සුඛෝපභෝගී සිනමා අත්දැකීමකට – PVR Cinemas

Avatar Nisanka Weheraduwa | November 14, 2019 623 Views 1 Like 3.67 On 3 Ratings

623 Views 3.67 On 3 Ratings Rate it

කොළඹ One Galle Face සුපිරි වෙළඳ සංකීර්ණය ගැන ලංකාවේ බොහෝ දෙනෙක් මේ වෙනකොට දැනුවත්. මෙරට මෙතෙක් නිමවුණු ඇති දැවැන්ත සහ නවීන මාදිලියේ සාප්පු සංකීර්ණයක් වන මෙය වෙනස්ම සහ අලුත්ම අත්දැකීමක් ලාංකීය පාරිභෝගිකයින් වෙත ලබාදීම වෙනුවෙන්ම නිර්මාණය වූවක්. සිනමාවට කැමති සිනමාව රසවිඳින රසිකයින් වෙනුවෙන් මේ සුපිරි සාප්පු සංකීර්ණයේ වෙනමම ඉඩක් වෙන්ව තිබෙනවා. ඒ, අති නවීන සිනමාශාලා පද්ධතියක්. PVR Cinemas ලෙස නම්කෙරුණු මේ සිනමාහල් පද්ධතිය පසුගියදා විවෘත කෙරුනේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ “සුනාමි” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් එදින තිරගත කෙරුනා.

PVR cinemas අති දැවැන්ත ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශන සමාගමක්. ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ සන්නාමයක් වන ඔවුන් ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට One Galle Face සාප්පු සංකීර්ණය තෝරාගෙන තිබෙනවා. එහි අති නවීන පහසුකම් වලින් යුතු සිනමාහල් පද්ධතියක් ශ්‍රී ලාංකික සිනමා රසිකයින් වෙනුවෙන් නිමැවූ බව PVR cinemas India අනුබද්ධ PVR Lanka සමාගම පවසනවා. අති සුඛෝපභෝගී සිනමා අත්දැකීමක් විඳගත හැකිවන පරිදි සකසන ලද PVR LUXE සිනමාශාලාව වඩා සුවපහසු ආසන සහ පහසුකම් වලින් සමන්විත සුඛෝපභෝගී අංශයේ සිනමාහලක්. කුඩා දරුවන් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කළ PVR Play House සිනමාහල ලංකාවට අලුත්ම අත්දැකීමක්. කුඩා දරුවන් ප්‍රියකරන චරිත, පින්තූර ආදිය භාවිතයෙන් අභ්‍යන්තර අලංකරණ කටයුතු සිදුකොට ඇති මෙහි, කුඩා දරුවන් වෙනුවෙන්ම ආසන පවා නිමවා තිබීමත් විශේෂත්වයක්. චිත්‍රපටය කෙරෙහි දරුවන්ගේ අවධානය අඩු වුවහොත් ඔවුනට සෙල්ලම් කළහැකි වන පරිදි, වෙනම play area එකක් සිනමාහල තුළම සකස් කොට තිබෙනවා. මීට අමතරව අති නවීන ඩිජිටල් තාක්ෂණයෙන් නවීන ශබ්ද සංයෝජන තාක්ෂනය ආදිය භාවිත කරමින් නිමවූ සිනමාහල් පද්ධතියක් මෙහි පිහිටුවීමට සමාගම කටයුතු යොදා තිබෙනවා.

“ශ්‍රී ලංකාවේ සිනමාහල් පද්ධතියක් නිර්මාණය කිරීමට අප සමාගමට අවස්ථාව ලැබීම ගැන අපි ඉතාමත් සතුටට පත්වනවා, විශේෂයෙන්ම ඉන්දියාවට බොහෝ සෙයින් සමාන සංස්කෘතික සහ ජන ජිවිත ලක්ෂණ, රුචි අරුචිකම් තියෙන ලංකාවට මේ සිනමාහල් සැළසුම් කිරීම අපට ලොකු පහසුවක් වුනා, විශේෂයෙන්ම ඉන්දියානු සිනමාව, බොලිවුඩ් සිනමාවට වැඩි ඇල්මක් දක්වන රසික පිරිසක් ලංකාවේ සිටීමත් අපට විශේෂයි” යනුවෙන් සමාරම්භක අවස්ථාවේ අදහස් දක්වමින් PVR India සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ Sanjeev Bijli ප්‍රකාශ කළා.

මහල් දෙකකින් සමන්විත වර්ග අඩි 38,454ක භුමි ප්‍රමාණයක නිමවා තිබෙන මේ සිනමාහල් පද්ධතියේ මුළු ආසන ධාරිතාව 1,176ක් පමණ වනවා. නවීන තාක්ෂණයෙන් සියලු විශේෂාංග සහිතව නිමවා ඇති සිනමාහල්, ඔබට කිසිදා අමතක නොවන අපූරු සිනමා අත්දැකීමක් ලබාදෙනු ඇති.

Share

623 Views 3.67 On 3 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.