Thursday, November 21, 2019

මගේ සෝලා පැනල් ප්‍රොජෙක්ට් එක සහ අනිත් සත්තු



හැමදාම මිනිස්සුන්ට බැන බැන ඉන්නේ නැතිව වෙන මොනවා හරි ලියන්න ඕන. මේක මට වෙච්ච දෙයක්. හැබැයි මේකේ විද්‍යාත්මක පැත්ත මට පැහැදිලි කරන්න බෑ. පැහැදිලි කලත් මට ඔප්පු කරන්න බෑ. 

එක එක මිනිස්සුන්ට එක එක ජාතියේ පිස්සු හැදෙනවනේ. මට පොඩි කාලේ ඉදන් තිබුන සුර්ය කෝෂ solar panel පිස්සුවක්. ඉතින් එක එක එක්ස්පෙරිමන්ට් කර කර තමයි හිටියේ ඒ කාලේ ඉදන්. මට ඕන උනා ෆෝන් එක ෆුල් solar power  එකෙන් චාර්ජ් කරන්න. මම ebay එකෙන් ගෙන්නුවා solar panel එකකුයි regulator එකකුයි. දැන් අහන්න මොකක්ද regulator එක කියන්නේ කියලා. එකෙන් වෙන්නේ වැඩියෙන් වෝල්ටීයතාවයක් ආවත් අඩුවෙන් ආවත් එකම ගානක් තමයි එලියට දෙන්නේ. එත් තේරුනේ නැත්නම් ඒක මැජික් පෙට්ටියක් කියල හිතාගෙන කතාව කියවන්න. මේක රු 200 ක් වගේ උනේ. USB  එකක් හයි කරන්න පුළුවන් නිසා වැඩේ ලේසි.
මේ තියෙන්නේ සෝලා පැනල්  එක 


මේ තියෙන්නේ රේගියුලේටර් එක 


බඩු එනකන් මාසයක් විතර දත් මිටි කකා ඉඳලා දවසක් විතර මහන්සි වෙලා ඔන්න project එක ගොඩ දැම්මා.දැන් බඩු  වැඩ. solar panel එක හයි කළා කාමරේ ජනේලෙට එළියෙන්. වයර් එක ජනේලේ ඇතුලෙන් අරගෙන ජනේලේ ලග තිබුන  අල්මාරිය උඩ rechargeable බැටරි 
 එකක් තියල regulator එක හයි කලා. ඒකෙන් USB වයර් එකක් ඇදල ෆෝන් එක චාර්ජ් කරනවා.

ඔන්න දැන් අතුරු කතාව, අපේ ගෙදර සිකියුරිටි සිස්ටම් එක, ගෙදර වටේ මුරට පුසෝ හතර පස් දෙනෙක් සිටින අතර ගෙදරින් එලියට වත් බහින්නේ නැති ඇතුලටම වෙලා ඉන්න බල්ලෙක් ඉන්නවා. (ගේ ඇතුලේ ඉදන් පිට කවුරු හරි ආවම අපේ බල්ලා දුවල ගිහින් ඇද යට රිංගන අතර අපි ගෙදරට එනකොට පළාතටම ඇහෙන්න බුරන එක තමා කරන්නේ. ඕන හොරෙක්ට ගෙදරට ඇතුල් වෙන්න පුළුවන් හැබැයි අපිට බෑ. එච්චර ආරක්ෂාව තර කරලා තියෙන්නේ.) 

ආයිත් කතාවට ඔන්න, මෙන්න බොලේ  ටික දවසක් යද්දී ලේනෙක් එනවා පොල් කොහු වගයක් උස්සන් අල්මාරිය අස්සට. පුසෝ හින්ද පැත්ත පළාතේ එන්නේ නැති එකා මෙන්න ගේ ඇතුලට එනවා. ඇවිල්ල අර solar panel  එකේ වයර් ඔක්කොම එහෙට මෙහෙට ඇදල යනවා කුඩුවක් හදනවා. හැමදාම වැඩ ඇරිලා ගෙදර ඇවිත් ලෙන් කුඩු කඩන එක තමයි මගේ වැඩේ. 

දැන් බැනපල්ලා පවු ලෙන් කුඩු කඩනව කියල. එහෙනම් මේක හදල තියෙන විදිය අහන්නකො, පොල්කොහු කිව්වට මේක අන්තර්ගතේ හරි සංකීර්ණයි. වටේ පොල්කොහු ඊට පස්සේ පැදුරු කෑලි, පස්සේ ප්ලාස්ටික්  කෑලි, පොල් ගෙඩියේ නටු, කෙහෙල් කොළ . ඇතුලේ core එක හදන්නේ මෙට්ට ඇතුලේ තියෙන පුළුන් ස්පන්චි , අල්ලපු ගෙදර ඇන්ටිගේ පරණ ගවුම් කෑලි සහ අංකල්ගේ සරම් කෑලි. එක දවසක් මේක තියල තිව්වොත් පහු වෙනිදට හෙන කුණු ගොඩක් බිම. මොකද පහු වෙනිදට ලේනට කොලිටි අමුද්‍රව්‍ය ලැබුනොත් අර හොද නැති අමුද්‍රව්‍ය ඇදල අපේ කාමරේ බිමට දානවා. ගෙදර එද්දී බිම කොහුබත් , ඇදුම් කෑලි සරම් කෑලි. උබලද මේ කුණු අතු ගන්නේ?

