Main Logo

Friday 20 September 2019

සජිත්ගේ ජයග්‍රහණය සිංහලයන්ගේ ජයග්‍රහණයක් නො වෙයි




             සිංහල ලිත් ඉලක්කම්


සජිත්ගේ ජයග්‍රහණය සිංහලයන්ගේ ජයග්‍රහණයක් නො වෙයි



ඊයේ රනිල් පැරදුණා. ඔහු මීට කලිනුත් පැරදිලා තියෙනවා. ඒ මැතිවරණවලින් වෙනත් පක්‍ෂ අතින්. ඊයේ පැරදුණේ පක්‍ෂය ඇතුළෙ. එක්සත් ජාතික පක්‍ෂයේ මෙන් ම එක්සත් ජාතික පෙරමුණෙත් ඔහු ඊයේ පැරදුණා. ඒත් ඒ අමාත්‍ය මණ්ඩලයේ. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මොනවා වෙයි ද කියන්න බැහැ. කෘත්‍යාධිකාරි මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් එකට පවත්වන රැස්වීමක දී රනිල් නැවතත් පරදින්න ඉඩ තියෙනවා.




ඊයේ නිල වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගෙනැල්ල නැහැ. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කෙරිලත් නැහැ. ඒ නිසා  කාට හරි නිල වශයෙන් කියන්න පුළුවන් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ සාකච්ඡාවක් තිබුණේ නැහැ කියලා. ඒත් නොනිල වශයෙන් හරි සාකච්ඡාවක් තිබිල තියෙනවා. එය රනිල්ගෙ යෝජනාවක් බව හකීම් කියද්දීත් ඇතැම් රාජපක්‍ෂවාදීන් කිව්වෙ එය මෛත්‍රිපාලගෙ වැඩක් කියලයි. මේ මෛත්‍රිපාල වෛරය තිබෙන තාක් සිංහලයන්ට පරාජයක් පමණක් අත් වේවි. දැන් කියන්න ඔන්න සිරිජාතිකවාදියා කට ඇරලා කියලා. තාම කවුරුන්වත් කිව්වෙ නැහැ මට මෛත්‍රිපාල සල්ලි දෙනව කියලා. එහෙමත් කියන්න බැරි නැහැ.



රනිල්ට අවශ්‍ය එ ජා පෙරමුණේ නැත්නම් ඇති කරන්න යන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ අපේක්‍ෂක ලෙස කරුණාරත්න ජයසූරිය ඉදිරිපත් කරන්න. ඔහු තවමත් ඒ අදහස නැති කරගෙන නැහැ. ඔහු ඔක්තෝම්බර් හයවැනි දා වන තෙක් ඒ අදහස වෙනුවෙන් වැඩ කරාවි. එහෙත් දැන් දැන් තරාදිය ඔහුගෙන් සජිත් පැත්තට බර වෙනවා. චම්පකත් තරාදියේ සජිත් පැත්තට පැනලා.



චම්පක දේශපාලන බැරෝමීටරයක්. ඔහු වාසි පැත්ත වැඩිය නැතත් ටික කලකට කලින් දැන ගන්නවා. ඔහු මෙරට අංක එකේ අවස්ථාවාදියා වන්නේත් එබැවිනුයි. චම්පක එක්සත් ජාතික පෙරමුණේ ඇමතිවරයකු ලෙස මෙතෙක් හිටියේ රනිල්ගේ පැත්තේ. එහෙත් ඊයේ ඔහු සජිත්ගේ පැත්තට ගිහින්. අමාත්‍ය මණ්ඩලයේ රනිල් වෙනුවෙන් කතා කර තියෙන්නේ රවි කරුණානායක හා රාජිත පමණයි. හකීම් ඉතා දරුණු ලෙස රනිල්ට විරුද්ධ ව කතා කර තියෙනවා.



හකිම්ලාට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අවශ්‍යයයි. එහෙත් ඔහුත් බද්‍යුද්දීනුත් මනෝ ගනේෂනුත් දැන් රනිල්ට විරුද්ධ නිසාත් සජිත් ජනාධිපති වීම ඔවුන්ගේ අවශ්‍යතාව නිසාත් රනිල්ගේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට විරුද්ධ වෙනවා. චම්පකත් සුපුරුදු පරිදි වාසි පැත්තට හෝයියා කියනවා. අද තියෙන විධියට සජිත්ට එ ජා පක්‍ෂයෙන් ජනාධිපති ධුර අපේක්‍ෂකත්වයත් නැති වුණත් ඔහු වෙනත් පක්‍ෂයකින්, ඕන කෙහෙල්මලකින් තරග කරාවි. ඔය ලකුණ එතරම් වැදගත් නැති බව පොහොට්ටුවත් ශ්‍රී ල නි පක්‍ෂයත් නොදන්නවාට එ ජා පාක්‍ෂිකයන් දන්නවා. ඔවුන් මෛත්‍රිපාල ඉදිරිපත් කෙරුවෙ හංසයාගෙන්. බුලත් කොළෙත් හංසයාට පැරදුණා.



සජිත් සංධානයක් හදනවා. ඔහුට හකීම්ලා බද්‍යුද්දීන්ලා මනෝ ගනේෂන්ලා දිගම්බරන්ලා ආධාර කරනවා. දෙමළ ජාතික සංධානය ආධාර කරන එකක් නැහැ. සුමන්තිරන් ඉන්නෙ රනිල් එක්ක. දෙන්න ම ඉන්නෙ බටහිරයන් එක්ක. ජ වි පෙ ඉන්නෙත් රනිල් එක්ක. කරුණාරත්න ජයසූරියට ඉදිරිපත් වීමට නොහැකි වුවහොත් අනුර රනිල්දාසත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි. එහෙම වුණොත් දෙමළ ජාතික සංධානය රනිල්දාසට ආධාර කරාවි.



දෙමළ ජාතික සංධානය ඇතත් නැතත් සජිත්ගෙ සංධානය භයානක එකක්. සජිත් සිංහල බෞද්ධ වෙස් මුහුණක් බැඳන් ඉදිරිපත් වුවත් ඔහු එක්ක හකීම්ලා බද්‍යුද්දීන්ලා මනෝ ගනේෂන්ලා ඉන්නව නම් එතැන සිංහල බෞද්ධ කමක් නැහැ. අප මතක තබා ගත යුතු කරුණක් නම් පන්සිල් ගන්න පිරිත් නූල් බඳින අය අතර අබෞද්ධයන් ද සිටින බව.



පොහොට්ටුව කෙතරම් උත්සාහ දැරුවත් ඔවුන්ට මුස්ලිම් ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. දෙමළ කතා කරන ජනයාගෙන් නම් යම් ප්‍රමාණයක් නම් ඡන්දය දේවි. එහෙත් ඔවුන් මෛත්‍රිපාලට වෛර කරන තාක් සිංහලයන්ට සෘජුව කතා නොකරන තාක් සිංහල ඡන්දවලින් 60%ක් දිනාගන්න බැරි වේවි. ඒත් ඔවුන් එය ප්‍රශ්නයක් ලෙස හිතන්නෙ නැහැ. ඔවුන් තරම් උද්ධච්ඡයන් පිරිසක් මෙරට දේශපාලනයේ ඉන්න නැති වෙන්න පුළුවන්.



සජිත් ඉල්ලුවත් සජිත් හා කරුණාරත්න ජයසූරිය හරි අනුරදාස හරි ඉල්ලුවත් සිංහලයන්ට ඉන් වැඩක් වෙන්නේ නැහැ. අවාසනාවකට මෛත්‍රිපාල සජිත්ට එකතු වුණොත් (පොහොට්ටුව ඔහු සජිත් වෙතට යැවුවොත්) නොවැම්බර් දහසයවැනි දා ශ්‍රී ල නි පක්‍ෂයේ ආදාහන කටයුතු සිද්ධ වේවි. මෛත්‍රිපාල කියන විධියට ම පොහොට්ටුවෙ ඉන්නෙ ශ්‍රී ල නි පක්‍ෂයෙ හිතවතුන්. ඒත් පොහොට්ටුවෙ ඇතැම් නායකයන් ශ්‍රී ල නි පක්‍ෂයේ හිතවතුන් නො වෙයි.



අද තියෙන අවුලට විසඳුමක් ඉදිරිපත් කරන්න පුළුවන් මෛත්‍රිපාල හා මහින්ද එකතු වුණොත් පමණයි. එහෙම නූණොත් සිංහලයන්ට අබ සරණයි.