කොළොම්පුරෙන් හන්තානෙට

Share

හන්තානෙට තරම් ලස්සනට හඳ පෑව්වේ නැති වුණාට මේ කොළඹ අහස යට ලියවුණු සුන්දර මතකයන් බේරේ වැවටත් වඩා හරි ලොකුයි. මේ අහස යට ගෙවෙන හැම තත්පරයම ජීවිතයට අරන් එන්නේ අලුත්ම අලුත් පාඩමක්.

කොළොම්පුර අහස යට ගෙවෙන දෙවෙනි අවුරුද්දත් ළඟා වුණේ හරි ඉක්මනට. Assignments , Lab reports  ,end මැද්දේ හිර වෙලා ඉන්න අපිට ලැබෙන පුංචි හරි නිවාඩුවේ කට්ටිය වට්ස් ඇප් ගෲප් පුරා කතා වෙන්නේ ට්‍රිප් එකකට සෙට් වෙන විදිහ ගැනයි. ගැට්ටක් හැදිලා යන ට්‍රිප් වගේ නෙවෙයි අවුරුද්දකට එක පාරක් තුන්සීයකටත් වඩා ඉන්න බැච් එකත් එක්ක එකට එකතු වෙලා යන ට්‍රිප් එක එනකන් හැමෝම ඉන්නේ නොඉවසිල්ලෙන්. අමතක නොවෙන මතකයන් පිරුණු පළවෙනි අවුරුද්දේ ආදර කන්දට ගිය කට්ටිය එදා ඉදන්ම තමයි කොළොම්පුරෙන් හන්තානෙට යන්න ඇඟිලි ගනින්න පටන් ගත්තේ.

කොහොමින් කොහොමහරි බැච් ට්‍රිප් එක යන කාලෙත් ළං වුණේ කාටත් නොදැනීමයි. කට්ටිය හන්තානෙට පායන හඳ බලන්න යන්න සති දෙකක විතර ඉඳන් ලෑස්ති වෙන්න පටන් ගත්තා. ස්ටේටස් හරහා ට්‍රිප් එක ප්‍රොමෝට් කරන්නත් අපේ COලා අමතක කෙරුවේ නෑ. මේ අතරේ තමයි හන්තානේ ඓතිහාසික කතා පුවත වට්ස් ඇප් ගෲප් සිසාරා පැතිරෙන්න පටන් ගත්තේ. තවත් සමහරු හන්තානේ කාලගුණ වාර්තාව එහෙම සකස් කරලා අයිස් කැප්, රේන්කෝට්, ජර්සි වගේ අඩුම කුඩුම ගන්න ෂොපින් යන්නත් අමතක කෙරුවේ නෑ. ඔය අතරේ අර ලෙඩේ මේ ලෙඩේ කියලා ට්‍රිප් එක යන්නේ නෑමයි කියලා නහයෙන් අඬලා ඊට කලින් දවසේ රෑ යනවා කියලා කියපු අයත් නොහිටියාම නෙවෙයි. ඔක්කොටම වඩා අමාරු වුණේ බස් ලිස්ට් එක හදපු දෙන්නටයි. මොකද යාළුවෝ කැඩෙන්නත් බෑලු බස් එකක සීට් තියෙන්නෙත් 54යිනේ.

ඔන්න ඉතිං හැමෝම මග බලාගෙන හිටපු දවස උදා වුණා. හරියටම තුන වෙද්දි රේස් කෝස් එකට රුහුණු කුමාරි,ජයරත්න, සංහිඳියා වයිබ්ස් ඇතුළු බස් හයම ආවා. පෙර උගත් පාඩම් නිසාම COලා පාන්දර කියලා බස් වලට කොලේක ලියලා දෙන්න අමතක කෙරුවේ නෑ. හේතුව නම් දන්නෝ දනිති. බස් ආවට අපේ කට්ටිය ඉතිං එන්නේ ඇහැරුණු වෙලාවටනේ. ගාණට නූලට තුනට ආව අය වගේම කෝපි බීලා නින්ද ගිහිං හතරට ඇහැරිලා දුවගෙන ආව කෙනෙකුත් ඔය අතරෙ හිටියා.

තැන තැනින් අහුල ගත්තු කට්ටියත් එකතු කරගෙන ගලහ හන්දියට එනකොට උදේ අටට ළඟයි. ඔය එන අතරමඟ වුණ රසබර දේවල් නම් ලියලා ඉවර කරගන්නත් බැරි තරම්. කොහොමහරි කට්ටිය පේරා කැම්පස් එකෙන් හරිබරි ගැහිලා හන්තාන හීනය හැබෑ කරගන්න බලාගෙන කන්ද නගින්න පටන් ගත්තා. ඒක නම් ලේසි පහසු කටයුත්තක් වුණේ නෑ. මොකද පේරා කැම්පස් එක ගාව ඉඳං කන්ද පටන් ගන්න තැනට එද්දිත් කට්ටියට හොඳටම හති.. කොහොම වුණත් එකෙනෙක්ටවත් මඟ නවතින්න නම් හම්බුණේ නෑ. ඇයි ඉතිං අපේ කට්ටිය කියන විදියට ඊළඟ වංගුව හැරුණ ගමන් කන්දේ මුදුන මුණ ගැහෙනවාලුනේ. හැබැයි ඉතිං ඔය කියන වංගුව උඩට යනකන්ම අපිට හම්බ වුණේ නම් නෑ. නවතින කට්ටියට සාත්තු කරලා කන්ද උඩටම අරන් යන්න පූර්ණකාලීන අත්දැකීම් සහිත MBBS රහිත  ඩොක්ටර්ස්ලා තුන්දෙනෙක් හිටිය නිසාම හැමෝටම කිසිම අතුරු ආන්තරාවක් නම් ඇති වුණේ නෑ. ඔය යන අතරමඟ හන්තානේ ස්වාභාව සෞන්දර්ය ගැන පූර්ණ දැනුමක් කට්ටියට ලබා දෙන්න ශාක ගැන විශාරද කෙනෙකුත් හිටියා.
හෙඩ් එකේ ඉඳං ටේල් එකට වෙනකන්ම තනි යායට සහෝදරත්වයේ ලෙන්ගතුකමට හන්තානෙත් පරාදයි. හෝ ගාලා කෑගහන කට්ටිය ඉඳිකට්ටක් වැටුණත් ඇහෙන තරමට නිශ්ශබ්ද කරන්න පුළුවන් වුණා නම් ඒ දෙබර වද වලට විතරමයි. ඒ අතරේ දෙබරු නෙවෙයි කුළුමීමෙක් එනවා කිව්වත් කතා පෙට්ටිය වහගන්නේ නැති සෙට් එකකුත් නොහිටියාම නෙවෙයි. අපේ කට්ටිය ආත්මාරක්ෂාව ගැන හරිම සැළකිලිමත් නිසා දිවියන්ගෙන් ආරක්ෂා වෙන ක්‍රම ගැන මඟ දිගට හිත හිතා ගියේ.

Hiking partners ලා ගැනත් කියන්නේ නැතුවම බෑ. ගොඩ ගිය වගේම ගොඩ යන්න බලාගෙන ගිය හයිකින් පාට්නර්ස්ලා අතරේ තමන්ගේ යාළුවාව කොහොමහරි උඩට ගෙනියනවාමයි කියන අධිෂ්ඨානය තිබ්බ අයත් හිටියා. එක්කෙනෙක් ලිස්සනකොට නැගිටින්න අත දෙන්න පිරිසක්ම එනවා. ඒ තරම්ම සහෝදර බැඳීම ශක්තිමත්.

