පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, December 4, 2019

ෆෙන්ග් ෂුයි කියන්නේ ඇත්තටම මොකක්ද? - What really is Feng Shui?



වර්තමානයේ පවතින තරගකාරී ජීවන රටාවෙන් මිදී ජීවිතය අධ්‍යාත්මික දෙසට වඩාත් නැඹුරු කරගැනීමට බොහෝ දෙනා බොහෝ දේ කරති. ආගම දහමට යොමුවීම එවැනි එක් දෙයකි. ඇතැම් දෙනෙක් තරගකාරී රැල්ල ඔස්සේම ඉදිරියට ඇදෙන්නට, මේ තරගයෙන් ජයගන්නට අධ්‍යාත්මික ලෙස වාසනාව සොයා යති. වර්තමානයේ මෙසේ අධ්‍යාත්මික දෙසට නැඹුරුවෙමින් වාසනාව සොයා ගන්නට අප රටෙහි ජනප්‍රියව පවතින එක් මාර්ගයක් වන්නේ චීන ජනතාව අතර ද ඉතා ජනප්‍රිය ෆෙන්ග් ෂුයිනම් මාර්ගයයි. මෙය මේ වන විට අප රටේද රැල්ළක් ලෙසින්  ජනතාව අතර ජනප්‍රියවෙමින් පවතී. ජීවිතයට වාසනාව ළඟාකර ගන්නට ෆෙන්ග් ෂුයිවල පිහිට ලබාගන්නා අන්දම පිළිබඳ ලියැවුණු පොත පත ද තිබේ. පුවත්වල ද මේ පිළිබඳ විවිධ ලිපි පළවේ. නමුත් මේවා මගින් පූර්ණ ලෙස උපදෙස් ලබාදෙනු පෙනෙන්නට නැත. ඇතැම් ඒවායේ ඇත්තේ උපදෙස්වලින් කොටසකි.  එවැනි උපදෙස්වලින් නිවැරදි ප්‍රතිඵල ලබන්නට නොහැකිය. 

ෆෙන්ග් ෂුයි යනු කුමක්ද?

ෆෙන්ග් ෂුයි යනු බැලූ බැල්මට මිත්‍යා දෘෂ්ටික විද්‍යාවක් ලෙස එකවර පෙනෙනු ඇත. නමුත් සැබැවින්ම ෆෙන්ග් ෂුයි යනු පරිසරයට එරෙහි නොවී පරිසරය සමඟ ජීවත්වන ක්‍රමයකි. එමගින් සොබා දහමට මෙන්ම මිනිසුන්ට ද වාසි හිමි වේ. මෙමඟින් කියැවෙන්නේ අපගේ ජීවිතය තුළ යහපත් හෙවත් ධනාත්මක බලයක් (චීන බසින් මෙය චිනමින් හඳුන්වනු ලබයි. එහි අරුත ජීවන බලවේගයයන්නය) ගොඩ නගා ගන්නේ කෙසේද යන්න පිළිබඳවය. අපගේ ජීවිත භෞතික හා මානසික පරිසරය නිසා වෙනස්වන බව මෙයින් උගන්වයි. අසුබ ගණයට වැටෙනා සංකේත සමග අප නිතර ජීවත්වන්නේ නම් අප ජීවිතද කෙමෙන් අවාසනාව කරා ගමන් කරයි. සැප පහසුවක් නැති ගෘහ භාණ්ඩ පවා වැටෙන්නේ අසුබ ලක්ෂණයක් ලෙසය. එවිට සිදුවන්නනේ ෂාහෙවත් ෂාර්යන තත්වය ඇතිවීමයි. එමගින් අදහස් වන්නේ අසුබ ශක්තියහෙවත් ඍණාත්මක ශක්තිය යන්නයි. එසේනම් සුබදායි වටපිටාවක අප ජීවත්වන්නේ නම් නිසැක ලෙසම අප තුළ යහපත් ශක්තියක් ඇතිවිය යුතුය. ෆෙන්ග් ෂුයිවලින් අපට උගන්වන්නේ මෙයයි.

ෆෙන්ග් ෂුයියන චීන වදනේ අර්ථය වන්නේ සුළඟ සහ ජලය යන්නයි. මෙම දෙකෙහි එකතුවෙන් යහපත් චිඋපදියි. චීන සංස්කෘතිය තුළ කියැවෙන්නේ සෞම්‍ය සුළඟ සහ මෘදුව ගළා යන ජලය නිසා සරු අස්වැන්නක් හා යහපත් සෞඛ්‍යය ඇති වන බවයි. රළු සුළඟ සහ සැඩ ජලය නිසා දුර්භික්ෂ හා ලෙඩරෝග ආදිය ඇති වෙයි.

ෆෙන්ග් ෂුයිවල අරමුණ වන්නේ නිවාස හා වැඩිබිම් සැළසුම්කිරීමේදී එය වෙත ස්වභාවික ශක්තිය වැඩි වශයෙන් ගළා ඒමට සැළැස්වීමයි. ඒවා පරිසරයට එරෙහි නොවී පරිසරය සමඟ එකමුතුව පවතිනසේ සැළසුම් කිරීමයි. ෆෙන්ග් ෂුයි ප්‍රතිකර්ම මගින් අයහපත් ශක්තීන් පළවා හැර යහපත් ශක්තීන් ඇතිකරගැනීමට හැකි වේ.

ෆෙන්ග් ෂුයි මූලධර්ම

අප ෆෙන්ග් ෂුයිවලින් නියම ප්‍රයෝජනය ලබාගන්නට නම් එහි මූලධර්මයන් හොඳින් අවබෝධ කරගත යුතුය. නමුත් මතක තබාගත යුතු දෙය වන්නේ මෙහි අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු යැයි පැවසෙන දේ කිසිවක් නොමැති බවයි. මෙහි මූලධර්ම අවබෝධ කරගත් පසු ඔබට ගැළපෙන පරිද්දෙන් ෆෙන්ග් ෂුයිවලින් ප්‍රයෝජන ගතහැකිය.

යින් සහ යැං

යින් (කලු) සහ යැං (සුදු) යනු විශ්වය එකමුතු කරනා සාධක ලෙස හැඳින්වේ. ඒවා දිවා රාත්‍රි මෙන් එකිනෙකට විරුද්ධ බලවේගයන්ය. මින් එකක් හෝ යහපත් හෝ අයහපත් නැත. ඒවා යමෙකුගේ ජීවිතයේ හෝ ජීවත්වන පරිසරයේ හෝ සමබරව පවතිමින් සාමය හා සෞභාග්‍යය ළඟාකරදීම සඳහා ඇති බලවේගයන් පමණි. ඒවා එකිනෙක මත රඳාපවතියි. යින් සහ යැං යන බලවේග පෙන්නුම් කරන්නේ තායි චි කවයමගිනි. මෙම කවයට අනුව යින් තුළ යැං ස්වල්පයක් ද, යැං තුළ යින් ස්වල්පයක් ද පවතී. මෙය තවත් සරල ලෙස පැවසුවහොත් යහපත තුළ අයහපත ස්වල්පයක් ද, අයහපත තුළ යහපත ස්වල්පයක් ද පවතින බවය. ලොව පවතින එකිනෙකට විරුද්ධ සියලු බලවේගයන් යින් සහ යැං තුළ පවතී. එනම් කලු සහ සුදු, ගැහැණු හා පිරිමි, පිළිගැනීම හා ප්‍රතික්ෂේපකිරීම, ජලය හා ගින්දර ආදිය වේ.

ෆෙන්ග් ෂුයිවලින් පවසන්නේ යින් සහ යැං සමබරව පවත්වාගෙන් යන්නේ කෙසේද යන්නය.  මතක තබාගත යුතු කරුණ නම් යිංඅංගයන් වැඩිවූ විට හුදෙකලාබව සහ නිසලබව වැඩිවන අතර යැංඅංගයන් වැඩිවූ විට කලබලකාරීබව හා විනාශකාරීබව වැඩිවන බවය.

අප කලින් සඳහන් කළ චිශක්තිය, පංචමහා භූතයන්, එනම් ගින්දර, පොලොව, දැව, ජලය හෝ ලෝහ යන කුමන ස්වභාවකින් හෝ පවතී.

මෙහි විවිධ චීන වචන සඳහන් කොට තිබුණද ඔබ ඒවා මතක තබා ගතයුතු නැත. ඒ සියල්ල සඳහන් කළේ  ෆෙන්ග් ෂුයි යනු කුමක්දැයි කෙටියෙන් වටහාදීමටය. අප ෆෙන්ග් ෂුයිවලින් ප්‍රයෝජන ගැනීමට පෙර දැනගතයුතු කරුණු දෙකක් තිබේ. ඒ උත්පාදන චක්‍රයහා විනාශ චක්‍රයපිළිබඳවය. උත්පාදන චක්‍රය නිසා ඔබ තුළ ධනාත්මක සිතිවිලි (චි) ඇතිවේ. එය මේ ආකාර වේ. ගින්දර මගින් පස් (අළු) ද, පස් මගින් ලෝහ ද, ලෝහ දියර (ජලයට එක්වීම), ජලය මගින් ගහකොළ  පෝෂණය වීම ද, ගිනිගන්නා ගහකොළ මගින් ගින්දර ඇතිවීම වශයෙනි. ඔබේ නිවසේ ඔරලෝසුවේ කටු කරකැවෙන අතට මේ චක්‍රයේ ආකාරයෙන් භාණ්ඩ තබා ඇත්දැයි මඳක් සිතා බලන්න. උදාහරණයක් බලමු.

මුළින්ම පහනක් (ගින්දර), දැවයෙන් තැනූ භාණ්ඩයක් (දැව), ලෝහවලින් තැනූ යමක් (ලෝහ), ජලය සහිත යමක් වශයෙනි.

ඊළඟට අප දැනගත යුත්තේ විනාශ චක්‍රයයි.

ඒ මෙසේය. ගින්දර මගින් ලෝහ උණුකරයි. ලෝහ මගින් දැව විනාශ කරනු ලබයි. දැව පොලොවට දිරාපත්වේ. පොලොව මගින් ජලය වාෂ්ප කෙරේ. ජලය මගින් ගින්දර නිවා දැමේ.

ඔබේ නිවසේ මේ ආකාරයට භාණ්ඩ තබා ඇත්නම් එය විනාශ චක්‍රයවේ. එවැනි තත්වයක් වහා වෙනස් කළ යුතුය. අපි උදාහරණයක් බලමු.

මුළින්ම පහන (ගින්දර). මෙය විදුලි පහනක් විය හැක. අනතුරුව ලෝහයෙන් තැනූ භාණ්ඩයක් (ලෝහ), දැව භාණ්ඩයක් (දැව), පස් සහිත දෙයක් හෝ පසට සම්බන්ධ දෙයක්. මෙම පසට සම්බන්ධ දෙය ඇතැම්විට ලෝක ගෝලයක් ලෙසින් ද ෆෙන්ග් ෂුයි විශේෂඥයින් හඳුන්වති. මන්ද ලෝක ගෝලය මගින් අප පෘථිවිය නිරූපණය බැවිනි. පෘථිවිය යනු පස් ය.

