටවල්වල මේ ක්‍රමයට තැනූ ලොකු සිලින්ඩරාකාර සර්පිල යොදා ගෙන කෘෂිකාර්මික කටයුතුවලට ජලය ලබා ගන්නවා. ගොයම් කපන හාවස්ටර් යන්ත්‍රවලටත් මේ ආකිමිඩීස් දඟරය ‍ යොදා ගන්නවා.

ආකිමිඩීස්ගේ  දඟරය  Archimedes screw කියා අන්තර් ජාලයේ බැලුවොත් ඔබට මේ ගැන තවත් විස්තර දැන ගන්න පුලුවන් වෙයි.  මේ වගේ දේවල් අපේ ළමයින් සෙල්ලම් කරන තැන්වලත් පාසල්වලත් ටැප් වෙනුවට එක් කළොත් අපේ ළමයින්ටත් ඒ විදියට දැනුම දෙන්න පුලුවන් වේවි.

  

Post a Comment

0 Comments