සජිත් එක්ක යළි කරළියට ආ තිස්ස අත්තනායකගේ 2015 මහා පාවාදීම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරණ ව්‍යාපාරයත් සමග කරළියට ආ චරිතයකි තිස්ස අත්තනායක.
Translations by Creative Content Consultants
තිස්ස අත්තනායක හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයකු වූ ඒ.එම්.ආර්.බී. අත්තනායකගේ පුත්‍රයා ලෙස දේශපාලනයට පිවිසි අයෙකි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, ලේකම් ආදී තනතුරු හෙබවූ ඔහු 2015 ජනවාරි මාසයේදී ජනාධිපතිවරණයේ උච්ච ම අවස්ථාවේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වූයේ ය. ඔහුගේ එක් වීමෙන් පසු සජිත් ප්‍රේමදාස ද මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වීමට නියමිතව තිබූ බව වාර්තා වූ මුත් එය සිදු වූයේ නැත. තිස්ස අත්තනායකට දින කීපයකට පමණක් සෞඛ්‍ය ඇමතිකම හිමි විය.
2015 ජනවාරි 8 ජයග්‍රහණය පාවා දීමට උත්සාහ කළ ප්‍රබල ම චරිතය තිස්ස අත්තනායක ය. ඔහු විසින් කරන ලද ඉතා ම නින්දිත ක්‍රියාව වන්නේ එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතර රට බෙදීමේ රහසිගත ගිවිසුමක් පවතින බවට සඳහන් කූඨ ලේඛනයක් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රදර්ශනය කිරීමයි. තිස්ස අත්තනායකට නඩු පවරනු ලැබුවේ එමගින් ජාතීන් අතර සුහදතාව කඩාකප්පල් කිරීමට ක්‍රියා කිරීම තුළින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළීබඳ ප්‍රඥප්තිය පනත යටතේ ය.
දැන් මෙම ඉතිහාසය මකාදැමීමට උත්සාහ කරන තිස්ස අත්තනායක පසුගිය දිනෙක මව්බිම පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී තමන් නිරපරාදේ සිරගත කරන ලද දේශපාලන සිරකරුවකු බව පෙන්වීමට උත්සාහ කළේ ය. තමන් මාස දෙකක් සිරගත කරගෙන සිටි බව ද, අවසානයේ නඩුව ද අස් කරගත් බව ද ඔහු පවසයි.
ඇත්තෙන් ම සිදු වූයේ එය නොවේ. තිස්ස අත්තනායකගේ නඩුව සම්බන්ධයෙන් ගැටලුසහගත සම්මුතියකට එළඹුණු බව පෙනේ.
එහිදී සිදු වූ දෙය රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාවක දැක්වෙන්නේ මෙසේ ය:
තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් නඩුවට පාදක වී තිබෙන ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් පැමිණිලිකාර රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ට  යම් අපහසුවක් හෝ පාඩුවක් සිදුවී තිබේ නම් ඒ සම්බන්ධයෙන් විත්තිකරු සමාව අයද සිටින බවත් මින් මතුවට විත්තිකරු මේ ආකාරයේ ලේඛන ඉදිරිපත් කිරීමක් නොකරන බවටත් ප්‍රකාශ කර සිටියා.
එම දැනුම් දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විරෝධය පළ කළේ නැහැ.
මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ වගකිවයුතු පුද්ගලයින් මාධ්‍ය ඉදිරියේ යම් ප්‍රකාශයක් සිදු කිරීමට පෙර එහි බරපතළ භාවය පිළිබඳ තේරුම්ගෙන ඒවා සිදු කිරීම වැදගත් වන බවයි.
කෙසේ වෙතත් මෙම නඩුව සම්බන්ධයෙන්  විත්ති සහ පැමිණිලි පාර්ශවය අතර යම් සංහිඳියාවක් ගොඩනැගී ඇති බවත් විත්තිකරු මෙම වරද සම්බන්ධයෙන් පශ්චාත්තාප වීමක් සිදුවන බව පෙනී යන හෙයින් මෙම නඩුව අධිකරණයේ අභිමතය පරිදි අවසන් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා  අධිකරණයට දන්වා සිටියා.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නඩු විභාගය අවසන් කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකාර තිස්ස අත්තනායක මහතා නිදහස් කිරීමට නියම කළා
තිස්ස අත්තනායකට එරෙහිව නඩු පැවරුවේ නීතිපතිවරයා මිස රනිල් වික්‍රමසිංහ හෝ මෛත්‍රීපාල සිරිසේන නොවේ. තිස්ස අත්තනායකගේ කූට ලේඛන නිසා අගතියට පත් වූයේ ද ඒ දෙපළ නොව මෙරට ජනතාවයි. ජනතාව අතර ඇති වාර්ගික සමගියයි. ඔහුට නඩු පවරා තිබුණේ ද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත යටතේ ය. එය නිකම් කූඨ ලේඛන නඩුවක් නොවේ. මෙම අපරාධ ක්‍රියාව හේතුවෙන් අගතියට පත් මහජනතාව අධිකරණය ඉදිරියේ නියෝජනය කළ යුතුව තිබුණේ ගරු විනිසුරුවරයා විසින් ය. දේශපාලකයන්ට තමන්ගේ යහළුවන් අතින් සිදු වූ වැරදි සම්බන්ධයෙන් එකිනෙකාට සොරි කියාගන්නට තිබෙන පහසුව මෙතනදී අදාළ ද?
තිස්ස අත්තනායක තම නින්දිත, දූෂිත, ජඩ පාවාදීම සම්බන්ධයෙන් පවසන තවත් කාරණයක් වන්නේ තමන් මහින්ද රාජපක්ෂ සමග එකතු වූයේ එක්සත් ජාතික පක්ෂයේ නොවන අයකු ජනාධිපති අපේක්ෂකත්වයට පත්කිරීමට තමන් විරුද්ධ වූ නිසා පක්ෂයෙන් ඇති වූ පීඩනය නිසා තමන් විෂාධ තත්වයකට පත් වී සිටි නිසා බවයි.
දැන් මේ තිස්ස අත්තනායක සජිත්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ ලොක්කකු ලෙස පෙනී සිටියි. සජිත්ගේ ප්‍රධාන දේශපාලන සටන් පාඨයක් වන්නේ තමන්ගේ ඇමති මණ්ඩලයක දූෂිතයන්ට ඉඩක් නැති බවයි.
සජිත් ප්‍රේමදාස ජනාධිපති වීමට තිබෙන ඉඩකඩ හමුවේ මෙම ඉතිහාසය මතක් කරමින් අපට අසන්නට තිබෙන ප්‍රශ්නයක් වන්නේ වාර්ගික සමගිය නැති කිරීමට හේතු වන බරපතල අපරාධකාරී ක්‍රියාවකට සම්බන්ධ, එක්සත් ජාතික පක්ෂය නින්දිත ලෙස පාවාදුන් පුද්ගලයකු වන තිස්ස අත්තනායක ද ඔහුගේ අනාගත කැබිනට්ටුවේ සිටී ද යන්නයි.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා