Main Logo

Thursday 21 November 2019

අවස්ථාවාදී පාර්ලිමේන්තු දේශපාලනය


         සිංහල ලිත් ඉලක්කම්




අවස්ථාවාදී පාර්ලිමේන්තු දේශපාලනය


දේශපාලනඥයකු ව නොසිටි ගෝඨාභය දේශපාලනඥයකු විය යුතු නැහැ. ඔහුට තමන්ට සුපුරුදු ආකාරයට කටයුතු කිරීමට ඉඩ දෙන්න ඕන. ඔහු රාජ්‍ය පාලකයකු, නැත්නම් මෙරට සම්ප්‍රදාය අනුව රාජ්‍යයේ භාරකාරයා විය යුතුයි. නීතිය නැවීම, නීතිය කැඩීම ආදිය ඔහුගෙන් බලාපොරොත්තු නොවිය යුතු ය. එහෙත් දේශපාලනඥයන් වැඩ කරන්නේ වෙනත් අයුරකින්. එබැවින්  දේශපාලනඥයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කිරීමට සිදු වී තියෙනවා. අද නව ඇමති මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිතයි. එය පහළොස් දෙනකුට සීමා වීමට යන බවට ආරංචි පැතිරෙනවා. එය සුබ නිමිත්තක්. ගෝඨාභය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ නායකයා. ඔහු සංධානයට ගරු කරාවි.

දින කිහිපයක් කල් මරමින් සිටි රනිල් අද අගමැති කමෙන් අස්වීමට නියමිතයි. එ ජා පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම දුර දිග ගිහින්. එය තවදුරටත් එක්සත් නැහැ. කිසි දිනෙක ජාතික වූයේ නැහැ. එ ජා ප පැරදුණේ මංගල නිසාවත්, රාජිත නිසාවත්, චම්පක නිසාවත් වෙනත් කවුරුන් නිසාවත් නො වෙයි. පරාජය මංගලගේ පිටින් යවන්න බැහැ. ඔහු බෞද්ධයකු නො වෙයි. බෞද්ධයකු යනු පළමුවෙන් ම තිසරණ සරණ ගිය අයෙක්. මංගල දෙසරණ සරණ ගිය අයෙක්. එහෙම අයකු ඉන්න පුළුවන් පස්වග තවුසන් පැවිදි වීමට පෙර පමණයි. මංගලලා රාජිතලා චම්පකලා ගැන කතා කරල වැඩක් නැහැ.


එ ජා ප පැරදුණේ එය බටහිර ගැති පක්‍ෂයක් නිසා. ජාතික මතවාද ශක්තිමත් වන විට බටහිර ලිබරල්වාදයටවත් මාක්ස්වාදයටවත් තැනක් නැහැ. ජ වි පෙරමුණට සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂවලට අත් වූ ඉරණම ම ලැබේවි. වික්‍රමබාහුගේ න ස ස ප අපේක්‍ෂකයාට  හරි පෙරටුගාමී අපේක්‍ෂකයාට හරි ඡන්ද කීයක් ලැබුණා ද කියා හොයන කෙනෙක් නැහැ. ගෝඨාභයට අනෙක් අපේක්‍ෂකයන් සියල්ල ම එකට ගැනීමෙන් පසුවත් වැඩි ඡන්ද හය ලක්‍ෂයක් පමණ තියෙනවා. 

ජ වි පෙරමුණ පැරදුනේ ඇයි කියල අහන එක ම මෝඩ ප්‍රශ්නයක්. ඒ පක්‍ෂය දිනාවි කියල කවුරුන්වත් හිතන් හිටිය ද? ජ වි පෙරමුණට ඡන්ද අඩු වුණේ මොක ද කියල අහන එකත් ඒ වගේ ම ප්‍රශ්නයක්. එහි ඡන්ද ප්‍රමාණය වැඩි වෙයි කියල හිතන් හිටියෙ කවුද? සිංහල බෞද්ධ විරෝධී යන එන මං නැතිව ඉන්න සරසවි ඇදුරන්, සිවල් සාමාජිකයන් ආදී කිහිප දෙනකු එසේ සිතා ඉන්න ඇති. ඒ අය සතපහකට මායිම් කරන්න අවශ්‍ය නැහැ. 

එ ජා පක්‍ෂය විතරයි අද ජාතිකත්වයට විරුද්ධ සැලකිය යුතු පක්‍ෂයකට තියෙන්නෙ. එ ජා පක්‍ෂය උත්පත්තියෙන් ම සිංහල බෞද්ධ විරෝධියි. එය රනිල්ගෙ හරි මංගලගෙ හරි සජිත්ගෙ හරි පෞද්ගලික විරුද්ධතාවකට වඩා පක්‍ෂයෙ විරුද්ධතාවක්. අද සජිත්ගෙ පිරිවර තමයි ගෝඨාභයට විරුද්ධ ව ඉන්න ප්‍රධාන ම පිරිස. ඔවුන් මෙහෙයවනු ලබන්නෙ බටහිරටත් වඩා ඉන්දියාවෙ හා ලංකාවෙ මහාරාජලා විසින්.

සජිත්ගෙ පිරිස කී දෙයක් නම් අපි ආණ්ඩුව දෙන්නම් හැබැයි මැතිවරණයකට යෑමට අවශ්‍ය තුනෙන් දෙක දෙන්නෙ නැහැ කියලා. ඔවුන්ට අවශ්‍ය ගෝඨාභයගෙ ආණ්ඩුව අපකීර්තියට පත් කරල මැතිවරණයකට මුහුණ දීමට. හැකි ඉක්මණින් මැතිවරණයක් පැවැත්වීම සජිත්ලට අවාසියි. ජාතික ව්‍යාපාරයෙත් සමහර අය අද කියනව මැතිවරණයක් දැන් ම අවශ්‍ය නැහැ කියල. ඔවුන් ඉටු කරන්නෙ සජිත්ගෙ වුවමනාව. ඔවුන්ට තමයි අවශ්‍ය වුනෙ මාලිමාව ( ජ වි පෙ මාලිමාව නොවෙයි) අනෙක් පැත්තට හරවන්න. ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනා කළා. බොරු පංඩිත කතාවලින් ඒ යෝජනාව වහන්න බැහැ. ඒ යෝජනාව කෙළෙ කාගෙ වුවමනාවට ද කියන එකත් අප දන්නවා. 

අද ඒ යෝජනාව පිටුපස හිටිය සමහරු සංධානයෙන් ශ්‍රී ල නි පක්‍ෂය ඉවත් කර පොදුජන පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වීමට උත්සාහයක් දරනවා. අද පොදුජන පෙරමුණ හා ශ්‍රී ල නි ප අතර සමගිය තව තවත් තහවුරු කරන්න ඕන. මා හිතනවා මෛත්‍රිපාලට ගෞරවනීය තැනක් ලැබේවි කියා.  

රනිල් අස්වුනත් නැතත් ගෝඨාභයට තිබුණ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්න. 2015 ජනවාරියෙ මෛත්‍රිපාල අගමැති ලෙස රනිල් පත් කෙළෙ දි මු ජයරත්න අස්වුනාට පස්සෙ නො වෙයි. ඒ කාලෙ කවුරුන්වත් කතා කෙළෙ නැහැ දි මු අස්වුනා ද කියල. අස්වෙච්ච බවක් වාර්තා වුනෙත් නැහැ. පස්සෙ අස්වීමේ ලිපියක් ගත්ත වෙන්න පුළුවන්. අගමැති පත් කෙරෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 42(4) අනුව්‍යවස්ථාව අනුව.

"42 (4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.”

මෛත්‍රිපාල 2015 ජනවාරියෙ රනිල් අගමැති කෙළෙත් 2018 ඔක්තෝම්බරයෙ මහින්ද අගමැති කෙළෙත් 42(4) අනුව. ඒ කොහෙවත් කියන්නෙ නැහැ ඉන්න අගමැති අස්වෙන්න ඕන ද නැත් ද කියලා. මහින්ද අගමැති බවට පත් කිරීම කිසිවකු උසාවියෙ අභියෝග කෙළේ නැහැ. උසාවි ගියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ ව. ඕන නම් සුමන්තිරන්ගෙන් අහන්න.  ගෝඨාභයට අවශ්‍ය නම් රනිල් අස් නූනත් මහින්ද අගමැති ලෙස පත් කරන්න තිබුණා.

රනිල් අගමැති කළ පසු මහින්දගෙ පිරිස විශ්වාසභංග යෝජනා ගෙනාවෙ නැහැ. ජ වි පෙ ගෙනාවෙත් නැහැ. ඒත් මහින්ද අගමැති කළා ම ජ වි පෙ එ ජා ප සහාය ඇතිව විශ්වාසභංග ඉදිරිපත් කළා. ගෝඨාභය නව අගමැති නම් කළ පසු එ ජා ප නැවතත් විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩ තියෙනවා. සජිත් විරුද්ධ පක්‍ෂ නායකයා වුනොත් විශ්වාසභංග තවත් වැඩි වේවි. ඒ පසුපස ඉන්දියාවෙ හා ලංකාවෙ මහාරාජලා ඉන්නවා. 

ගෝඨාභය ජනාධිපති වී දිනකින් ඉන්දීය විදේශ ඇමති පැමිණියා. ඒ ඉන්දියාවට පැමිණීමට ආරාධනය කිරීමට. ගෝඨාභය පරෙස්සම් වෙන්න ඕන. ඉන්දියාව බලවත් බව සැබෑව. ඒත් අප ඉන්දියාවෙ පදයට නටන්න ඕන නැහැ. අපේ ප්‍රශ්න අපට විසඳගන්න පුළුවන්. ගෝඨාභය වහාම චීනයේ හා පකිස්ථානයෙ නායකයන් හමුවෙන්න ඕන. අපට කිසිවකු තරහ කර ගන්න ඕන නැහැ.  කිසිවකුගෙ පදයට නටන්න ඕනෙත් නැහැ. 


ජනතාව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරණයෙ දි තීන්දුවක් දී තිබුණත් ගෝඨාභය මාර්තුවට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හරින එකක් නැහැ. ඔහු අකුරට වැඩ කරන තැනැත්තෙක්. අකුරු නවන කෙනෙක් නොවෙයි. ඒත් මාර්තු වෙනකම් එ ජා ප පාර්ලිමේන්තුවෙ දි නොයෙකුත් බාධා ඇති කරාවි. මාර්තු වෙනකම් පාර්ලිමේන්තුව කෙසේ පවත්වා ගෙන යන්නේ ද කියන එක ගැන ව්‍යවස්ථාවට එකඟ ව තීරණයක් ගැනීමට ගෝඨාභයට සිදු වේවි.