අයිත් කතාවට, ඔන්න ලේනාගේ සෙල්ලම මෙහෙම යන අතරේ අපේ ගෙදර බල්ලාගේ හැසිරීම අමුතු වෙන්න ගත්ත.  අනිත් බල්ලොන්ට වගේ නෙවෙයි මුට අපේ කන් පැලිලා යන විදියට උඩු බුරලන්න පුළුවන්. මු කාමරේට ඇවිල්ල උඩු බුරලනවා. කවුරු හරි උඩු බුරලනවා අහල නැති පොෂ් එක්කෙනෙක් ඉන්නවා නම් කාගෙන් හරි අහන්න. අපේ බල්ලා එයාගේ මේ ගීත ගායනය දිගින් දිගට සිද්ද කලා. සමහරු කියනවා එහෙම කලාම මහා නරක කාලයක් එනවා කියල.

ඔන්න ඉතින් බල්ලාගේ උඩු බිරිල්ල ඉවසගෙන ලේනාගේ කරදරේ ඉවසගෙන මම දවසක් සෙනසුරාදා දවසක කාමරේ පොතක් කියව කියව ඉන්නවා. ටිකක් වෙලා යද්දී මට නිකන් බොහොම පහත සංඛ්‍යාතයකින් සද්දයක් ඇහෙනවා . කී.......ගාල ටිකක් වෙලා යද්දී ඔලුව ඇතුලේ මේක ඇහෙනවා කනට වතුර ගියා වගේ.  දඩ බඩ ගාල පොත පැත්තකින් තියල මම කාමරේ වටේ හොයන්න ගත්ත සද්දේ එන්නේ කොහෙන්ද කියල. ඒක ලේසියෙන් ඇහෙන්නේ නෑ බොහොම හිමින් ඇහෙන නෑහෙන ගානට තම සද්දේ එන්නේ. මගේ හිතේ ලෙඩක්ද කියල මට හිතුන. ඔන්න ටික වෙලාවක් යද්දී මට සද්දේ එන තැන අහු උනා. අල්මාරිය උඩින්. පුටුවක් තියල බැලුවම සද්දේ එන්නේ  regulator එකෙන්. ඔන්න කොල්ලට සත්‍ය අවබෝධ වෙන්න ගත්ත නිකන් ෆිල්ම් එකක් වගේ.

දැකල තියෙනවද මන්ද ලොකු ට්‍රාන්ස්ෆොර්මර් පාරේ තියෙන? අන්න ඒව ගාවින් යද්දී එනවා ක්‍රරූන් ගාල ලොකු සද්දයක්. regulator එකෙන් වෙන්නෙත් ඒ වගේම වැඩක් ඒ වෙන ක්‍රියාවලිය නිසා ශබ්දය හා තාපය විදියට ශක්තිය පිට වෙනවා. මගේ  regulator එක පොඩි එකක් නිසා ඒක බොහොම පුංචි සද්දයක්. ඇහෙන්නේ නැති ගානට. මේක ගැලෙව්වට පස්සේ අපේ බල්ලා සින්දු කියන එක නැවතුනා. ඒ කියන්නේ අපිට ඒක නෑහුනට බල්ලට මේක නලාවක් පිබිනවා වගේ ඇහෙනවා ඇති. එක අහන් ඉන්න බැරි කමට මූ උඩු බුරලනවා

එතකොට ලේනා ඉන්නේ?  මටත් එකට උත්තර නෑ. එත් මට හිතුනේ මෙහෙමයි , ලේනාට බල්ලට වගේ සද්දේ ඇහුනේ නැති උනාට ඌටත් ඇහෙනවා. හැබැයි ඌ දැනගත්ත මේ සද්දේ බල්ලොන්ට පුසොන්ට අහන ඉන්න අමාරුයි කියල. එතන තමයි ආරක්ෂාව හොදම තැන. මු එතන තොර ගත්තා කූඩුවක් හදන්න.

කොහොම හරි එකෙන් උනේ මගේ solar panel  ප්‍රොජෙක්ට් එකට කෙල වෙලා ගිය එක. මම ඉතින්  පරණ පුරුදු විදියට charger එකට ගහල ෆෝන් එක චාර්ජ් කරන්න ගත්ත. කතාව ඉවරයි.

පසුව ලියමි...

මේ සිද්දියෙන් දින කිහිපයකට පසුව එහා කාමරේ ලෙන් පැටවූ දුවනකොට තමයි මම දැනගත්තේ ලේනාත් බැක් අප් ප්ලැන් එකක් අනුව ගෙවල් කීපයක් හදල තියනවා කියල. අපිව ගොනාට අන්දලා ඔර්ජිනල් ගෙදර එහා කාමරේ හදලා.

No comments: