Thursday, November 7, 2019

පුරවැසියා විමසමින් මාධ්‍ය සදාචාරය ගැන තව දුරටත්


(2019 ‍7නොවැම්බර් 03 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

‘Out of the Dark’ වාර්තා චිත්‍රපටයෙන්
ඉතා අවාසනාවන්ත ලෙස ඒ කුඩා දරුවා මියගොස් ඇති බව දැන් අපි දනිමු. මේ ලිපිය ලියවෙන්නට පෙර දිනයේ දිවා කළ එම පුවත, එනම් කුඩා පටු අගාධයකට ඇද වැටුණු දරුවා මිය ගිය පුවත දැනගත් මොහොතේ මගේ හදවත මොහොතකට නතර වී ගියේ ය. සියල්ලටම වඩා පියෙකු ලෙස මෙවැනි පුවතක් මට දැනෙන්නට පටන් ගන්නේම මගේ අනන්‍ය ලෝකය ආක්‍රමණය කොට පැමිණෙමිනි. කුඩා දරුවන් මුහුණ දෙන අනතුරුවලදී මට මගේ පුතුගේත්, දියණියගේත් මුහුණු මැවෙන්නට පටන් ගනියි. එය ලෝකයේ කවර කෙළවරක සිදුව ඇතත්, ඒ මගේ සේවා ස්ථානයට කිලෝ මීටර 140ක පමණ දුරින් සිටින මගේම පුතු හෝ දියණිය වැනිම දරුවෙකු බවත්, එතැන ද මා වැනිම පියෙකු හා මගේ බිරිඳ වැනිම මවකද වන බවත් හැඟී යන මට බොහෝ කම්පිත සිදුවීම් අසන්නට, දකින්නට ලැබුණු පසු මට මුහුණ දෙන්නට සිදුවන වම් අත වෙතින් එන සියුම් වේදනාව සමග ටික වේලාවකට හෝ ගණුදෙනු කරන්නට සිදු වෙයි.

මෙවැනි සිදුවීමක් එක් එක් අයෙකු හමුවේ ඇති කරන්නේ සාපේක්ෂව වෙනස් කම්පනයන් බව මම දනිමි. ඇතැම් විට ඔබ හඬනු ඇත; සුසුම් හෙළනු ඇත; බර වූ හදින් යුතුව මුහුණින් පිටවන හැඟීම් පාලනය කරගනු ඇත. ඒ කවරක් වුවත්, ඔබ සංවේදී හදවතක් ඇත්තෙකු නම් මේ ඉන්දියානු අනතුර වැනි කුමන ආකාරයක අනතුරකින් හෝ හය හතර නොදන්නා දරුවකු අනතුරේ වැටී ඇති බව දැනගත් විට කම්පාවට පත්වනු ඇත.

මේ පිවිසුම වෙත අද මා නැවත හරවා එව්වේ, ඊයේ සිදුවූ එම ඛේදවාචකය පිළිබඳ රූප සමාජ මාධ්‍ය ජාල හරහා බෙදාගෙන තිබෙනු දැකීමෙනි. මේ පිළිබඳ මෙරට රූපවාහිනී වාර්තා මේ දුටුවේ නැතත්, අදාල දරුවා මියගොස් සිටි ආකාරය වැනි අති සංවේදී රූප සිය ප්‍රවෘත්තිවලට බහාලූ එකදු චැනලයක් හෝ මෙවර මෙරට නොවී යැයි යමෙකු කියන්නට ඉදිරිපත් වනු ඇතැයි මම විශ්වාස නොකරමි. අහම්බෙන් මෙන්, මගේ ජංගම දුරකථන තිරය හරහා මවෙත පැමිණි එවැනි ඡායාරූපයක් පෙර කී කම්පනය මවෙත ඇති කළ අතර යළි සාමාන්‍ය ලෙස වැඩ කටයුතු කරගෙන යනු පිණිස පියවි ලොව වෙත පැමිණීමට මට සැළකිය යුතු කාලයක් ගත විය.

කෙසේ වෙතත්, මේ ඔබ කියවන ලේඛණයට මා පෙළඹවූ කරුණ එම රූප පළවීම පමණක් නොවේ. ඒ සඳහා පසුබිම් වූ කරුණු දෙකකි. පළමුවැන්න, මා යම් කම්පනයක් සහිතව හිඳිනු දැක මගේ සේවා ස්ථාන මිතුරියක මවෙත පැවසූ කරුණකි. දෙවැන්න, ඒ සියල්ල අවසන මට සිහියට නැගුණු වාර්තා චිත්‍රපටයක් සහ ඒ පිළිබඳව පැවති සංවාදයකි. ඒ කරුණු දෙක එකිනෙක හරහා යමින් අද මගේ කුඩා සටහන කෙළවර කරන්නට අවසර දෙන්න!

ඉන්දියානු ඛේදවාචකය පිළිබඳ සටහනක් තබමින් කවරකු හෝ ෆේස්බුක් අඩවිය තුළ දරුවා මියගොස් සිටි ආකාරය දැක්වෙන ඡායාරූපයක් අමුණා තිබුණු අතර මගේ නෙත් අභියස එය දර්ශනය වූ තත්පර කිහිපය, එය මා ඉක්මණින්ම නෙත් අභියසින් ඉවත් කළ නමුත්, මා දැඩි කම්පනයකට පත් කළේ ය. ඉන් සුළු මොහොතකට පසු මවෙත පැමිණි මගේ සේවාස්ථාන මිතුරිය විමසා සිටියේ මගේ වෙනසට හේතුවයි.

“අර ඉන්දියන් කේස් එකේ දරුව නැතිවෙලා. කවුරු හරි දාල තිබුණ ඒකෙ ෆොටෝ එකක්.!“

“කෝ? අනේ අර ළමය? කෝ ඒ ෆොටෝ එක? මට පෙන්නන්න?“

“මොකක්? දැන් ඔයාට ඕනෙ ඒ පුංචි දරුව මැරිල උන්නු හැටි දැක බලාගන්න ද? ඇයි ඒක දකින්න ඕනෙ?“

“ඒ මම ඒ සිද්ධිය දිගටම ෆලෝ කරපු නිසා. මම හොය හොය හිටපු නිසා මොකද වෙන්නෙ කියල!“

දෙගුණ තෙගුණ වූ මගේ කම්පාව මා යොමු කළේ වෙනත් මානයකට ය. දරුවාගේ සිද්ධිය පිළිබඳ ප්‍රවෘත්තිය එහි අවාසනාවන්ත කෙළවර පිළිබඳ ප්‍රවෘත්තිමය වටිනාකම මගින් පරිපූර්ණ කොට ‘තමන්ගේ කතාව‘ සම්පූර්ණ කරගැනීමේ පිපාසාවකින් මගේ මිතුරිය පෙළෙයි. එවැනිම ‘ප්‍රවෘත්තිමය වටිනාකම්‘ සෙවූ, නොඑසේනම් මේ රූප(ය) හා සිදුවීම පිටුපස ඇති මානව සබඳතා හා අසීමිත වේදනා නොතකා හළ සහ ඒ දැකීමෙන් තවෙකකු වෙත ඇති විය හැකි කම්පනය පිළිබඳ තුට්ටුවකට මායිම් නොකළ ඒ හා සමාන පිරිසක් මෙම රූප සිය ෆේස්බුක් අවකාශය හෝ වෙනත් සමාජ ජාල අවකාශයක බෙදා හරමින් ‘තමන්ගේ කතා‘ කියමින් හෝ ලියමින් සිටිති.

මේ හා සමග මතකයට නැගුණු වාර්තා චිත්‍රපටය හා සංවාදය මට මුණගැසුණේ පසුගිය ඔක්තෝබර් මස 16 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ පදනම් ආයතනයේ පැවති ‘මිනි-ඉන්පුට්ස්‘ (MINI-INPUTS) රූපවාහිනී සමුළුවේ දී ය. ජර්මානු සංස්කෘතික ආයතනය හා ජාතික රූපවාහිනිය එක්ව ගෙන ආ, තායිලන්තයේ බැංකොක් නුවර පැවති ‘ඉන්පුට්ස්‘ රූපවාහිනී සමුළුවේ ලාංකිකව වූ මෙම සමුළුව, රූපවාහිනී තිර අවකාශය වඩා විධිමත්ව භාවිතයට කැඳවීමට හැකි ආකාර පිළිබඳ උදාහරණ ගණනාවකින් සමන්විත විය. එහි දෙවැනි දිනයේ උදෑසන තිරගත කෙරුණේ තායිලන්තයේ තම් ලුආන්ග් ගුහාවේ දින 18ක් සිරවී උන් කණිෂ්ඨ පාපන්දු පිළක් ගලවා ගැනීමේ මෙහෙයුම පසුබිම් කොට තැනුණු ‘Lost – Find – Found – Survive - Strive’ නමැති තායිලන්ත වාර්තා චිත්‍රපටය සහ ‘Out of the Dark’ නමැති ඕස්ට්‍රේලියානු වාර්තා චිත්‍රපටයයි. එම චිත්‍රපට පසුබිම්ව තබමින් සාකච්ඡාවට ගැනුණේ යමක් වාර්තා කිරීම පිළිබඳ ඇති ප්‍රවේශ මාර්ග පිළිබඳ, ඒ පසුපස ඇති සංවේදී කරුණු පිළිබඳ මෙන්ම සදාචාරය පිළිබඳ කරුණුයි. එහිදී නැගී සිටි එක් විශ්වවිද්‍යාල සිසුවෙක් කී කරුණක් මට හොඳින් මතක ය.