මෙය මේ ආකාරයෙන් නොමැති වන්නට හැකි වුවද ඔබ නිවසේ භාණ්ඩ තබන විය මෙම විනාශ චක්‍රය ගොඩ නොනැගෙන අන්දමින් ඒවා පිළියෙල කරන්න. ඔබගේ කීර්තිනාමයට යම්කිසි හානියක් සිදුවෙමින් පවතින්නේ නම් ඔබ වහාම පරීක්ෂාකළ යුත්තේ නිවසේ දකුණු බිත්තියයි. දකුණු බිත්තිය නිවැරදිව සොයාගන්නා අන්දම ඉදිරියේදී විස්තර කෙරේ. විනාශ චක්‍රයේ ආකාරයට එහි යම් යම් භාණ්ඩ තබා තිබෙනවා වන්නට පුළුවන.

නිරිතදිග හෝ උතුරු බිත්තියේ මෙවැනි විනාශ චක්‍රයක් ඇත්නම් එය දිළිඳුභාවයට හේතු වේ. මෙම චක්‍රයේ ඇතැම් ඒවා බැලූ බැල්මටම එකවර හඳුනාගන්නට ද නොහැකිය. උදාහරණයක් ලෙස ජලය පිළිබඳ සළකා බැලීමේදී එය මාළු ටැංකියක්ම නොවිය හැකිය. ඇතැම් විට චක්‍රයේ ජලය තිබිය යුතු තැන ඇත්තේ නිවසේ සවිකළ ජලකරාමයක් වන්නට පුළුවන. එසේත් නැත්නම් එතැන ඇත්තේ නාන කාමරය වන්නට ද පුළුවන. එය ඔබ හොඳින් සිතාබලා තීරණය කළ යුතුය.

ඔබගේ සෞඛ්‍ය තත්වය අයහපත් නම් ඔබගේ නිවසේ මධ්‍යයේ මෙවැනි විනාශ චක්‍රයක් ඇත්දැයි සොයා බැලිය යුතුය.

ෆෙන්ග් ෂුයි මාලිමා යන්ත්‍රය

ෆෙන්ග් ෂුයි භාවිත කිරීමට පෙර මේ සඳහා අත්‍යවශ්‍යම උපාංගයක්වන ෆෙන්ග් ෂුයි මාලිමා යන්ත්‍රයක් (මෙය චීන බසින් බාගුවානමින් හැඳින්වේ) තිබිය යුතුය. ෆෙන්ග් ෂුයි වෙනුවෙන්ම සකස් කළ මාලිමා යන්ත්‍ර ද තිබෙන මුත් වෙළෙඳපොලේ දක්නට ඇති හොඳ තත්වයේ සාමාන්‍ය මාලිමාවක් ද මේ සඳහා යොදාගත හැකිය.

ෆෙන්ග් ෂුයි ක්‍රමයට නිවැරදි ඉඩමක් තෝරාගැනීම

ඔබ පදිංචිවන්නට ඉඩමක් තෝරා ගැනීම යනු වෙළෙඳ සළකින් යම් භාණ්ඩයක් මිලදී ගන්නවාට වඩා වෙනස් දෙයකි. මන්ද ඉඩමක් යනු ජීවිත කාලයක් නොව පරම්පරා ගණනක් භුක්ති විඳින්නාවූ දේපළක් නිසාය. ඔබගේ තෝරාගැනීම වැරදි වුවහොත් ජීවිතකාලයටම පාඩුව විඳින්නට වන්නේ ඔබටමය. වෙනත් භාණ්ඩ මිලදී ගන්නා සේ නැවත් නැවත හොඳ ඉඩම් සොයා මිලදී ගන්නට තරම් ආර්ථික හැකියාවක් බහුතරයකට නැත. එසේ හෙයින් ඉඩමක් මිලදී ගැනීමේ දී, ඔබ නිවැරදිම තීරණය ගතයුතු වේ. මේ සඳහා ඔබට ෆෙන්ග් ෂුයි පිහිට වනු ඇත.

මෙය සැබැවින්ම ෆෙන්ග් ෂුයි හොඳින් දත් අයකු කළ යුතු දෙයක් වුවද සාමාන්‍ය පුද්ගලයෙකුට වුව සාර්ථකව ඉඩමක් තෝරාගැනීම සඳහා පහසු ක්‍රම තිබේ. ෆෙන්ග් ෂුයිවලට අනුව කෙරෙන්නේ ඉඩමක ඇති සෘණාත්මක හා ධනාත්මක ලක්ෂණ මොනවාදැයි සොයා බැලීමය.

මූලිකවම සළකා බැලුවහොත් පදිංචියට සුදුසු ඉඩමක් හැඩය චතුරශ්‍රයක හෝ සෘජුකෝණාශ්‍රයක හෝ හැඩයෙන් යුක්ත විය යුතුය. අක්‍රමවත් හැඩයෙන් යුක්ත ඉඩම් පදිංචියට සුදුසු නැත. ඔබ මුළින්ම ඉඩමේ පහත සඳහන් ලක්ෂණ ඇතිදැයි පරීක්ෂාකොට බැලිය යුතුය.

- පෙරළෙන ගල්
- වංගු සහිත දිය පහරක්
- ස්වභාවික දිය ඇල්ලක්
- සූර්යාලෝකය හොඳින් පතිතවන ස්ථානයක් ද යන්න
- කොළ පැහැයෙන් යුක්ත ගස් හොඳින් වැවී ඇතිද
- හොඳින් ජලය බැස යන්නේද
- මෘදු හා නිතර හමන සුළඟ

ෆෙන්ග් ෂුයි ක්‍රමයට අනුව අයහපත් ගණයට වැටෙනා ඉඩම්

- එකතැන රඳා පවතින ජලය සහිත මඩවගුරක් හෝ පොකුණක් සහිත
- ප්‍රධාන මාර්ගයකට යාබදව පැවතීම
- වේගයෙන් ගළා බසිනා ගඟක් අසළ පැවතීම
- ගහක් කොලක් නොමැති හිස් ඉඩමක් වීම
- ඉදිරියට පැමිණෙන මාර්ගයකට මුහුණ දී ඇති
- පාසල් හෝ පල්ලියක් වැනි පොදු ස්ථානයක්ට මුහුණ දී ඇති

පවතින ඉඩමක් ෆෙන්ග් ෂුයි අනුව වැඩිදියුණු කරගැනීම

ඔබ මේ තොරතුරු කියවන විට දැනටමත් ඉඩමක් මිලදී ගෙන ඇති අයකු විය හැක. ඇතැම්විට ඔබගේ ඉඩමේ යම් යම් දෝෂ ඇති යැයි දැන් ඔබට හැඟෙනු ඇත. නමුත් ඒ පිළිබඳ ඔබ මොහොතකට හෝ පසුතැවිලි විය යුතු නැත. ෆෙන්ග් ෂුයි ක්‍රමයෙන් ඔබට මේ සඳහා ප්‍රතිකර්ම සකසා තිබේ.

- ඔබ සිටින්නේ ප්‍රධාන පාරක් අසළ නම් එය ඔබගේ චිබලවේගය ඔබෙන් ඈත් වන්නට හේතුවක් වනු ඇත. මේ සඳහා ඔබ කළ යුත්තේ උසින් යුක්ත වැටක් හෝ ඝනකමින් යුක්ත පඳුරු සහිත ගස් සිටුවීමය

- ඔබගේ ඉඩම කිසිඳු ගසක් නැති හිස් ඉඩමක් නම් චිබලවේගය සුළඟින් ගසාගෙන නොයනු සඳහා එහි උස්ගස් සිටුවිය යුතුය.

- ඔබගේ ඉඩමේ ගලාගෙන යන දියදහරක් නොමැති නම් ඔබට එහි පොකුණක් ඉදිකළ හැකිය. ජලය යනු ඉතා වැදගත් දෙයකි. මන්ද එයින් සෞභාග්‍යය හා ධනය සංකේතවත් වන බැවිනි.

පදිංචියට නිවසක් තෝරා ගැනීම

ඔබ පදිංචිවන්නට නිවසක් තෝරා ගැනීම යනු ඉඩමක් තෝරාගන්නවා තරමටම කල්පනාකාරීම සිදුකළ යුතු දෙයකි.
නිවසක් මිලදී ගන්නට තිරණය කළ අවස්ථාවේදී ඔබ ඒ පිළිබඳ මෙසේ සිතා බැලිය යුතුය.

- නිවස සමරබරද? එය දුටු විගස ඔබේ සිතේ සතුටක් ඇතිවූවාද? එසේ නම් එය යහපත් ෆෙන්ග්ෂුයි තත්වයකි.

- නිවස ස්ථාවරද? මෙයින් කියවෙන්නේ එය ගංවතුර, නායයාම් වැනි විනාශයන්ට ලක්වීමේ ඉඩක් ඇතිදැයි සොයාබැලීමය  මෙයින් කියැවෙන්නේ එහි අත්තිවාරම් ශක්තිමත්දැයි සොයා බැලීමය.

- නානකාමර ඇත්තේ සාලයට මැදිවන්නට ද යන්න සොයා බලන්න. එවැනි තත්වයක් සුබ නැත. නිවසේ හැඩය අසාමාන්‍ය නම්, එය ද සුබ නොවේ.

- නිවසේ කොටස් වැඩි වශයෙන් කණු මත ඉදිකොට ඇත්නම් එයද සුබ නැත. ඇතැම් දෙමහළ් නිවාසවල පහළ මාළය වැඩිවශයෙන් විශාල කණු මත ඉදිකොට ඇති අවස්ථා තිබේ. මෙය යහපත් තත්වයක් නොවේ.

- නිවසට ඇතුළුවන ස්ථානය, ද්වාරමණ්ඩපය හෙවත් පෝච් එක සහ ඉදිරිපස දොරටුව මනා හැඩයෙන් යුක්තදැයි බලන්න.

අයහපත් ඉදිකිරීම්

ඔබ මිලදී ගන්නට බලාපොරොත්තුවන නිවසේ පහත ආකාරයේ ඉදිකිරීම් ඇත්නම් ෆෙන්ග් ෂුයි මූලධර්මයන්ට අනුව එවැනි නිවසක් සුබ නැත.
- අඳුරු, පටු හෝ පැටලිළි සහිත ස්ථාන සහ බෑවුම අධික තරප්පු පේළි. මේවා මගින් සෘණ ශක්තිය නිපදවේ.

- පමණ ඉක්මවා විශාලත්වයෙන් යුක්ත නිදනකාමර. එවැනි නිදන කාමර බැලූ බැල්මට අලංකාර වුවත්, ඒවා මගින් ඔබගේ ධනාත්මක ශක්තිය ඉවතට ගලායාමට හේතුවේ. එහි නිවැසියන්ගේ ආරක්ෂාව ද හීන වේ.

- යම්කිසි පිවිසුමකට (දොරක් වැනි) මුහුණ ලා තරප්පු පෙළක් ඇත්නම් එවැනි තත්වයක් ද සුබ නොවේ. එමගින් විනාශකාරී ශක්තිය ඇතිවේ.
- ත්‍රිකෝණ හැඩයට සමාන ඉදිකිරීම් ද සුදුසු නැත. ඒවා හැඳින්වෙන්නේ විෂ ඊතළයනුවෙනි. මෙවැනි තත්වයක් නිසා නිවසේ ආක්‍රමණික සිතිවිලි ඇතිවේ.

- නිවස තුළ කණු ඇත්නම් එය ද යහපත් තත්වයක් නොවේ. එමඟින් නිරූපණය වන්නේ මුළු ලොවෙහිම ඇති බර සිය උරහිස මත දරා සිටිනවා වැනි තත්වයකි. මෙම තත්වය සමනය කිරීමට නම් මල්වලින් අලංකාර කරන ලද කුඩා බටනලා හෝ සිදුරු ඇති ඕනෑම බට දෙකක් මේ කණුවල එල්ලා තැබීම සුදුසුය. 

- නිවසට මුහුණ ලා වාහන පැමිණෙන සේ පෙනෙන නිවාස ද සුදුසු නැත. මෙයට හොඳම උදාහරණ දැකිය හැක්කේ වංගුවක පිහිටි නිවාසවලය. වාහන වංගුවෙන් හැරීමට පෙර දිස්වන්නේ ඒවා එක එල්ලේ නිවස දෙසට පැමිණෙනවා වැනි හැඟීමකි. එවැනි නිවාස යහපත් ඒවා නොවේ.

නිවස තුළ කාමර වෙන් වෙන් වශයෙන් ගෙන සුබ අසුබ බව තීරණය කිරීම

නිවසක් මිලදී ගැනීමට පෙර නිවසේ සෑම කාමරයක්ම වෙන් වශයෙන් ගෙන පරීක්ෂා කළ යුතුය. එවිට එම නිවසේ ඇත්තේ චිශක්තිය ද, නැතහොත්, ‛ෂාර් චිශක්තියද යන්න  තේරුම්ගත හැකිය.
නිදනකාමර

නිදන කාමර 

ඔබගේ ජීවිතයට නොයෙක් ආකාරයෙන් සම්බන්ධ වේ. මෙයින් ප්‍රධාන තැනක් ගන්නේ ආදරය සහ මානුෂික සම්බන්ධතාවයන්ය. ඔබගේ මානසික තත්වයන් සමබර තත්වයෙන් පවත්වාගෙන යන්නට නම් පහත සඳහන් ලක්ෂණ ඔබගේ නිදන කාමරවල තිබේදැයි සොයා බැලිය යුතුය.

- නිවසේ ප්‍රධාන නිදන කාමරය ඉදිරි දොරටුවේ සිට හැකිතාක් දුරින් පිහිටා තිබිය යුතුය. මෙයින් බලාපොරොත්තු වන්නේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය පිළිබඳ හැඟීමක් ඔබේ සිතේ ඇතිකිරීමය.

- යහනේ ප්‍රධාන සිරස්පුවරුව හැකිතාක් බටහිර (මෙයින් පවුල නිරූපණය වේ) ට හෝ නැගෙනහිර (මෙයින් දීර්ඝායුෂ නිරූපණය වේ) ට යොමු වී තිබිය යුතුය. අපගේ සාම්ප්‍රදායික මතවලට අනුව නම් බටහිර පැත්තට හිස යොමුකිරීම අසුබ වේ. එබැවින් නැගෙනහිර වඩාත් සුදුසු යැයි කිවහැකිය.
- යමෙක් යහනේ හිඳගෙන සිටීනම්, කාමරයට ඇතුළුවන පුද්ගලයන්ව ඔහුට හොඳින් පෙනෙන ආකාරයෙන් යහන ස්ථානගත කොට තිබිය යුතුය. මෙය කාමරයේ ඇති කැඩපත ඔස්සේ පෙනෙන ආකාරයෙන් ද සකස්කොට ගත හැකිය. සෘණ චිසිතිවිල මගින් ඇතිවන අසුබ තත්වයන් බැහැර කිරීමත්, ඔබට හොරා යම්කිසිවකු කාමරයට එබීම වැළැක්වීමත් මෙහි අරමුණ වේ.

- යහනේ සිරස්පුවරුව බිත්තියේ සම්පූර්ණ ලෙස ස්පර්ශ නොවිය යුතු වුවත්, යහනේ යම්කිසි කොටසක් බිත්තියේ ස්පර්ශ වී තිබීම සුබය. එසේ නොමැති නම් යහනේ සිටින පුද්ලගයා තුළ අස්ථාවර හැඟීමක් ඇතිවිය හැකිය.

- සීලිමට කැඩපත් සවිකිරීම හෝ කැඩපත් සහිත දොර ද ඉතා අසුබය. එමෙන්ම නානකාමරවල කැඩපත් සේ දිළිසෙන පිඟන් ගඩොල් සවිකිරීම ද සුබ නැත.

මුළුතැන්ගෙය

මුළුතැන්ගයෙ යනු නිවසේ අතිශය වැදගත් ස්ථානයකි. මන්ද ඔබගේ පවුලේ ධනය හා සෞභාග්‍යය සංකේතවත් කරනා නිසාය.

- මුළුතැන්ගෙයෙහි උඳුන පිහිටි ස්ථානය ෆෙන්ග් ෂුයිවලදී අතිශය වැදගත් ය. මුළුතැන්ගෙට ඇතූළුවන ඕනෑම පුද්ගලයකු, උඳුන පිහිටා ඇති ස්ථානයට හොඳින් දිස්විය යුතුය. එසේ්ත් නැත්නම් මේ  සදහා කැඩපතක් සවිකරගත යුතුය. නිවසට පැමිණෙන පුද්ගලයා සමීපයට පැමිණෙනතුරුම නොපෙන්නේ නම් සිදුවන්නේ ආහාර පිසිමින් සිටිනා තැනැත්තා එකවර පුදුමවීමය. ඒ නිසා ඇතැම්විට හදිසි අනතුරක් සිදුවන්නට ද ඉඩ තිබේ. එසේත් නැත්නම් එය ආහාරයට බලපාන්නට පුළුවන.

- උඳුන පිහිටා ස්ථානය ඉදිරිපස දොරටුව, නාන කාමරයේ දොරටුව, ප්‍රධාන නිදන කාමරයේ දොරටුව හෝ තරප්පු පෙළකට මුහුණ ලා පිහිටීම අසුබය. එමෙන්ම මෙය ඉහළ මාලයක ඇති යහනකට යටින් පිහිටීම අසුබය.

- උඳුන අසළින්ම වතුර බේසම වැනි ජලය හෝ ලෝහ අඩංගු යමක් තිබීම ද යහපත් නැත.

- මුළුතැන්ගෙයහි උඳුන අවට ප්‍රදේශය හොඳින් ඉඩකඩ ඇති ස්ථානයක් විය යුතුය. එමෙන්ම පිරිසිදුව පැවැතිය යුතුය. නිවසට ධන සම්පත් උදාවන්නේ එසේ පවතීනම් පමණකි.

සාලය

සාලය යනු පවුලේ සාමාජිකයන් සහ අමුත්තන් මුණගැසෙනා ස්ථානයයි. මෙය සුවපහසු, විනෝදජනක හා නිවැසියන්ගේ පෞරෂයන් පිළිබිඹු කරනා ස්ථානයක් විය යුතුය. සාලය පිංතූර, කලාකෘති සහ වෙනත් අනුස්මරණීය භාණ්ඩවලින් අලංකාර කරන්නට සැළසුම් කළ යුතුය. සාලය ගොඩනැගීමේදී මතක තබාගතයුතු දේ කිහිපයක් තිබේ. එහි හැඩය ක්‍රමවත් විය යුතුය. සමචතුරශ්‍ර හෝ සෘජුකෝණාශ්‍ර හැඩයෙන් යුක්ත නම් වඩාත් යෝග්‍ය වේ. එහි අඩංගු ගෘහභාණ්ඩ අතර වටකුරු ඒවා තිබීම ද සුබය. උදාහරණයක් ලෙස වටකුරු මේසයක් වැනි දෙයක් දැක්විය හැක. මන්ද ෆෙන්ග් ෂුයිවලදී වටකුරු හැඩය මගින් සංකේතවත්වන්නේ මුදල් නිසාය.  සාලය හොඳින් ආලෝ්කවත්ව තිබිය යුතු අතර ස්වභාවික හිරුඑළියට නිරාවරණය වී තිබිය යුතුය.

කෑම කාමරය

කෑම කාමරය මුළුතැන්ගෙයට ආසන්නව තිබිය යුතු අතර නිවසේ කොණකට වන්නට පිහිටියේ නම් වඩාත් සුදුසුය. මන්ද එවිට චිශක්තිය එකතුවන බැවිනි. කෑම කාමරය වඩාත් සමීප ඉදිරිපස දොරටුවට නම් නිවසට පැමිණෙන අමුත්තන් තුළ ආහාර ගත් විගස පිටව යායුතු බවට හැඟීමක් ඇතිවන්නට පුළුවන. කෑම කාමරයකට හොඳින්ම ගැළපෙන්නේ වටකුරු මේසයකි. මන්ද එවිට ආහාර ගන්නා සියළු දෙනාටම එකිනෙකා හොඳින් පෙනෙන බැවිනි. කෑම කාමරයකට ගැළපෙන්නේ දැවයෙන් හෝ ලෝහයෙන් කළ මේසයකි. වීදුරුවැනි ද්‍රව්‍යවලින් තැනූ මේස මගින් සෘණ චිශක්තිය ඒ අවට ඇතිවන්නට පුළුවන. බිත්තිවලට කැඩපත් සවි කර ඇත්නම්, එය ද සුබ තත්වයකි. මන්ද එමගින් එහි ඇති සියළු දේ දෙගුණවී පෙනෙන නිසාය.

නාන කාමරය 

ෆෙන්ග් ෂුයි හිදී ජලයෙන් සංකේතවත් වන්නේ මුදල්ය. නාන කාමරයේ ජල පීඩනය හොඳ තත්වයක තිබිය යුතුය.  ජලය නියමාකාරයෙන් ගළා නොඑන්නේ නම් එය ආර්ථික ගැටළුවලට අතවැනීමකි. එමෙන්ම ෆෙන්ග් ෂුයිවලට අනුව නම් නිවස තුළ වැසිකිලි තිබීම සුබ නැත. නිවස තුළ වැසිකිලි තිබීම ජීවිතයේ පරාජයන්ට හේතු වේ. නමුත් වර්තමානයේ සියලු දෙනාම පාහේ නාන කාමරයේම වැසිකිලිය ද ගොඩනගන නිසා එයට පිළියමක් ද ෆෙන්ග් ෂුයි හි තිබේ. ඒ අනුව සෑම විටම නාන කාමරයේ දොර වසා තැබිය යුතුය. නානකමරයේ දොරෙහි අගුලෙහි මිහිරි ශබ්ද නිකුත්වන ලෝහ කැබලි කිහිපයක් එල්වා තැබීම ද කළ හැකිය. බොහෝ නාන කාමරවල ඇති සෘණ චිශක්තිය දුරු කරන්නට පහත සඳහන් උපදේස පිළපැදිය හැක. නාන කාමරය නිවසේ ධනය, කීර්තිය, හෝ රැකියාව යනු ඒවාට අදාළ ස්ථානයන්හි (මෙම ස්ථාන සොයා ගන්නා ආකාරය ඉදිරියේදී විස්තර කෙරේ) තිබීම යහපත් නැත. එමෙන්ම ඉදිරිපස දොරටුව අසළට නාන කාමරය දිස්වීම ද සුබ නැත. නානකාමරය නිතරම පිරිසුදු, යහපත් ආලෝකය, වාතාශ්‍රය තිබිය යුතුය. කැඩපත් කිහිපයක් තිබීම ද සුබදායක දෙයකි.  ෆෙන්ග් ෂුයිවලදී නානකාමරවලට සවිකළ යුත්තේ අටපට්ටම හැඩැති කැඩපත් යැයි සඳහන් කෙරේ. මේවා හඳුන්වනු ලබන්නේ බාගුවා කැඩපත්ලෙසිනි.

නිවසේ තත්වය වැඩිදියුණු කිරීම

අප මුළින්ම ෆෙන්ග් ෂුයිවලට ගැළපෙන පරිදි නිවසේ සැළැස්මක් පිළියෙළ කරගත යුතුය. මෙම සැළැස්ම හඳුන්වනු ලබන්නේ බාගුවා සැළැස්මයන නමිනි. බාගුවා සැළැස්මක් ආකෘතියක් මෙහි සඳහන් කොට ඇති අතර ඔයට එය ඇසුරින් ඔබේ නිවසේ බාගුවා සැළැස්මක් පිළියෙල කොටගත හැකිය. මෙමගින් නිවසේ ඇතිවන විවිධ ගැටළු පිළිබඳ මෙන්ම නිවසේ විවිධ ප්‍රදේශ පිළිබඳව ද අවබෝධයක් ලබාගත හැකි වේ.

බාගුවා යනු කුමක්ද?


මෙහි තේරුම ෆෙන්ග් ෂුයි සිතියමයන්නයි. මෙමගින් දිශාවන් අට අනුව නිවස කොටස් නවයකට බෙදා දක්වයි. මේ සෑම කොටසකින්ම සෞභාග්‍යය, ආදරය, නුවණ වැනි ඔබේ ජීවිතයේ විවිධ පැති නිරූපණය වේ. බාගුවා සිතියමට අනුව මධ්‍යයක් ද තිබේ. එයින් නිරූපණය වන්නේ සෞඛ්‍ය තත්වයයි.

බාගුවා සිතියම භාවිත කරන්නේ කෙසේද?

මුළින්ම වෙළෙඳපලෙන් හොඳින් ක්‍රියාත්මක වන මාළිමා යන්ත්‍රයක් මිලදී ගන්න. මේවා අඩු මිලට පොත් සල්වලින් මිලට ගතහැකිය. ඉන්පසු ඔබේ නිවසේ බිම් සැලැස්ම අතට ගන්න. මාලිමාව එහි හරි මැදට වන්නට තබන්න. මෙයින් මුළින්ම නිවසේ උතුරු කොටස සොයාගන්න. දැන් මෙහි සඳහන් කොට ඇති බාගුවා සිතියම බලන්න. එහි දැක්වෙන් ආකාරයට මෙම ඔබගේ නිවසේ සැළැස්ම කොටස් නවයකට බෙදාගන්න. එහි මධ්‍ය කොටසින් නිරූපණය වන්නේ සෞඛ්‍ය තත්වයයි. එහි විරුද්ධ දිශාව හෙවත් දකුණින් නිරූපණය වන්නේ කීර්තියයි.  මේ ආකාරයට මුළු නිවසම බෙදා දැක්විය හැකිය. මෙම බාගුවා සිතියමේ හා කොටස් නවයකට බෙදන ලද නිවසේ බිම් සැළැස්මේ ඡායාපිටපතක් ඔබට නිතර පෙනෙන ස්ථානයක තබාගැනීමෙන් ඔබේ නිවසේ යම්කිසි ගැටළුවක් ඇතිවුවහොත්, නිවසේ ඊට අදාළ කොටස කුමක්දැයි තේරුම්ගෙන අවශ්‍ය පිළියම් යෙදිය හැකිය.

බාගුවා සිතියම ක්‍රම දෙකකට භාවිත කළ හැකිය

1. සමස්ථ නිවසම එකවර නිරීක්ෂණය කිරීමයි.
2. නිවසේ කොටසින් කොටස වෙනමම පරීක්ෂා කිරීමයි. මෙහිදී සෑම කාමරයක්ම මෙම සිතියමේ ආකාරයට කොටස් නවයකට බෙදා ඒ ඒ කොටස්වලට අනුව කාමරයේ පිළිවෙල සකස්කොට ගතහැකිය. අනෙක මේ සිතියම මගින් ඔබේ නිවස කුමනාකාර තැනක් ද යන්න අවබෝධ කරගන්නට ද පුළුවන. ඇතැම් නිවාස වාසනාවෙන් සපිරි ස්ථාන බැව් මෙම සිතියමට අනුව ඔබට අවබෝධවනු ඇත.

නිවසේ කොටස් නවය
නිවසේ කොටස් නවය පිළිබඳ අවබෝධයක් ලබාගත් පසු  අඩුපාඩු සොයාබලමින් ඒවා වැඩිදියුණු තත්වයට පත්කළ හැක.

සෞඛ්‍යය (මධ්‍යම ප්‍රදේශය)
බාගුවා සිතියමේ මධ්‍යයෙන් නිරූපණය වන්නේ සෞඛයයි. ඔබගේ ශාරීරික හා මානසික ශක්තීන් රඳවාගෙන පවත්වාගෙන යන්නේ මෙම කොටසිනි. අනෙක් සියළුම කොටස් හා ස්පර්ශවන්නේද මෙම කොටස පමණි. මෙම කොටසෙහි ආගමික සංකේතයක් තැබීම සුබදායක බැව් බොහෝ ෆෙන්ග් ෂුයි විශේෂඥයෝ පවසති.

සෞඛ්‍ය කොටස වර්ධණය කරගැනීම

- පෝච්චිවල සිටුවන ලද ගස් තැබීම. නිවසේ සෞඛ්‍ය කොටස පාලනය වන්නේ පොලොවෙනි. එබැවින් පෝච්චි මගින් ඔබේ සෞඛ්‍ය තත්වය ස්ථාවර කරගන්නට පුළුවන.

- වීදුරුබෝල සහ විවිධ ගල්කැබලි තැබීම. මේ වස්තූන් සියල්ල අයත්වන්නේ පොලොවටය.

- දුඹුරු සහ කහ වර්ණවලින් යුක්ත දේ තැබීම. මෙම කොටස් පරිහරණයට ගනු ලබන විවිධ භාණ්ඩ තෝරාගැනීමේදී මෙම වර්ණවලින් යුක්තගැනීමට මතක තබාගන්න. එමෙන්ම මෙම කොටස වර්ණගැනීමේදී දුඹුරු හෝ කහ පැහැය තෝරාගැනීම සුදුසු වේ. පෝච්චිවල සිටුවන ලද කහ පැහැති කොල හෝ මල් සහිත  පැලෑටි තැබීම ද යෝග්‍ය වේ.

- උසින් අඩු ගෘහභාණ්ඩ තැබීම
- කඳුවැටියක හෝ ලෝකයේ පින්තූරයක් එල්වා තැබීම.
- පළතුරු බඳුනක් තැබීම.
- ආගමික වස්තූන් තැබීම. ආගමික වස්තූන් තැබීමට වඩාත් හොඳම ස්ථානය මෙම කොටස වේ. පාෂාණමය බුදු පිළිමයක් හෝ ඔබගේ ආගමට අයත් පිළිමයක් තැබීමෙන් ලැබෙන සුබ ප්‍රතිඵලය ඉතා ඉහළය.
- විනෝදය හැඟවෙන පින්තූර තබන්න. එමගින් ඔබගේ චිත්ත ශක්තීන් වර්ධනය කරන්නට හේතුවේ.

සෞඛ්‍ය සම්පන්න චිශක්තිය අවහිර කරනා දේ
- විශාල දැව භාණ්ඩ. පියානෝ හෝ එවැනි විශාල ප්‍රමාණයේ දැව භාණ්ඩ සෞඛ්‍ය කොටසේ තැබීමෙන් වැළකෙන්න.
- කුලුණු හෝ ඒ හැඩැති යම් ඉදිකිරීම්
- කොළපැහැය. සෞඛ්‍යට සම්බන්ධ කොටස අදාළ දුඹුරු සහ කහ පැහැය මගින් ඇති කෙරෙන ශක්තිය කොල පැහැය මගින් අවහිර වෙයි.

කීර්තිය හා ගෞරවය (දකුණු බිත්තිය)
බාගුවා සැළැස්මට අනුව නිවසේ දකුණු දිග බිත්තිය සොයා ගන්න. පහත සඳහන් උපදෙස් පිළිපැදීමෙන් ඔබට කීර්තිය හා ගෞරවය වැඩි වැඩියෙන් උපයාගන්නට පුළුවන.

කීර්තිය හා ගෞරවය වර්ධණය කරන්නාවූ දේ

- රතු පැහැය. මෙම කොටස පාලනය වන්නේ ගින්දර ශක්තිය මගිනි. ඔබ ඔබගේ නිවසේ යම් කොටසක් රතු පැහැගන්වන්නට බලාපොරොත්තුවෙන් සිටී නම් එය සුදුසුවන්නේ මෙම ප්‍රදේශයටයි.  රතු පැහැ මල් පිරවූ මල්බඳුන් තැබීමෙන්, රතුපැහැ තිර රෙදි දැමීමෙන් මෙහි ශක්තිය තවත් වර්ධණය වේ.

- රතු ආලෝකය. රතු පැහැ බල්බ දල්වා තැබීම සුදුසුය. මේවායෙන් සංකේතවත් වන්නේ ගින්දරයි. එමගින් චිශක්තිය වර්ධණය වේ.

- නිතර පහනක් දැල්වෙන්නට හරින්න.  විදුලියෙන් ක්‍රියාත්මක වන උපකරණ තබන්නට ගැළපෙන ස්ථානය වන්නේ ද දකුණු බිත්ති ප්‍රදේශයයි. එමෙන්ම ගිනිදැල්ලේ හැඩයෙන් යුක්ත, එනම් ත්‍රිකෝණාකාර හැඩයේ වස්තූන් තැබීම ද සුබය. නිවස තුළ පතොක් තබාගන්නවා නම් එයට ගැළපෙන්නේ මෙම ප්‍රදේශයයි.  එමෙන්ම විසිතුරු ලෙස සාදන ලද හෝ පෞරාණික වටිනාකමින් යුක්ත අසිපත් වැනි ආයුධ, ප්‍රතිමා වැනි දේ තැබීම සඳහා ද මෙම ප්‍රදේශය සුදුසු ය. වීදුරුවලින් තනන ලද තාරකා හැඩයේ වස්තූන් තැබීමෙන් ඔබගේ කීර්තිය හා ගෞරවය වැඩි වර්ධණය වේ. ඔබගේ නම ඉක්මණින් ප්‍රසිද්ධියට පත් වේ.

- ප්‍රසිද්ධ පුද්ගලයින් ගේ පිංතූර හා සම්මාන. ඔබ ප්‍රසිද්ධ හා ජනප්‍රිය පුද්ගලයන්ගේ පිංතූර එල්වා තබාගැනීමට කැමති අයෙක් නම් ඒ සඳහා ගැළපෙන්නේද මෙම ප්‍රදේශයයි. ඔබගේ උපාධි සහතික, උපාධි ඡායාරූප ඔබට ලැබුණු සම්මාන ආදිය ද තැන්පත් කරන්නට හොඳම ප්‍රදේශය වන්නේ ද මෙයයි.

ඔබගේ කීර්තිය හා ගෞරවය හානියට පත්කරනා දේ
- කලුපැහැ වස්තූන්. කලු, නාවික නිල සහ වෙනත් අඳුරු වර්ණ මෙම ප්‍රදේශයට සුදුසු නොවේ. මෙම ප්‍රදේශය අලංකාර ලෙස සළසා හොඳින් ආලෝකවත් වන සේ තැබිය යුතුය.
- දුර්වල චරිත. ඇතැම්විට හාස්‍යජනක පෙනුමක් ඇති මුත් ඌරන්ගේ වැනි සතුන්ගේ හැඩයෙන් යුක්ත කාසි දමනා කැට වැනි දේ මෙම ප්‍රදේශයට ගැළපෙන්නේ නැත.
- පරවුණු මල්. මෙම ප්‍රදේශය රතුපැහැ මල්වලට සුදුසු වුවද ඒවා පරවී ගිය පසු ගැළපෙන්නේ නැත. පරවූ මල්වලින් අවාසනාව ළඟා කරයි.
ආදරය සහ සම්බන්ධතා (නිරිතදිග ප්‍රදේශය)
ඔබේ  ජීවිතයට ගැළපෙන සහකරුවෙක්/සහකාරියක්, හොඳ මිතුරන් ආදිය හිමිකරගැනීමට නම් නිවසේ මෙම ප්‍රදේශයේ පහත සඳහන් වෙනස්කම්වලට ලක්කළ යුතුවේ. එමෙන්ම මෙම වෙනස්කම් මඟින් දැනට පවතින සම්බන්ධතාවයන් ද වඩාත් යහපත් අන්දමින් පවත්වාගෙන යන්නට ඉවහල් වනු ඇත. ඔබේ නිවසේ මෙන්ම ඔබේ කාමරයේ ද නිරිතදිග ප්‍රදේශය පිළිබඳ අවධානය යොමුකරන්න.

සබඳතාවයන් වැඩි දියුණු තත්වයට පත්කරනා දෑ
- මෙම ප්‍රදේශයේ ඉඩකඩ වැඩිකරන්න. එම ප්‍රදේශය කුණු ගොඩගසා ඇති ප්‍රදේශයක් ද නොවිය යුතුය.

- ඔබ අවිවාහක නම්, ඔබේ නිදන කාමරයේ ඇඳට දෙපසින්ම රාත්‍රි මේස දෙකක් තබාගන්න. ඔබත් සමඟ තවත් අයෙක් තාමරයේ සිටින්නේය යන හැඟීමෙන් ඔහුට හෝ ඇයට අවශ්‍ය යැයි සිතෙන දේ කාමරයේ තබන්න. ඔබගේ නාන කාමරය පිහිටා ඇත්තේ නිවසේ නිරිත දිගින් නම් එය නිරන්තරයෙන් පිරිසිදුව තබාගන්න. එමෙන්ම අමුත්තකු සඳහා නිතරම සබන් කැබැල්ලක් සහ අමතර දත් බුරුසුවක් එහි තබන්න.

- සෑම දෙයක්ම යුගල වශයෙන් තබන්න. ඔබගේ නිරිත දිග ප්‍රදේශයේ තනි වශයෙන් වස්තූන් තැබීම අසුබය. එබැවින් ගැළපෙන පරිදි සියල්ල යුගල වශයෙන් තබන්න. කුරුළු  ජෝඩුවක්, ඉටිපන්දම් යුගලක් දැමිය හැකි අධාරකයක්, හදවත් දෙකක ආකෘතියක්, කොකුන් දෙදෙනෙකුගේ පිංතූරයක්, හංස යුවලක පිංතූරයක් වැනි දේ එම ප්‍රදේශය තිබිය හැකිය. එමෙන්ම ආදරයෙන් වෙලී ගිය යුවලකගේ පිංතූරයක් ද ඉතාමත් සුදුසුය. තායි චිසංකේතය තැබීම ද ඉතා හොඳ දෙයකි.

- ෆෙන්ග් ෂුයිවලදී ආදරයේ වර්ණය වන්නේ රෝස ය. එබැවින් මෙම ප්‍රදේශය රෝස පැහැ තීන්ත ආලේප කරන්නට පුළුවන. ඊට අමතරව රෝස පැහැ ආලෝකය, එම පැහැයෙන් යුක්ත රෙදි, ඉටිපන්දම් ආදිය ද මෙහි තැබිය හැකිය.

සබඳතාවයන්ට හානි කරනා දෑ
- ඔබගේ පැරණි ආදර සබඳතා පිළිබඳ මතකය ඇති කරනා දේ මෙම ප්‍රදේශයේ තබාගැනීම.
- තනි පුද්ගලයකුගේ (ගැහැණු හෝ පිරිමි) රුව දැක්වෙන් පිංතූර තබාගැනීම. ඔබගේ තනි පිංතූරයක් තබාගැනීම ද සුදුසු නැත.
- ඔබ අවිවාහක කාන්තාවක් නම් මෙම ප්‍රදේශයේ ගැහැණු බව සංකේතවත් කරනා යම් යම් දෑ පමණක් නොතබන්න. එහි කාන්තා පක්ෂය පමණක් සංකේතවත්වන පිංතූර සහ කාන්තාවට සම්බන්ධ අනෙකුත් දෑ පමණක් තබාගැනීම නොකළ යුත්තකි. පිරිමි පක්ෂය පිළිබඳව පැවසිය හැක්කේ ද එයමය. ඔබ එවැනි ජීවන ශෛලියක් අනුගමනය කිරීමෙන් ඇතිවන ශක්තිය ඔබව යොමු කරන්නේ තනිකඩ ජීවිතයකටය.
- ළාමක දෑ තබාගැනීම. කාන්තාවන්ගේ පුරුද්ද වන්නේ වයසින් වැඩුනද බෝනික්කන්, වෙනත් සෙල්ලම් බඩු ආදිය ළඟ තබාගැනීමය. පිරිමි පක්ෂය ද ඇතැම්විට කුඩා වියෙහි දේ ළඟ තබාගෙන සිටිනු දැකිය හැකිය. මේවා මෙම ප්‍රදේශයේ ශක්තීන් හීනකර දමයි.
- ආදරයට සම්බන්ධතාවයක් නොමැති දේ තබාගැනීම. ව්‍යයාම උපකරණ, කාර්යාලයීය පතපොත, රූපවාහිනිය වැනි දේ මෙම ප්‍රදේශයට සුදුසුවන්නේ නැත.
- උල් හැඩයෙන් යුක්ත දේ තබාගැනීම. මෙවැනි දේවල් මගින් ආදර සබඳතාවලට ඇති ඉඩකඩ ඇහිරී යයි.

නිර්මාණාත්මක බව සහ දරුවන් (බටහිර ප්‍රදේශය)
ෆෙන්ග් ෂුයිවලට අනුව නිර්මාණාත්මක බව සහ දරුවන් පිළිබඳ ශක්තීන් පිහිටන්නේ නිවසේ බටහිර කොටසේය. මන්ද මේ දෙක සඳහාම අවශ්‍යවන්නේ එකම ශක්තියක් බැවිනි. ඔබගේ නිර්මාණාත්මක දෑ වර්ධණය කිරීම සඳහා පහත දෑ අනුගමනය කළ හැකිය.

- ලෝහ. බාගුවා සිතියමට අනුව මෙම ප්‍රදේශය සඳහා යෝග්‍ය වන්නේ ලෝහ ය. මෙම ප්‍රදේශය සඳහා ලෝහ වර්ග වඩාත් යෝග්‍ය ලෙස යොදා ගන්නේ නම් කළ යුත්තේ ලෝහවලින් තනන ලද පිංතූර රාමු යොදාගැනීමය. ඔබගේ නිවසේ සාමාජිකයන්ගේ ඡායාරූප මෙම රාමුවලට ඇතූලත් කළ හැකිය. ඔබගේ නිර්මාණාත්මක හා දරුවන් සම්බන්ධ ප්‍රදේශය ඇත්තේ මුළුතැන්ගෙයෙහි නම්, එහි බිත්තියේ මුළුතැන්ගයෙට අවශ්‍ය ලෝහ උපකරණ එල්වා තැබිය හැකිය.

- සුදු වර්ණය. ෆෙන්ග් ෂුයිවලදී ලෝහවල වර්ණය ලෙස සැළකෙන්නේ සුදු ය. මෙම ප්‍රදේශය වඩාත් යහපත් තත්වයකට පත්කරගන්නට නම් එය සුදු පැහැයෙන් පාට කළ හැකිය. මෙම ප්‍රදේශයේ ඔබගේ නාන කාමරය පිහිටා ඇත්නම් එහි ඇතුළත උපාංග හැකිතාක් සුදුපැහැයෙන් යුක්තව තෝරාගන්න. එහි සුදු පැහැ තුවා තබන්න. මුළුතැන්ගෙය නම් සුදු පැහැ දීසි භාවිතයෙන් එහි තත්වය වර්ධණය කළ හැකිය.

- වටකුරු හැඩතල. මෙම ප්‍රදේශයේ තබන්නාවූ ගෘහභාණ්ඩ වටකුරු ස්වභාවයෙන් යුක්තවන්නේ නම් වඩාත් සුදුසු වේ. වටකුරු මේස, වටකුරු හැඩයක් සහිත පුටු වැනි දේ පිළිබඳ මෙයින් කියැවේ. එමෙන්ම රවුම් හැඩයේ ඔරලෝසුවක් තිබීම ද සුබදායකය.

- විනෝදජනක ක්‍රිඩා භාණ්ඩ. සතුටුබව හා නිර්මාණාත්මක බව අතර ඇත්තේ සමීප සම්බන්ධතාවයකි. එමෙන්ම ක්‍රිඩාකරන්නාවූ දරුවන්ගේ ආත්මීය ගතිලක්ෂණ ද එයින් සංකේතවත් වේ. ඔබ නිවසේ විනෝදාස්වාදයට අදාළ සියළු දේ, එනම් රූපවාහිනිය, ඩීවීඩී යන්ත්‍රය වැනි දෑ තැබීමට සුදුසුතම ප්‍රදේශය වන්නේ බටහිරයි. එමෙන්ම ඔබ යම් යම් නිර්මාණයන් හි නිරතව සිටිනා අයෙක් නම් ඒවා සඳහා ද සුබදායක වන්නේ බටහිර ප්‍රදේශයයි.


නිර්මාණාත්මකබව හීනකරවන දෑ
- ගින්න සහ ගින්න සංකේතවත් කරන දෑ. බටහිර ප්‍රදේශය පාලනය වන්නේ ලෝහවලින් බැවින් එහි ඉටිපන්දම්, උඳුන් ආදිය තැබීමට සුදුසු නොවේ. ෆෙන්ග් ෂුයි හ දැක්වෙන් විනාශ චක්‍රයට අනුව ගින්දර මගින් ලෝහ විනාශ වෙයි. ඒ ආකාරයෙන්ම ඔබගේ නිර්මාණාත්මක බව හා සාරවත්භාවය විනාශවී යයි. ඔබගේ ලිප, උඳුන මේවන විටත් ඇත්තේ බටහිර ප්‍රදේශයේ නම්, මේ අසුබ බවින් මිදීමට ඔබ කළ හැකි යමක් තිබේ. උඳුනෙහි ගිනි ඇවිලෙන කොටසට මුහුණ දෙ සේ කැඩපතක් තබන්න. කැඩපත් මගින් සංකේතවත් වන්නේ ජලයයි.

සාරවත්බව වර්ධණය කරගැනීම සඳහා ෆෙන්ග් ෂුයි භාවිත කරන්නේ මෙසේය.

මෙයින් විස්තර කෙරෙන්නේ දරුසම්පත් සඳහා වූ සාරවත්භාවය පිළිබඳවය.

-  ඔබගේ යහනේ සිරස්පුවරුව ඔබගේ නිදන කාමරයේ බටහිර බිත්තියට ස්පර්ශ වන සේ තබන්න.
- රිදී පැහැ රාමුවල දැමූ බිළිඳුන්ගේ පිංතූර බටහිර බිත්තියේ එල්වා තබන්න.
- රිදී පැහැ ගිගිරියක් බටහිර බිත්තියේ එල්වා තබන්න. එමගින් සාරවත්බවට එරෙහිව එන සෘණ චිශක්තීන් පළවා හරින්නට පුළුවන.
- පිත්තල හෝ වෙනත් ලෝහ වර්ගයකින් තනන ලද ආගමික සංකේතයක් බටහිර බිත්තියෙහි එල්වන්න.
- බටහිර බිත්තියේ ඇති පැරණි ඇණ ගළවා දමන්න. එමෙන්ම ඔබගේ නිවසේ බටහිර බිත්තියට යකඩ ඇණගැසීමෙන් වැළකෙන්න. ෆෙන්ග් ෂුයිවල විශ්වාසයට අනුව යකඩ ඇණ නිසා සාරවත්බව වැළකෙයි. ඒ වෙනුවට පින්තූර එල්ලීම සඳහා වෙනත් ක්‍රමයක් අනුගමනය කරන්න.
- මිහිරි ශබ්ද නඟනා ඇලුමිනියම් උපකරණ බටහිර බිත්තියේ එල්ලීමෙන්  සාරවත්බව වර්ධණය වේ.

ප්‍රයෝජනවත් මිනිසුන් සහ සංචාරය (වයඹදිග ප්‍රදේශය)

බාගුවා සිතියමට අනුව මෙම ප්‍රදේශය වර්ධණය කිරීම සිසුනට, රැකියාවක් බලාපොරොත්තු සිටිනා පුද්ගලයන්ට, වැඩි වශයෙන් සංචාරයේ යෙදෙන්නට කැමති පුද්ගලයන්ට ඉතා සුබදායක යැයි සැළකේ. ඔබගේ ජීවිතයට අවශ්‍ය පුද්ගලයන්, (විශේෂයෙන් ජීවිතයට මගපෙන්වන්නා වූ ගුරුවරයන්, වෙනත් උපදේශකයන් වැනි) ආකර්ෂණය කරගැනීම සඳහා ද මෙම ප්‍රදේශය මහඟු මෙහෙයක් ඉටුකරයි.

මෙම ප්‍රදේශය වර්ධණය කිරීම සඳහා කළහැකි දෑ

- සංචාරයට සම්බන්ධ පින්තූර. ලෝකයේ විවිධ ස්ථාන දැකබලාගන්නට ඔබ තුළ කැමැත්තක් ඇත්නම් ලෝකයේ ඈත දිග්භාගයේ විවිධ පින්තූර මෙම ප්‍රදේශයෙ එල්වා තැබීමෙන් සුබදායක ප්‍රතිඵල අත්වේ.

- ඉගෙනීමට සම්බන්ධ දෙවිවරුන්ගේ පින්තූර එල්ලීම. ඔබගේ ජීවිතයට අත්වැලක් සැපයූ යම් පුද්ගලයකු වේ නම් ඔහුගේ පිංතූරයක් නිවසේ වයඹ ප්‍රදේශයේ එල්වා තැබීම යහපත්වේ.

- රිදී සහ අලු පැහැය. මෙම ප්‍රදේශයට ගැළපෙන වර්ණ වන්නේ රිදී සහ අලු ය. මෙම පැහැයෙන් යුක්ත කුඩා ප්‍රතිමා, පෑන්, භාජන වැනි දෑ මෙම ප්‍රදේශයේ තබන්නට පුළුවන. නිවසේ පුස්තකාලය තිබිය යුතු හොඳම ස්ථානය වන්නේ වයඹ ප්‍රදේශයයි. එබැවින් පුස්තකාලයක් නොමැති නම් පොත් අල්මාරිය තැබිය යුත්තේ මෙහිය. මෙම ප්‍රදේශය සංචාරයන් සඳහාද අදාළ බැවින් සිතියම් පොත්, සිතියම් ආදිය ද මෙම පොත් අල්මාරියේම තැබිය යුතුය. රිබන් පටිවල එල්ලූ කුඩා සීනු මෙම ප්‍රදේශයේ තැබීමෙන් සෘණාත්මක ශක්තීන් දුරු වෙයි.

මෙම ප්‍රදේශයට බාධා එල්ල කරනා දෑ

වනාන්තරයකට මුවා වී සිටිනා පුදුගලයකු කිසිවකුට හෝ පෙනෙන්නේ නැත. ඒ හා සමානවම මෙම ප්‍රදේශය අවුල් සහගත තත්වයෙන් පවතී නම් ඔබව කිසිවකුට හෝ පෙනෙන්නේ නැත. ජීවිතයේ නව මංපෙත් සොයා යන්නට නම් මෙම ප්‍රදේශය නිරවුල්ව තිබිය යුතුය.

ඔබගේ නිවසේ මෙම ප්‍රදේශයේ ඇත්තේ මුළුතැන්ගෙය හෝ නාන කාමරය නම් ඒවායින් ඇතිවන අසුබ ප්‍රතිඵල සමනය කරගැනීම සඳහා මේවායේ දොරපියන් නිතර වසා තැබිය යුතුය. මුළුතැන් ගෙය සහ නානකාමරය යනු නවසේ ඇති දෑ පිටට ගළායන ස්ථාන දෙකකි. ඔබගේ නිවසේ සුබ පල ගෙන දෙන්නාවූ චිශක්තිය ද මේ ආකාරයෙන්ම පිටතට ගළායයි. මෙම අසුබ ඵල සමනය කරගැනීමට කළ හැකි එක් උපක්‍රමයක් වන්නේ මෙම ස්ථානවලින් ජලය පිටතට ගළා යන්නා වූ නලවල රතු පැහැ රිබන් පටියක් ගැට ගැසීමය. එසේත් නැත්නම් මෙම පයිප්ප වටා රතුපැහැ තීන්තවලින් තීරු ඇඳීම සිදු කළ හැකිය. ඔබගේ ජීවිතයේ අවස්ථා ඔබගෙන් ගිළිහී යාම වැළැක්වීම සඳහා යොදාගත හැකි ඉපැරණි ෆෙන්ග් ෂුයි ක්‍රමයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

රැකියාව (උතුරු ප්‍රදේශය)

ඔබට රැැකියාවක් සොයාගැනීම දුෂ්කර නම්, එසේත් නැත්නම් ඔබ දැනට කරනා රැකියාවට අකැමති නම් ඔබ නිවසේ උතුරු ප්‍රදේශය පිළිබඳ සැළකිලිමත් විය යුතු තිබේ.

ඔබගේ රැකියාවේ තත්වය වැඩිදියුණු කරවන දෑ
                                   
- ජලය. උතුරු ප්‍රදේශය පාලනය කෙරෙන්නේ ගළායන ජලයෙනි. එබැවින් නිවස තුළ කුඩා උල්පතක් තනාගැනීමට සුදුසුම වන්නේ උතුරු ප්‍රදේශයයි. මෙවැනි ජල උල්පත් අද පහසුවෙන්ම මිලදී ගත හැකිය. මේසයක් වැනි ආධාරකයක තැබිය හැකි මෙය නිවසට අලංකාරයක් ද ලෙන දෙයි.

- කලු වර්ණය. චීන ෆෙන්ග් ෂුයිවලට අනුව ජලයේ වර්ණය සංකේතවත් කරන්නේ කලු පැහැයෙනි. එබැවින් මෙම ප්‍රදේශයේ වර්ණය කලු පැහැගැන්වීම සුබදායක වේ.

- කැඩපත්. ෆෙන්ග් ෂුයිවලට අනුව කැඩපත් යනු ජලයට සමාන දෙයකි. එබැවින් මෙම ප්‍රදේශයේ කැඩපත් තැබීම මගින් ඔබට රැකියාවක් ලැබෙන්නට ඇති ඉඩකඩ දෙගුණ කෙරේ. එපමණක් නොව මෙම ප්‍රදේශයට බලපාන්නා වූ සුබදායක චිශක්තිය ද වැඩිදියුණු වේ.

- රැකියාව සංකේතවත් කරනා ධනාත්මක් සංකේත හා පින්තූර. ඔබ කරන්නට කැමති රැකියාව සංකේතවත් වන ආකාරයේ පින්තූර මෙම ප්‍රදේශයේ තබන්න. ඔබ ලේඛකයකු නම් ඔබගේ ප්‍රියතම ලේඛකයාගේ පින්තූරයක් මෙහි තැබීම වඩා සුබදායී ප්‍රතිඵල ලබාදෙනු ඇත.

- වීදුරු. වීදුරුවල ඇති ද්‍රවතාව ජලයේ ද්‍රවමය ගළායාමට සමානය. එබැවින් මෙම ප්‍රදේශයේ වීදුරු මල් බඳුන්, වීදුරු රාක්ක සහ භාජන තැබීම යහපත් වේ.


රැකියාව විනාශ කරනා දෑ

- පොලොව. පෝච්චිවල සිටවූ පැළවර්ග තැබීමට මෙම ප්‍රදේශය සුබ නොවේ. පොලොව හෙවත් පස් මගින් ජලය අපවිත්‍ර වේ. එමෙන්ම මෙම ප්‍රදේශයේ මැටි හෝ සෙරමික්වලින් තැනූ භාණ්ඩ තැබීමෙන් ද වැළකිය යුතුය. මේවා මගින් ද සංකේතවත් වන්නේ පොලොවයි.

- කහ වර්ණය. කහ සහ පොලොවේ පැහැය සමානය. එබැවින් එය ජලය සමඟ ගැළපෙන්නේ නැත. මෙම ප්‍රදේශයේ වර්ණය කලුපැහැයෙන් යුක්ත විය යුතුය. වීදුරු භාණ්ඩ ද වැඩියෙන් තැබිය යුතුය.

- චතුරශ්‍ර හැඩයෙන් වැළකෙන්න. ෆෙන්ග් ෂුයිවලදී චතුරශ්‍ර හැඩයෙන් සංකේතවත් වන්නේ පොලොවයි. එබැවින් මෙම ප්‍රදේශයේ තැබිය යුත්තේ වටකුරු හැඩයෙන් යුක්ත ගෘහභාණ්ඩයන් ය. මේවා මත වීදුරුවලින් තැනූ විවිධ දෑ තිබීමෙන් යහපත් ප්‍රතිපල ගෙන දේ.

