Main Logo

Saturday 28 September 2019

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම

       සිංහල ලිත් ඉලක්කම් 


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම  

ජාතික ව්‍යාපාරය විජාතික කිරීමට ඇතැමකු කටයුතු කරනවා. අද වන විට ජාතික ව්‍යාපාරය ශක්තිමත් නැහැ. ඒත් ජාතික ව්‍යාපාරය ගෝඨාභය සමග ඉන්න එක මේ අවස්ථාවේ දී විශේෂයෙන් ම සජිත් විජාතික බලවේගවල අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින විට වැදගත් වෙනවා. සජිත් එක්තරා ආකාරයකට ජනතාවත් සමග ඉන්න පුද්ගලයකු ලෙස ඉස්මතු වෙනවා. රනිල් මෙන් නොව සජිත් ජනතාවට සමීපයි


ජාතික ව්‍යාපාරයේ තවමත් මාක්ස්වාදී ස්ථාවර දරණ අය ඉන්නවා. ඔවුන් කටයුතු කරන්නේ ජාතිකත්වයට වඩා මාක්ස්වාදයට පක්‍ෂපාතීව. ජාතික ව්‍යාපාරය දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසුව විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ තම අදහස වෙනස් කර ගත්තා. අද වන විට ජාතික ව්‍යාපාරයේ මතය වනුයේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරනු යනුයි. 

මා හිතන විධියට ගෝඨාභය දරන්නේත් ඒ මතයයි. එහෙත් පොහොට්ටුවේ ඇතැමුන් දෙමළ කතා කරන ජනයාගේ ඡන්ද බලාපොරොත්තුවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සූදානම්. අප තේරුම් ගත යුතු කරුණ නම් දෙමළ ජාතික සන්ධානය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැමති ඇයි ද යන්නයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන්න දෙමළ ජාතිවාදී පක්‍ෂවල ඉල්ලීමක්. ජේ ආර් ජයවර්ධන ඇති කළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එ ජා පක්‍ෂය කැමති වන්නේ ඇයි ද යන්නත් අප විමසා බලන්න ඕන

එ ජා පක්‍ෂයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය ඔවුන් දෙමළ ජාතික සංධානය සමග කිට්ටුවෙන් වැඩ කරන නිසා. එක්සත් ජාතික පක්‍ෂයට සිංහල බෞද්ධ ඡන්දවලින් 40%ක් ලබා ගන්න අමාරුයි. රටේ සිංහල බෞද්ධයන් 70%ක් පමණ සිටින බැවින් එ ජා පක්‍ෂයට සිංහල බෞද්ධයන්ගෙන් ලැබෙන ඡන්ද මුළු ඡන්දයෙන් 28%කට අඩුයි. එබැවින් ඔවුන්ට සිංහල බෞද්ධ නොවන අයගෙන් ජනාධිපතිවරණයක දී ඉතිරි 22% පුරවා ගන්න ඕන. 

එ ජා පක්‍ෂයට පසුගිය වතාවල සිංහල කතෝලික (හා ක්‍රිස්තියානි)  ඡන්දවලින් 60%කට වැඩි ප්‍රමාණයක් ලැබුණා. ඒ කියන්නේ මුළු ඡන්දවලින් 3%කට වැඩියෙන් ලැබුණා. මෙවර එය ඊට අඩු වේවි. එය 2%කට පමණ පහත වැටීමට ඉඩ තියෙනවා. ඒ කියන්නේ එ ජා පක්‍ෂය (පෙරමුණ) සිංහල නොවන ඡන්දවලින් අඩු තරමින් රට ම ගත්තොත් 20%ක් ගන්න ඕන. ඒ කියන්නෙ අසිංහල ඡන්දවලින් නම් 80%ක් ගන්න ඕන. 

මේ ගණන් හිලවුවල පදනම මිනිසුන් ඡන්දය දීමේ දී (ඡන්දය ප්‍රකාශ කිරීමේ දී) ජන කොට්ඨාශය (මා ජනවර්ගය කියන වචනය යොදා ගන්නේ නැහැ. දෙමළ ජනවර්ගයක්වත් මෙරට නැහැ. ඇත්තේ දෙමළ කතාකරන ජන කොටස් පමණයි) කුමක් වුවත් එක ම ප්‍රතිශතයකින් ඡන්දය දෙන්නේ ය යන්නයි. එහෙත් එය එසේ වන්නේ නැහැ. 2015 ජනාධිපතිවරණයේ දී උතුරු පළාතේ ඡන්දය ප්‍රකාශ කල අයගේ ප්‍රතිශතය අනෙක් පළාත්වල ඡන්දය ප්‍රකාශ කළ අයගේ ප්‍රතිශතයට වැඩියි. ඒ කියන්නේ අසිංහල ඡන්දවලින් 80%ක් ගැනීම එ ජා පක්‍ෂයට හොඳට ම ප්‍රමාණවත්. 

එ ජා පක්‍ෂයට අසිංහල ඡන්ද ලබා ගැනීමට දෙමළ ජාතික සංධානයේ ප්‍රතිපත්ති සමග පෑහීමට අවශ්‍යයි. එ ජා ප විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නේ ඒ නිසයි. කිසි දිනෙක මාක්ස්වාදය හරි හැටි නොදැන හිිටියත් තමන් දන්නා මාක්ස්වාදයක් අනුව කටයුතු කරන ජ වි පෙ ඊනියා ජනතාවාදයක් ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ බවක් කියනවා. එහෙත් ඒ සමග ජ වි පෙරමුණට එ ජා ප සමග සමීප ව වැඩ කිරීමටත් ඉන් අවස්ථාව ලැබෙනවා. ඔවුන් ඒ බව අනුගාමිකයන්ට කියන්නේ නැහැ.

ජාතික ව්‍යාපාරයේ ඉන්න පුස් කෑ මාක්ස්වාදීන් ජනප්‍රියවාදී භික්‍ෂූන් වහන්සේ හා ගුණදාස අමරසේකර වැන්නන් යොදා ගනිමින් තමන්ට අවශ්‍ය ආකාරයට ඊනියා මාර්ග සිතියම් මාලිමා  සකස් කරමින් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරනවා. මේ පිළිබඳ ව මා මාලිමාව ම දක්වමින් ම ඉදිරි කාලයේ දී කරුණු පැහැදිලි කරනවා. ජාතික ව්‍යාපාරයේ මාක්ස්වාදී බලපෑම නැති කරන්න ඕන. 

මේ පුස් කෑ මාක්ස්වාදීන් මා කඩාකප්පල් කාරයකු ලෙස හඳුන්වාවි. මා එතරම් බලසම්පන්න නම් මා මේ මාක්ස්වාදීන් අයින් කර බොහෝ කල්. මට ඔවුන්ට මෙන් විදේශ ආධාර ලැබෙන්නේ නැහැ. මට ජනමාධ්‍ය බලයක් නැහැ. දේශපාලන බලයක් ජන බලයක් නැහැ. මට කඩාකප්පල් කරන්නවත් ශක්තිමත් කරන්නවත් බැහැ. ජාතික ව්‍යාපරයේ විශාල පිිරිසක් මට විරුද්ධ බව මා දන්නවා. එවැනි පුද්ගලයකුට ජාතික ව්‍යාපාරය කඩාකප්පල් කරන්න බැහැ. එහෙත් ජාතික  ව්‍යාපරයේ අද ඉන්න බොහෝ දෙනා ප්‍රකාශිත ව  මාක්ස්වාදය හෝ චම්පකගේ ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපරයේ (එයත් ජාතික ව්‍යාපාරයක්!)  ඉන්න කාලයේත් මා ජාතික ව්‍යාපරයේ හිටියා. අද දිවයින පත්තරේ මගේ ලිපියක් පළ කර ගන්න බැහැ. ජනමාධ්‍යවේදීන් බොහොමයක් මට විරුද්ධයි. 

ඒ කුමක් වුවත් මා මගේ අදහස් කාලය මගින් ප්‍රකාශ කරනවා. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරනු යන මතයේ මා තදින් ඉන්නවා. කසිකබල් මාක්ස්වාදියකු ව ඉන්න කාලයේ මා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව වික්‍රමබාහු සමගින් වැඩ කළා. එහෙත් 1980 පමණ කාලයේ මා මාක්ස්වාදයෙන් පමණක් නොව බටහිර විද්‍යාවෙනුත් සම්පූර්ණයෙන් ම කැඩුණා. බටහිර විද්‍යාව යනු ඇතැම් විට හිතළු වැඩ කරන, හරියන, පට්ටපල් බොරුවක් බව මට වැටහුණා. මාක්ස්වාදය ගැන කවර කතා ද? 

ඒ කුමක් වුවත් අසිංහල ඡන්ද ඉතා වැඩි ප්‍රතිශතයක් සජිත් දිනා ගනිද්දී ගෝඨාභයට ඇත්තේ එක ම එක මගයි. ඒ සිංහල ඡන්දවලින් 65%ක් පමණ  දිනා ගැනීමට කටයුතු කිරීම. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි සටන් පාඨ එහි දී පාරා වළල්ලක් වේවි.