වැස්සට ආදරේ හිත්

Share

වැස්සට පුළුවන් හැම හදවතකටම තට්ටු කරන්න. හිත් පත්ලෙම තියන නිදිගත් මතකයන් අවදි කරන්න. ගිනි අව් කාෂ්ටකයේ කර වෙද්දි වහිනව නම් හොඳයි කියල කියන මිනිසුන්ම එක දිගට වහිනකොට ඒ වැස්සට බනිනව මේ ජරා වැස්ස පායන්නෙම නෑනේ කියනවා. වැස්ස පායල අව්ව වැටෙනකොට සතුටු වෙන මිනිසුන්ම තමයි ආයෙත් අව්වට බැන බැන වැස්සට අඬගහන්නෙත්…

ඒත් වැස්ස එක්ක අපේ ජීවිත සුන්දර විදියට බැඳිලා තියනව නේද කියල වැස්ස වෙලාවට නිවී සැනසිල්ලෙ වැස්ස දිහා බලන් ඉන්න කෙනෙකුට විතරමයි හිතෙන්නෙ. වැස්සට ආදරේ කරන හිත් වගේම වෛර කරන හිත් තියනව මේ ලෝකෙ. වැස්ස අජීවී වුණත් වැස්ස එක්ක ජීවමාන වුණ මතකයන් අපේ හිතේ නොහිතනා ඉසව්වක සැඟවිලා තියෙන්න පුළුවන්. ඒ මතකයන් අවදි කරන්නත් පුළුවන් වැස්සකටම විතරයි.

අපේ ජීවිත වල සමහර චරිත ජීවත් වෙනවා වැස්ස නිසාම. වැස්ස නිසා හමුවුණ සමහරු අපේ ජීවිත කුණාටුවකට හසුකර දැමුවා නේද කියල හිතෙන අයත් මේ ලෝකෙ ඉන්නවා. ඒ අය වැස්සට වෛර කරනවා වෙන්නත් පුළුවන් තමන්ගෙ ජීවිතේට වැරදි කෙනෙක් මුණගැස්සුව කියල. සමහරුන්ට වැස්ස නිසාම ජීවිතේට වසන්තය උදාවෙනවා. ඔවුන් හැමදාමත් වැස්සට ආදරය කරනවා, ස්තූති කරනවා තමන්ගෙ ජීවිතය නිවැරදිම කෙනාව මුණගැස්සුව කියලා.

ඒ අතරෙ එහෙම හේතුවක් නැතිවම වැස්සට ආදරේ කරන අය ඉන්නවා. උණුසුම් කෝපි කෝප්පයක්, ෂර්ලොක් හෝම්ස් පොතක් එක්ක වැස්සේ තනි වෙන්න කැමති හිත් තියනවා. ඒත් මේ ලෝකෙ එහෙම හිත් විතරක් නෙවෙයි තියෙන්නෙ. හොඳටම වහිනවට සමහර හිත් කැමතියි සීතලේ ගුලි වෙලා ඔළුවෙ ඉදන් කකුල් දෙක වැහෙනකන්ම රෙද්දක් පෙරවගෙන නිදාගන්න.

සමහර හිත් කැමතියි වැස්සෙන් නාන්න අම්මගෙන් නැත්නම් තමන් ආදරේ කරන කෙනෙක්ගෙන් බැනුම් අහන අතරතුරේ. වැස්සේ නාන එකේ සතුට සහ ඒ හැඟීම දන්නේ වැස්සේ නාපු කෙනෙක්ම තමයි ඉතින්. වැස්සේ නාන්න පටන්ගත්ත ගමන්ම වැස්ස පෑව්වොත් දැනෙන ඒ හැඟීම හිතට අකුණක් ගැසුවා වැනිය. අම්මාට හොරෙන් වැස්සේ නෑමට එලියට පැමිණි පසු අම්මා තමන් එලියේ බව නොදැන දොරගුළු දැමූ විට වැස්සේ නෑමෙන් පසු අම්මාට කතාකර දොර විවර කර ගැනීමට සිදුවන කුජීත මොහොතක දැනෙන ලැජ්ජා සහගත හැඟීමත් අම්මාගේ බැනුම් වැස්සත් පසුව සුන්දර මතකයක් ලෙස ඉතිරි වනු ඇත. වැස්සට ආදරේ කරන හිතකට මෙවැනි සොඳුරු මතක වැස්සක් හිමිය.