“මේ චිත්‍රපට දෙකේම අපි දැක්කෙ නෑ ගුහාවෙ හිරවෙලා හිටපු ළමයින්ගෙ අම්මලගෙ කඳුළු හොයන රූප. එයාලගෙ වේදනාව අල්ලන අති-සමීප රූප. ඔය වැඩේ මෙහෙ වුණානම් ඒක වෙනවමයි. ඒ විතරක් නෙවෙයි සිද්ධිය වාර්තා කරන්න ගුහාව ඇතුළට එයාලට යන්න තියෙන අයිතිය අහුරනව කියල ගුහා දොර ඉස්සරහ විරෝධයකුත් පටන් ගනියි.“

ගලවාගැනීමේ මෙහෙයුම වෙත මෙම චිත්‍රපට දෙක සිය දෘෂ්ටි කෝණ එල්ල කොට ඇති ස්වභාවයන්ගේ වෙනස්කම් පිළිබඳ සමුළුවට සහභාගි වූ බොහෝ අයගේ විමසුම් ඇස් එල්ල වුව ද, විශේෂයෙන් දෙවැනි චිත්‍රපටය තුළ ගලවාගැනීම සඳහා පැමිණි විදේශීය විශේෂඥයින්ගේ සාකච්ඡා සඳහා ලබා දී තිබුණු වැඩි ඉඩ ආදිය පිළිබඳ අවධානය යොමු වුව ද ‘වේදනාව අලෙවි නොකිරීමටත්‘ එමෙන්ම ‘පාපන්දු කණ්ඩායමේ දරුවන්ගේ අනන්‍යතාවට ගරු කිරීමටත්‘ නිර්මාණකරුවන් ගෙන තිබුණු පියවර ගැන පැවතියේ ගෞරවනීය ඇගයුමකි.

යහපත් මාධ්‍ය භාවිතයක දී, විශේෂයෙන් මරණය, අහිමිවීම ඇතුළු වේදනාත්මක හා සංවේදී කරුණුවලදී රැකිය යුතු සදාචාරය අවම වශයෙන් හෝ අප අභියස වන දේශීය මාධ්‍ය බහුතරයක නොමැති වීම කණගාටුවකි. එමගින් බිහිකරන අසංවේදී පුරවැසියා ද සිය සදාචාර රාමු ඉවත් කරමින් සිටියි. මරණය හා/හෝ අහිමිවීම ඔවුන්ගේ ෆේස්බුක් පෝස්ටුවක තවත් ‘ලයික්‘ කැඳවන යමකි. තවකකුට එය දැකීම සිය ප්‍රවෘත්තිය පිළිබඳ සෙවීම පරිපූර්ණත්වය කරා ගෙන යාමකි.

අප යළි යළිත් අපගේ සමාජය වෙතින් දියව යන සංවේදීතාව ගැන අවධානය යොමු කළ යුතුව පවතී. මක් නිසා ද යත්, අපට අභිමුඛව තිබෙන්නේ දෙපාර්ශවයේ මරණ සංඛ්‍යාව අංකවලින් මැන සතුට වීමට හෝ දුක් වීමට පුරුදුව උන් සමාජයේ දසවසක නිද්‍රාශීලී සමයක කෙළවර හමුවන සමාජය බැවිණි. බෝම්බයකින් මැරෙන හා සුදු වෑන්වලින් පැහැරගෙන අතුරුදන් කෙරෙන පුද්ගල සංඛ්‍යාව සසඳා, කිරා මැන, අඩු අංකය දෙස බලා, නායකයා තෝරාගන්නට යෝජනා ගෙන එන්නේත් ඒ සමාජයම ය.

-          ප්‍රියන්ත ෆොන්සේකා -     

No comments:

Post a Comment