දක්ෂතා සහ දැනුම (ඊසාන ප්‍රදේශය)
බාගුවා සිතියමට අනුව නිවසේ මෙම ප්‍රදේශය වඩාත් යහපත් අයුරින් පවත්වාගෙන යාමෙන් ඔබගේ දක්ෂතා හා දැනුම වර්ධණය කරගැනීමට එය අත්වැලක් සපයනු ඇත. එමේනම ඔබේ ජීවිතය පිළිබඳ නිවැරදිතම තීරණ ගැනීමට ද මෙමගින් ලබාගන්නා ශක්තිය ඉවහල්වනු ඇත.

මෙම ප්‍රදේශය දියුණු කරගැනීමට කළ හැකි දෑ

- නිල් වර්ණය. මොලයේ තරංග සන්සුන් කිරීම සඳහා හොඳම වර්ණය ලෙස සැළකෙන්නේ නිල් ය. එමෙන්ම අසීමාන්තික වූ හැකියාවන් ද මෙයින් මෙයින් සංකේතවත් වේ. මෙම ප්‍රදේශයේ වර්ණය නිල්පැහැයෙන් යුක්ත වන්නේ නම් ඔබට ලැබෙන්නා වූ ප්‍රතිපළ ඉතා ඉහළය.

- මෙම ප්‍රදේශය හොඳින් ආලෝකවත්ව තබන්න. ආලෝකය මෙම ප්‍රදේශයට ඉතා වැදගත් බැව් මතක තබාගන්න. ආලෝකයෙන් සංකේතවත් වන්නේ බුද්ධිමත් බව හා විමුක්තිය යි.

-  ප්‍රඥාව නිරූපණය කරනා  කරනා සංකේත. අධ්‍යාත්මික අතින් පරතෙරට ගිය පුද්ගලයකුගේ  පුද්ගලයකුගේ පින්තූරයක් මෙම ප්‍රදේශයේ තැබීම සුබදායක වේ.

- භාවනා කරන්නට අවශ්‍ය දෑ. භාවනා කිරීම ඔබේ පුරුද්දක් නම් නිවසේ ඒ සඳහා හොඳම ප්‍රදේශය මෙය වේ.  එමෙන්ම ආගමික ප්‍රතිමා සහ අනෙකුත් ආගමික සංකේත තැබිය හැකි හොඳම ප්‍රදේශය මෙය වේ.

- තියුණු වස්තූන්. සාම්ප්‍රදායික ෆෙන්ග් ෂුයිවලට අනුව මෙම ප්‍රදේශයේ තියුණු හා උල් වූ ආයුධ තිබීම සුබ පල ගෙන දේ. ඔබට මෙසේ තබන්නට ආයුධ නැතිනම්, අඩුම වශයෙන් ලියුම් විවෘත කරනයක් හෝ වෙනයම් පිහියක් වැනි දෙයක් හෝ තබන්න.

දැනුමට හා ප්‍රඥාවට බාධා කරන්නාවූ දෑ
- මත්වතුර හා මත්ද්‍රව්‍ය. මේවා නිසා මනස දුර්වලවේ. ඔබ මේවා පරහරණය කරන්නෙක් නම් නිවසේ මෙම ප්‍රදේශයේ ඒවා තබාගැනීමෙන් වළකින්න.

- කුණුකසල. මෙම ප්‍රදේශයේ කුණුකසල ඇත්නම් ඔබගේ මනස ද එසේම අපවිත්‍රය. ඔබගේ කාමරයේ හෝ නිවසේ මෙම කොටසේ අනවශ්‍ය යමක් ඇත්නම් එය ඉවත්කොට මනස ද පිරිසිදු කරගන්න.

- දූවිලි හා කුණු. මෙම ප්‍රදේශයේ ඇති ජනෙල්, පරිගණක තිර, රූපවාහිනි යන්ත්‍රය ආදියේ දූවිලි පිසදමා පිරිසිදුව තබාගන්න. එවිට ඔබට බොහෝ දේ වඩාත් පැහැදිලව දකින්නට හැකිවනු ඇත.



පවුල සහ මුතුන්මිත්තන් (නැගෙනහිර ප්‍රදේශය)
ඔබගේ නිවසේ නැගෙනහිර ප්‍රදේශය මගින් ප්‍රකාශවන්නේ ඔබගේ පවුල් පදනම සහ ඔබ ඉදිරි ජීවිතය කුමනාකාරද යන විස්තර යි. එමෙන්ම ඔබ ජීවිතයෙන් අන්‍යනට සිදුකරන්නට යන යහපත් හෝ අයහපත මෙන්ම ඔබට ජීවිතයෙන් ලැබෙන දෙය ද පෙන්වන්නා වූ කැඩපතක් ලෙස ද මෙම ප්‍රදේශය පෙන්වා දිය හැකිය.

පවුල ගෞරවයට පත්කරනා දෑ

- දැව. ඔබගේ පවුල් පදනම ශක්තිමත් කරන්නට ශක්තිය ඇතිකරදෙන ද්‍රව්‍යය වන්නේ දැව ය. ඔබගේ නිවසේ විශාල ගෘහභාණ්ඩ, කෞතුක වස්තූන්, පින්තූර රාමු, පොත්පත්, උස්ගස් වැනි දේ ආදිය මෙහිදී සළකා හැකිය.

- මුතුන් මිත්තන්ගේ ඡායාරූප. ඔබගේ පවුලේ ආදීතමයන්ගේ පින්තූර ආදිය තැබීම සඳහා සුදුසුම ස්ථානය මෙයයි. මීට අමතරව ඔබගේ උරුමය පිළිබඳ කියැවෙන දෑ මෙහි තැබීමෙන් ද සුබ ඵල අත්වේ.

- කොළ සහ කලු වර්ණ. දැවවලින් ඇති කරනා කම්පන ශක්තිය නිරූපණය වන්නේ කොළ පැහැයෙනි. දැව හෙවත් ගස්වැල් පෝෂණය කරන්නා වූ ජලය සංකේතවත් වන්නේ කලුපැහැයෙනි. කලු සහ කොළ පැහැයෙන් යුක්ත ගෘහ භාණ්ඩ මෙම ප්‍රදේශයේ තැබීමෙන් ද මෙම ප්‍රදේශයේ වැඩි කොටසක්ට මෙම වර්ණ ඇතුළු කිරීමෙන් ද ධනාත්මක් චිශක්තිය වර්ධණය කරගත හැකිය.


- සජීවී ගහකොළ. නිවස තුළ තැබිය හැකි කුඩා ගස්වර්ග සඳහා නිවසේ තවත් සුදුසු ප්‍රදේශයක් ලෙස මෙය හැඳින්විය හැකිය.


පවුලේ කීර්තියට හානි සිදුකරනා දෑ


- ලෝහ වස්තූන්. සීනු, ලෝහවලින් තැනූ පින්තූර රාමු හෝ කුසලාන හෝ පළිහ වැනි දෑ තැබීමට මෙම ප්‍රදේශය සුදුසු වන්නේ නැත. මෙයට හේතුව නම් ෆෙන්ග් ෂුයි විනාශ චක්‍රයට අනුව ලෝහවලින් දැවවර්ග කඩා බිඳදමන බැවිනි. මේ නුසුදුසු ඒවා තැබීමෙන් ඔබගේ පවුල් සම්බන්ධතාවන්ට හානි සිදුවිය හැකිය. මෙම ප්‍රදේශයේ ලෝහ වස්තූන් හැකිතාක් අවම මට්ටමින් තබාගන්න. අඩුව තරමේ ලෝහ වස්තූන්ගේ සංඛ්‍යාව දැව වස්තූන්ට වඩා අඩු බව තහවුරු කරගන්න.

- සුදු පැහැ වස්තූන්. සුදු පැහැ වස්තූන් හා ද්‍රව්‍ය මෙම ප්‍රදේශයට අසුබ වේ. මෙම ප්‍රදේශයේ බිත්ති සුදු පැහැයෙන් යුක්ත වන්නේ නම් කලු සහ කොළ පැහැ වස්තූන් තවත් වැඩි කිරීම පිළිබඳ සැළකිළිමත්වන්න. එවිට සුදු පැහැයෙන් ඇතිවිය හැකි අසුබ බව දුරු වී යනු ඇත.


- වටකුරු හැඩය. මෙම ප්‍රදේශයට වටකුරු හැඩයෙ වස්තූන් ගැළපෙන්නේ නැත. මෙම ප්‍රදේශයට වඩාත් සුදුසු වන්නේ කුළුණු හෝ ගස්වල හැඩයෙන් යුක්ත වස්තූන්ය. ඔබ කාසි හෝ කෞතුක වටිනාකමින් යුක්ත පිඟන් වැනි වටකුරු දෑ එකතු කරන්නෙක් නම්, ඒවා තබාගැනීමට මෙය සුදුසු ප්‍රදේශයක් නොවේ.

සෞභාග්‍යය (ගිනිකොණ ප්‍රදේශය)

ඔබගේ ආදායම හා ආදායම් ලබාදෙන මාර්ග පාලනය කරනු ලබන්නේ නිවසේ ගිනිකොණ ප්‍රදේශයයි.


සෞභාග්‍යය ඇතිකරනා දෑ

- දම්, රතු සහ කොළ වර්ණ. යම්කිසි ස්ථානයක සෞභාග්‍යය නැංවීම සඳහා මෙම වර්ණ තුන දායක වේ. මෙම වර්ණවලින් යුක්ත වීදුරු බෝල, කුඩා වීදුරු බඳුන්වල දමා තබාගැනීම සුබදායක් වේ.

- ධනයේ සංකේත. නිවසේ මෙම ප්‍රදේශයේ සැබෑ මුදල් හා රන් ආභරණ කාත් පෙනෙන සේ තැබීම සුබදායක වේ. පිටරට කාසි පිරවූ බඳුනක් පෙනෙන්ට තැබීමෙන් ද යහපත් ප්‍රතිඵල අත්වේ.

- බොරු මුදල්. අධික වටිනාකමකින් යුක්ත දේශීය හෝ විදේශීය මුදල් නෝට්ටුවක පිටපතක් රාමුකොට එල්ලා තැබීම ද සෞග්‍යය වර්ධණය කරන්නට හේතුවක් වේ.

- දිය උල්පත්. මේවා පහසුවෙන් මිලදී ගන්නට පුළුවන. උද්‍යාන අලංකරණ ස්ථානවල මේවා මිලදී ගන්නට තිබේ. මෙවැන්නක් මෙම ප්‍රදේශයේ තබාගැනීමෙන් සංකේතවත් වන්නේ මුදල් ගළා ඒමයි. ෆෙන්ග් ෂුයි ක්‍රමයට අනුව නම් මේ සඳහා හොඳින්ම ගැළපෙන්නේ චීන ක්‍රමයට උණ බම්බුවලින් සකස්කරන ලද උල්පත් ය. නමුත් අපේ රටේ ඒවා සොයා ගැනීම දුෂ්කර බැවින් පහසුවෙන් සොයාගත හැකි උල්පතක් වුව සෑහේ.