කොළොම්පුරෙන් හන්තානෙට ආව නිසාම ද මන්දා එදා හන්තානත් වෙනස් වෙලාලු. සීතලට ගල් ගැහෙන්න බලාගෙන ආව අපේ අයගේ බලාපොරොත්තු නම් සුන් වෙලාම ගියා. අන්තිමට හන්තානෙට පායන ඉර නම් කට්ටියට ඕනාවටත් වඩා ලස්සනට පෙණුනා. අයිස් කැප්,ජර්සි උස්සන් ආව අයට නම් ඉතිං හරිම කේන්ති. වැස්සට කුඩ ගෙනාව අයට නම් පාඩුවක් වුණේ නෑ ඉතිං. අව්වට පිහිටට හිටියේ ඉතිං එයාලගේ කුඩම තමයි.ලස්සන තැනකට ආව ගමන්ම මුළු බැච් එකටම එකපාරටම මතක් වෙන කෙනෙකුත් හිටියා. හතරවටෙන්ම ඇහෙන්නේ එයාගේ නම. ඒ තමයි ඉතින් අපේ වදෙත් ඉවසගෙන කැමරාවත් උස්සගෙන කන්ද උඩටම නැගපු “දවසේ වීරයා”. අපේ අයත් ඉතිං ෆොටෝ එකක් ගන්නවා දැක්කොත් එකේ කොහෙ හරි කොණකට පනින්නනේ බලාගෙන ඉන්නේ. කට්ටිය ඉතිං තැන් තැන්වල නතර වෙලා ෆොටෝ ගන්නවයි කියෝනවයි. ඔය අතරේ එක්කෙනෙක් හිටියා මෙහෙම නතර වෙන අයව කෑගහලා දිරිගන්නවන්නත්. නුවර ගම වුණ මෙයා අකුණු ගහනවා උඩට ,ඉක්මනින් බහිමු කිව්වේ නැත්තම් අපි තාමත් උඩ ෆොටෝ ගන්නවලු ඉතිං.අමාරුවෙන් උඩටම නැගලා බැච් එකේ නිළ ලාංඡනය වුණ දකුණු රටේ ගෝ ප්‍රෝ එකෙන් ෆොටෝ එකක් ගත්තේ නැත්තම් වැඩක් තියෙනවද?. අඩුම තරමේ තිතක් වෙලා හරි මූණ පෙනෙයි කියන ඒකායන බලාපොරොත්තුව ඇතුව හැමෝම කොහෙන් කොහෙන්හරි මූණ ටිකක් ෆොටෝ එකට දාගන්න අමතක කෙරුවේ නෑ.

ඊට පස්සේ තමයි ගමනේ අමාරුම හරිය ආවේ. ඇයි ඉතිං නැග්ගා වගේ නෙවෙයිනේ බහින්න ගිහාම. සමහරුන්ගේ වතුර ඉවරයි, තවත් අයට බඩගිනි එක එක ප්‍රශ්න. හැබැයි ඉතිං මහ රෑ දෙගොඩහරියේ ආදර කන්දත් බැහැපු අපේ අයට ඕවා හරිම සුළු දේවල්. නැග්ගටත් වඩා ඉක්මනින් බහින්න පුළුවන් වුණේ අපේ අයගේ තිබ්බ සහෝදරත්වය නිසාමයි. එක බිස්කට් එකයි ද තියෙන්නේ ඒක ඉතිං මිඩ් එකේ ඉදං ටේල් එකටම පාස් වෙනවා.
හන්තාන හීනය ඉවර වුණාට කතාව ඉවර වුණේ නෑ. තාමත් අපේ අය ඩේටා කාඩ් දාගෙන වට්ස් ඇප් ස්ටේටස් වලින් කට්ටියත් එක්ක ට්‍රිප් එක යනවා. ඒ තරම්ම අමතක නොවන මතකයන් පිරිලා.

අන්තිමට හන්තානෙන් කොළොම්පුරට ගොඩ බැස්සේ තව තවත් ශක්තිමත් වුණ අපේ සහෝදරකමයි. ගෙවුණු නොගෙවුණු මේ සිව් වසර තුළ තුම්මුල්ල අහස යට එකෙකුවත් තත්පරයකට හෝ තනි නොවන බව නම් ඒකාන්තයි.

Image Courtesy- Malintha Wijayaweera

 
Tagged : / /