වැස්සට වෛර කරන සිත් ගැන මා නොදනිමි. මන්ද මා කිසිදිනක වැස්සට වෛර කර නැත. මේ අතරේ ඇතමුන් වැස්ස අවස්ථාවන් වලදී කුඩයක් නොමැතිව මහත් අපහසුතාවයට ලක්වන අතර ඇතමුන් ලඟ කුඩයක් තිබුණ ද එම කුඩය වැස්සට තෙමීමට අකැමති නිසා ඔවුන් අපහසුතාවයට පත්වේ. කුඩයක් ලඟ තබාගෙන වැස්සේ තෙමීම වෙනම ආතල් එකකි. වැස්සේ තෙමෙමින් ගොස් නිවසේ දොරට තට්ටු කිරීමට පෙර කුඩය ඉහලා ගෙන අම්මා දොර විවර කරන තෙක් සිටීම ද හිතට ගෙනෙන්නේ අමුතුම සතුටකි. අම්මාට එවිට ඇති ලොකුම ගැටලුව කුඩය දමාගෙන ඇවිල්ලත් මෙච්චර තෙමුණේ කෙලෙස ද යන්න අතර ඔබට පිහිටට අධික සුළඟ ඇති බව මතකයේ තබාගන්න. වැස්සේ අයිස් පැකට් බීම වෙනම ආතල් එකකි. සියලුම ගොන් වැඩ කර ගෙදරට පැමිණීමට පෙර ඒවා ගෙදරට ආරංචි වී තිබීමත් ගෙදර අය ඒ කිසිත් නොදන්නා ලෙස ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කිරීමත් ඒවාට හොඳින් පිලිතුරු සපයන තෙක් ඉවසා සිටිනා අම්මා අනතුරුව පවත්වන දේශනයත් කොතරම් සුන්දර ද යන්න පසුකාලීනව තේරුම් යන සත්‍යයකි.

වැස්ස වෙලාවට කඩදාසි ඔරු සාදා වතුරේ පා කර යැවීම ද දැන් බොහෝ දරුවන්ට මඟහැරී ඇති සොඳුරු අත්දැකීමකි.ලොකු කුඩා භේදයකින් තොරව වැස්සට ආදරේ කරන හිත් ලෝකයේ සෑම තැනකම විසිරී ඇත. වැස්සේ අයිස්ක්‍රීම් කෑමට ප්‍රිය කරන හිත් මෙන්ම ලෙඩ වීමට ඇති බිය නිසා වැස්සේ ආශ්වාදය මඟහරින සිත් ද ඇත. වැස්ස අපට ආශිර්වාදයකි. වැස්ස වෙලාවට කම්මැලිකමට මුකුත් නොකර වැස්ස දිහා බලා හිඳීමට කැමති හිත් මෙන්ම හිතින් වැස්සට ආදරය කරන නමුත් එය නොපෙන්වා සිටින හිත් ද ලෝකයේ කොහේ හෝ තැනක ඇත.

වැස්සට ආදරය කිරීමට නොහැකි වූවාට කම් නැත. වැස්සට වෛර නොකරන්න. මන්ද වැහි බිංදු එකතු වී ඔබගේ ජල අවශ්‍යතාව සපුරන අතර ජලය නොමැති ජීවයක් නොමැති බව ද සිහියේ තබාගන්න. වැස්සේ සුන්දරත්වය විඳින සොඳුරු හිත් ලඟට අඳුරු වලාවන් පැමිණිය හැකිමුත් අධික සුළඟ ඔබගේ සහයට සිටින බව මතකයේ රදවා ගන්න.

 
Tagged : /