- සුරතල් මසුන්. රන්වන්පැහැ සුරතල් මසුන් ඇත්කරන්නට ඔබ කැමති නම්, ඒ සඳහා හොඳින්ම ගැළපෙන්නේ මෙම ප්‍රදේශයයි. කහ සහ කලු පැහැ සුරතල් මසුන් මුදල් ආකර්ෂණය කරගැනීමේ වැඩි නැඹුරුතාවයක් දක්වන බැව් කියැවේ.

- ෆෙන්ග් ෂුයිවලදී සුබඵල දෙන අශ්වයින් අට දෙනෙකු පිළිබඳ කියැවේ. මෙය අපේ රටේ සොයා ගැනීමට අසීරුවන්නට පුළුවන. ඇතැම්විට ෆෙන්ග් ෂුයි භාණ්ඩ අළෙවි කරන්නට ඇති ස්ථානවල තිබෙන්නට ද පුළුවන. අශ්වයින් අට දෙනෙකු සහිත ප්‍රතිමාවක් නිවසේ ප්‍රධාන දොරටුවට පෙනෙන සේ තැබීම සුබඵල ගෙන දේ. මෙය තැබිය යුත්තේ අශ්වයින් පිටත සිට නිවස තුළට දිව එන ආකාරයටය. ප්‍රතිමාවක් සොයා ගැනීමට අපහසු නම් එය දැක්වෙන් පින්තූරයක් වුවද ප්‍රමාණවත්ය. නමුත් තැබිය යුත්තේ නිවස තුළට පැමිණෙන ආකාරයටය. අනෙක ඔවුන්ගේ හිස් නිවසේ පිටුපස දොර දෙසට හැරී නොතිබිය යුතුය. මෙයින් සංකේතවත් වන්නේ නිවසට ගළාඑන මුදල් නිවස තුළම රැඳී තිබෙන බවයි.

- ස්වර්ණාභරණ. මිලෙන් අඩු එක් ස්වර්ණාභරණයක් හෝ කිසිවකුට ගැනීමට නොහැකි, එහෙත් හොඳින් පෙනෙන සේ තැබීමෙන් ධනාත්මක චිශක්තිය මෙම ප්‍රදේශය තුළ වර්ධන වේ.

- සුඛෝපභෝගීබවේ සංකේත. අප සුඛෝභෝගී යැයි සම්මත කරගත් භාණ්ඩවල කුඩා ආකෘති පිළිබඳ මෙයින් කියැවේ. මිලෙන් අධික වාහනයක කුඩා ආකෘතියක්, දැවැන්ත නිවාසයක ඡායාරූපයක් වැනි දේ පෙනෙන්ට තබාගැනීම සුබදායක වේ.

- ජේඩ් පැළෑටි. චීන ජාතිකයන්ට අනුව ජේඩ් යනු සෞභාග්‍යයේ සංකේතයයි. ඔබට හැකියාවක් ඇත්නම් මෙම පැළයක් සොයාගන්න. ඔවුන් මෙය හඳුන්වන්නේ මුදල් ගසයනුවෙනි.

- පළතුරු ගස්. පෝච්චිවල සිටුවිය හැකි දොඩම්, ලෙමන් වැනි ගස් ද මුදල් සංකේතවත් කරයි. ඒවා ද මෙම ප්‍රදේශයට සුදුසු වේ.


ඔබ දිළිඳු තත්වයට ඇද දැමිය හැකි දෑ

- කුණුකසල. ෆෙන්ග් ෂුයිවලට අනුව සෞභාග්‍යයට අධිපති ග්‍රහයා සිකුරු ය. සිකුරු කුණු දුහුවිල්ලෙන් වැසුණු නිවසකට පැමිණෙන්නේ නැත. එබැවින් කුණු කසල, දූවිලි යනු ධනාත්මක ශක්තියට බාධා ඇතිකරන්නා වූ දෑ ය.

- කාන්දුවීම්. ඔබගේ නිවසේ මෙම ප්‍රදේශයේ් ජලකාන්දුවක් ඇත්නම්, එයින් කියැවෙන්නේ නිවසේ ඇති මුදල් ද පිටතට කාන්දුවී යන බවයි.

- වැසිකිලි. එනම්වැසිකිලයකින් සිදුවන්නේ සියලු දේ ඉවතට රැගෙන යාමය. මෙම ප්‍රදේශයේ වැසිකිලියක් ඇත්නම් ඔබ කළ යුත්තේ සිලු විටම එහි දොර වසා තැබීමයි.

- සුරතල් සතුන් වෙනුවෙන් නිවස තුළ තනන ලද පෙට්ටි හෝ කූඩු. ඇතැම් විට ඔබේ සුරතල් බළල් පැටවා, බලු පැටවා හෝ වෙනත් සුරතල් සතකු වෙනුවෙන් සකස් කළ කූඩු හෝ පෙට්ටි මෙම ප්‍රදේශයේ තිබිය හැක. මේවායින් දුගඳ ද හමයි. මේවා මෙම ප්‍රදේශය තුළ තබාගැනීම කිසිසේත්ම සුදුසු නොවේ.

- බිඳී ගිය දෑ. මෙවැනි දේ පිටුපස ඇති සත්‍යය නම්, ‛යමක් බිඳී ඇති ද ඔබ ද එසේමයයන්න යි. එබැවින් බිඳී ගිය භාණ්ඩ, ක්‍රියා නොකරන හෝ වැරදි වෙලාව දක්වන ඔරලෝසු, නරක් වූ බැටරි වැනි දෑ නිවසින් බැහැර කළ යුතුය. දැවී ගිය බල්බ ඇත්නම් ඒවා ගළවා දමා අලුත් ඒවා දැමිය යුතුය.

- මැරී ගිය ශාක. නිවසේ මෙම කලාපය තුළ මැරී හෝ වියැළි ගිය ශාක ඇත්නම් ඉවත් කළ යුතුය. ඒවා තිබීමෙන් ඇතිවන්නේ සෘණාත්මක ශක්තියකි.

- කුණුබාල්දි. වැසිකිලි සේම මෙයින් ද සෞභාග්‍යය ඇති කරන්නා වූ ධනාත්මක ශක්තිය බැහැරට යයි.

- දිළිඳුබව නිරූපණය කෙරෙනා පින්තූර. වියැළිගිය පරිසරයක්, කාන්තාර වැනි දර්ශන සහිත පින්තූර මෙම ප්‍රදේශයේ තිබීම කිසිසේත් සුදුසු නොවේ. දුක්බරව සිටින පුද්ගලයන්ගේ පින්තූර ද අයහපත්ය.

ෆෙන්ග් ෂුයි හි පොදු උපදෙස්

ඔබ මෙහි සඳහන් ආකාරයට ඔබගේ නිවසට ෆෙන්ග් ෂුයි මූලධර්ම යොදාගන්නට අදහස් කරන්නේ නම් මුළින්ම මතක තබාගත යුතු වැදගත් දෙයක් තිබේ. එනම් කුණු කන්දල්වලින් පිරි, දූවිලි වැකුණු නිවසකට ෆෙන්ග් ෂුයි ක්‍රම අනුගමනය කිරීමෙන් කිසිදු ප්‍රතිපළයක් ලබාගත නොහැකි බවය. ෆෙන්ග් ෂුයිවල මූලිකම අවශ්‍යතාවය වන්නේ නිවස කුණු කසලවලින් හා දූවිලිවලින් තොරවූවාට පසු මෙම මූලධර්ම යොදාගැනීමය.

ඔබ පහත සඳහන් කොට ඇති ආකාරයේ ගැටළුවලට මුහුණ දෙන්නේ නම් එයින් කියැවෙන්නේ බාගුවා සිතියමට අනුව නිවස බෙදාගත් කොටස් නවය තුළ  ෆෙන්ග් ෂුයි මූලධර්ම නිවැරදි ලෙස යොදා ගෙන නොමැති බවයි.

1. තරබාරුව (සෞඛ්‍යට අදාළ ප්‍රදේශය)
2. නරක මිතුරු ඇසුර (ආදරයට අදාළ ප්‍රදේශය)
3. කටකතාවලට ලක්වීම (කීර්තියට අදාළ ප්‍රදේශය)
4. ණය බරින් මිරිකීම (සෞභාග්‍යයට අදාළ ප්‍රදේශය)
5. නිතර අවාසනාවන්ට මුහුණ දීම (පවුල සහ මුතුන්මිත්තන්ට අදාළ ප්‍රදේශය)
6. නිර්මාණාත්මක බව පිරිහීම හෝ දරු සම්පත් නොලැබීම (නිර්මාණාත්මක ප්‍රදේශය)
7. නිතර විවේචනයන්ට හා කිසිවකුගේ යහපත් අවධානයකට ලක්නොවීම (ඥානයට අදාළ ප්‍රදේශය)
8. අධික ලෙස වෙහෙස වී වැඩ කළද අඩු වැටුපක් හිමිවීම (රැකියාවට අදාළ ප්‍රදේශය)
9. කිසියම් හෝ දෙයකට කොටුවී ඇතැයි හැඟීම (සංචාරයට අදාළ ප්‍රදේශය)

ඔබ මතක තබාගත යුතු තවත් සුවිශේෂීම දෙයක් වන්නේ නිවසේ සියලු ප්‍රදේශ හොඳින් ආලෝකවත් ව තිබීමෙන් ලැබෙන සුබපඵල ඉතා ඉහළ බවය. අඳුර මගින් ධනාත්මක ශක්තීන් ඇතිවීමට බාධා ඇති කරයි.

ඔබට දැන් ඔබගේ නිවසේ බඩු බාහිරාදිය නිවැරදි අන්දමින් ස්ථානගත කරනා ආකාරයත්, එසේ කිරීමෙන් ලැබෙන වාසි පිළිබඳවත් ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්නට ඇතැයි අපගේ විශ්වාසයයි. ෆෙන්ග් ෂුයි යනු මිත්‍යා විශ්වාසයක් බැව් ඇතැමුන් පැවසුවද එහි විස්තරවන සියල්ලක්ම යම් විද්‍යාත්මක පදනමක් මත පිහිටා ඇති බැව් මෙය කියැවීමෙන් පසු ඔබට අවබෝධ වන්නට ඇත.

අප මේ සඳහන් කළේ ඔබගේ නිවස ෆෙන්ග් ෂුයි මූලධර්මවලට අනුව නිවැරදිව පිළියෙල කරගන්නේ කෙසේද යන්න පිළිබඳවය. ඔබ අලුතින් නිවසක් තනන්නේ නම්, ඔබට මේ ආකාරයට නිවස සැළසුම් කිරීමෙන් ඉමහත් ප්‍රතිඵල අත්කරගන්නට හැකිවනු නිසැකය. දැනට පවතින නිවසක් වුවද මෙහි සඳහන් උපදෙස් පිළිපැදීමෙන් බොහෝ සුබඵල අත්වනු ඇත.




6 comments:

  1. https://www.jesus-is-savior.com/False%20Religions/Other%20Pagan%20Mumbo-Jumbo/feng_shui.htm

    ReplyDelete
  2. බණුඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාව ඉදිරියේ පෙිකුණක් හදලා තියෙන්නේ පාරෙන් වන අපලේ නැතිකරන්න නේද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් මම දන්නේ නැහැ. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්.

      Delete
  3. http://wasanawanthaya.blogspot.com/2016/01/blog-post_26.html

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න