Main Logo

Wednesday 16 October 2019

ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ ගෝඨාභය අවුරුද්දකින් යැවීමට ද ?

         සිංහල ලිත් ඉලක්කම්   




ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ ගෝඨාභය අවුරුද්දකින් යැවීමට ද ?





ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලැබුයේ ජාතියේ අපේක්‍ෂක ලෙස. එයට මුල් වූයේ ජාතික ව්‍යාපාරය බව මා කියන්නේ ඒ සම්බන්ධයෙන් කටයුතු කළ වෙනත් අයට අගෞරවයක් ලෙස නො වෙයි. එහෙත් එයින් කියන්නේ නැහැ ජාතික සංවිධාන සියල්ල ඒ මතයේ සිටි බව. ඒ කෙසේ වෙතත් අද ජාතික සංවිධාන සියල්ල පිළිගන්නවා ගෝඨාභය ජාතික අපේක්‍ෂක ලෙස. එය හොඳ ප්‍රවණතාවක්.




එමෙන් ම ජාතික ව්‍යාපාරය තමයි පොදුජන පෙරමුණත් ශ්‍රී ල නි පක්‍ෂයත් එකතු විය යුතු බව කිව්වේ.  2015 පෙබරවාරි මස 12 වැනි දා  ජාතික බලය සංවිධානය මහින්ද නැති රට මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්තුවා. ඒ නුගේගොඩ පැවති මහින්ද සුලඟ රැස්වීමට පෙර. ජාතික බලය සංවිධානයේ රැස්වීමේ දී රනිල් ඉවත් කළ යුතු ය යන අදහස ඉදිරිපත් වුණා. ඒ අදහස තමයි වර්ධනය වී රනිල් ඉවත් කර මහින්ද අගමැති කළ යුතු ය, රනිල් ඉවත් කිරීමට මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතු ය යන්න ඉදිරිපත් වුණෙ. එව බලව, ජාතික බලය වැනි සංවිධාන අද සිහල සෙනග ලෙසත් කටයුතු කරනවා.



රනිල් පසුගිය ඔක්තෝම්බරයේ ඉවත් කෙරුණා. මහින්ද අගමැති වුණා. ඒත් ඔහු එහි රඳවා ගනු ලැබුණේ නැහැ. නැවතත් රනිල් අගමැති වුණා. අද ජනාධිපතිවරණය ඇවිත්. මෙවර ගෝඨාභය ජනාධිපති විය යුතුයි. ඒ සඳහා ශ්‍රී ල නි පක්‍ෂය, ම එ පෙ, ජා නි පෙ, පිවිතුරු හෙළ උරුමය වැනි පක්‍ෂ සමග ආරවුල් හදා ගන්නෙ නැතිව පොදුජන පෙරමුණ කටයුතු කරන්න ඕන. ඒ පක්‍ෂ කරපිංච නොවන බවත් ඔවුන් නැතිව බලයට පත් විය හැක්කේ දෙමළ ජාතිවාදීන්ට හා මුස්ලිම් අන්තවාදීන්ට කප්පන් දීමෙන් පමණක් බවත් පොදුජන පෙරමුණ තේරුම් ගන්න ඕන.  ඉදිරියේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේ ලැයිස්තුගත වීම සඳහා ජනාධිපතිවරණය පාවා නොදිය යුතුයි.



ඉතා පැහැදිලි ව අසිංහල ඡන්ද කුට්ටි ලබා ගැනීමේ ගණුදෙනු (ඩීල්) දේශපාලනයට නොගොස් පොදුජන පෙරමුණට ශ්‍රී ල නි පක්‍ෂය හා අනෙක් ජාතික හා වාම කේන්ද්‍රීය පක්‍ෂ සමග සහයෝගයෙන් ජනාධිපතිවරණයේ දී මුළු ඡන්දවලින් 50%ක් හා එකක් ලබා ගන්න පුළුවන්.  ඇල්පිටියේ ප්‍රාදේශීය සභා ඡන්දයේ දී පොදුජන පෙරමුණට හා ශ්‍රී ල නි පක්‍ෂයට 69%ක ඡන්දයක් ලැබුණා. ඇල්පිටිය සිංහල ජනතාව බහුතරය වූ ප්‍රදේශයක්. අනෙක් ප්‍රදේශවල සිංහල ජනතාව මෙයට වඩා වෙනස් වෙන්නේ නැහැ. 



සිංහලයන්ගේ ඡන්දවලින් 70%ක් ගන්නා පක්‍ෂයට මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 53%ක පමණ ඡන්දයක් ලබා ගන්න පුළුවන්. ඇල්පිටියේ දී පොදුජන පෙරමුණ හා ශ්‍රී ල නි පක්‍ෂය සිංහල ඡන්දවලින් 69%ක් ලබා ගෙන එසේ කිරීමට නොහැකි යැයි කී කොළපාට සමාජ කාරයන් වැරදි බව පෙන්නුවා.



පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේ දී පොදුජන පෙරමුණට හා ශ්‍රී ල නි පක්‍ෂයට 56%ක ඡන්දයක් ලැබුණා. එහි දී දෙමළ කතා කරන ජනයාගේ ද මුස්ලිමුන්ගේ ද ඡන්ද යම් ප්‍රමාණයක් ලැබුණු බව අමතක නොකළ යුතුයි. අප දෙමළ කතා කරන ජනයාගේ හා මුස්ලිම් ජනයාගේ ඡන්ද ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. අප කියන්නේ දෙමළ ජාතිවාදී හා මුස්ලිම් අන්තවාදී දේශපාලනඥයන්ගේ ඡන්ද කුට්ටි දේශපාලනයට  යට නොවිය යුතු ය කියන එකයි.



ශ්‍රී ල නි පක්‍ෂයේ හා අනෙක් ජාතික හා වාම කේන්ද්‍රීය පක්‍ෂවල සහාය ලබන ගෝඨාභයට 50%කට වැඩි ඡන්දයක් ලබා ගන්න පුළුවන්. එහෙත් පක්‍ෂ අතර සමගිය තිබිය යුතුයි. එය තමයි පූර්ව කොන්දේසිය.  දෙමළ කතා කරන ජනයාට දෙමළ නිසා ම පමණක් ඇති ප්‍රශ්නය, අසාධාරණය කුමක් ද කියා අප අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ අසන ප්‍රශ්නයට තවම පිළිතුරක් නැහැ.



දෙමළ ජාතිවාදී නායකයන් හා මුස්ලිම් අන්තවාදීන් බලය බෙදන්නේ කිනම් ප්‍රශ්නයකට විසඳුමක් හැටියට ද කියන්න දන්නෙ නැත්නම් අපට බලය බෙදීමක් ගැන කතා කරන්නවත් වුවමනාවක් නැහැ. බැසිල් රාජපක්‍ෂ හා ජාතික විද්වද් භික්‍ෂු සංසදය මාලිමාවෙන්  කුමක් කීවත් මොන කොන්දේසියක් යටතේවත් ඒකීය රටක උපරිම වශයෙන් නොව අවම වශයෙන්වත් බලය බෙදන්න බැහැ.  ඒකීය රටක විධායක බලය එක් ආයතනයකින් හා ව්‍යවස්ථාදායක බලය එක් ආයතනයකින් පමණක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ බලය එක එක ආයතනවලට, පළාත් සභාවලට, පළාත් පාලන ආයතනවලට බෙදන්න බැහැ. එහෙම බෙදුව ගමන් එතැන තියෙන්නේ යම් ආකාරයක සන්ධීය රාජ්‍යයක්.



අද ලංකාවෙත් තියෙන්නෙ සන්ධීය රාජ්‍යයක්. දහතුන්වැනි සංශෝධනයෙන් රටට සන්ධීය රාජ්‍යයක් ලබා දුන්නා. 154 G(2) අනුව්‍යවස්ථාව සම්මත කර ගන්න නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ශ්‍රෙෂ්ඨාධිකරණ  විනිශ්චයකරුවන් නවදෙනකුගෙන් පස්දෙනකු කිව්වා. ඒ එම අනුව්‍යවස්ථාව අනුව ඒකීය රාජ්‍යය අහෝසි වෙන නිසා. එහෙත් අද රනිල් කරන්නාසේ ම එදා ජේ ආර් ජයවර්ධන උප්පරවැට්ටි මගින් ජනමත විචාරණයක් නොපවත්වා දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තා. මෙරට රාජ්‍යය ඒකීය වීමට නම් මේ ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුයි.



අප කියා සිටින්නේ පළාත් සභා අහෝසි නොකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරනු යනුවෙන්. මෙය සෘජු කියමනක්. මෙයින් කියැවෙන්නේ නැහැ පළාත් සභා අහෝසි කර විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න කියලා.  ජාතික විද්වද් භික්‍ෂු සංසදය තම මාලිමාවෙන් කීවත් පළාත් සභාවල සංයුතිය, එයට මන්ත්‍රීන් පත් කර ගන්නා ආකාරය වෙනස් කිරීමෙන් පමණක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බලපත්‍රයක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේලා ව්‍යවස්ථාදායක හා විධායක බලය පළාත් සභාවලටත් පහතින් ඇති පළාත් පාලන ආයතනවලට උපරිම වශයෙන් විමධ්‍යගත කිරීමට යෝජනා කරනවා. එය අති භයානකයි.  මාලිමාව ගැන විවේචනයක් පසුව පළ කරනවා.



පළාත් සභා අහෝසි කළත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු නැහැ. අප මේ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමටත් කියන්නෙ නැහැ. මේ පාර්ලිමේන්තුවවත් ඊළඟට පත් වෙන පාර්ලිමේන්තුවවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තරම් සුදුසු තත්වයක නැහැ. අප නව ආකල්ප සහිත පාර්ලිමේන්තුවක් තව වසර කිහිපයකින්වත් පත් කර ගන්න ඕන.



එතෙක් කළ යුත්තේ ඒ ආකල්ප සහිත පුද්ගලයන් පුහුණු කිරීමත් දහතුන, දහනවය වැනි ව්‍යවස්ථා සංශෝධන අහෝසි කිරීමට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමත්. තව අවුරුදු දහයකටවත් ගෝඨාභය විධායක ජනාධිපති ව සිටිය යුතුයි. ඒ අර නව ආකල්ප සහිත පාර්ලිමේන්තුවක් බිහි කිරීමටත් එක්ක. ඒ කියන්නෙ තව අවුරුදු දහයකටවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු ය යන්නයි. 



ගුණදාස අමරසේකර කියන සභ්‍යත්ව රාජ්‍යය මාටින් යක්ගෙ සභ්‍යත්ව රාජ්‍යයෙන් වෙනස්. එසේ වීමට හේතුව අමරසේකරට යක්ගෙ සංකල්පය හරි හැටි නොතේරීම. එහෙම වුණත්  අමරසේකර ඊනියා සභ්‍යත්ව රාජ්‍යයක විධායක ජනාධිපති ධුරය ගැන කියන්නේ මෙහෙම දෙයක්. “ඉන් පළමු වැන්න නම් අප ගේ සභ්‍යත්ව රාජ්‍යයේ මුලික අංගයක් වූ රාජ්‍යත්වයට (රජු ගේ පදවියට) සම වන විධායක ජනාධිපති ධුරයක් නිර්මාණය වීමයි (සභ්‍යත්ව රාජ්‍යය කරා 44වැනි පිටුව). “විධායක ජනාධිපති ධුරයේ අවශ්‍යතාව මේ අයුරින් ජනතා සිත් සතන් තුළට ප්‍රවිශ්ට වීම සභ්‍යත්ව රාජ්‍යය කරා යන ගමනට අත් වූ ඉමහත් පිටුවහලක් ලෙස මම දකිමි (එම 46වැනි පිටුව)”.  අද සභ්‍යත්ව රාජ්‍යය කරා යන ඇතැමුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උද්ඝෝෂණය කරන්නේ අමරසේකරට හොරෙන් ද? එහෙමත් නැත්නම් අමරසේකර තම අදහස් වෙනස් කර ගෙන ද?


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යැයි කෑ ගසන්නේ ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු ඔහු ගෙදර යැවීමට ද? මෛත්‍රිපාල සිිරිසේන ජනාධිපති පදවියට පත් වුණේ වසර හයකට. එහෙත් ඔහුට වසර පහකින් ධුරයෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඒ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා. ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු විධායක ජනාධිපති ධුරය අහෝසි කර සිරිසේනගේ පූර්වාදර්ශය ගනිමින් ඔහුට අවුරුද්දකින් ගෙදර යෑමට කියාවි ද? ගෝඨාභය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තැත් කරන්නන්ගෙන් පරෙස්සම් වෙන්න ඕන.