පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, April 26, 2019

මෙහෙමත් පුදුම සත්තු - Amazing Animal Stories

ලෝකයේ මිනිසුන් වගේම සතුනුත් ඉන්නවා. මිනිසුන් වගේම මේ සතුනුත් විවිධාකාරයි. විවිධාකාර සතුන් අතරින් තවත් සමහරු භයංකාරයි. ඒ වගේම පුදුමාකාරයි. භය වෙනවාට වඩා අපි පුදුම වෙන්න කැමතියි. ඒ කැමැත්තට ඉඩ දෙමින්, පුදුමාකාර දේවල්වලට ඉඩ හරිමින් දැන් අපි ලෝකයේ සිටි පුදුමාකාර සතුන් කිහිප දෙනෙක් ගැන අරුම පුදුම දේවල් ටිකක් කතා කරමු.

ඇවිදීමෙන් සැනසීම ලැබූ සුනඛයා - බොබී  



ඉවසීමෙන් වගේම ඇවිදීමෙන් වුනත් ඇතැම් විට සැනසීම ලබන්න පුළුවන් බව මේ බොබී කියන සුනඛයාගේ කතාව ඇසුවාට පසු ඔබට තේරුම් යාවි. බොබී කියන්නේ ස්කොච් කොලී සහ ඉංග්ලිෂ් ෂෙපර්ඩ් යන වර්ග දෙකේ සම්මිශ්‍රණයෙන් උපන් සුනඛයෙක්. මේ සුනඛයා ලෝකයේ ප්‍රසිද්ධ වුණේ අරුම පුදුම බල්ලායන නමින්. එයට හේතුව වුණේ ඌ ඇමරිකා එක්සත් ජනපදය හරහා කිලෝ මීටර් 4,100ක් පමණ ඇවිද්ද නිසයි. ඇවිද්ද පය දහස් වටී කියා කීවාට ඇවිදීමෙන්  සැනසීම ලැබුවේ කොහොමද කියා ඔබට දැන් සිතේවි. ඒ මෙන්න මෙහෙමයි. බොබී ටික කාලයකට කලින් ඌ අයිති වෙලා හිටි පවුලේ පිරිසත් සමග දුර ගමනක් ගියා. ඒ ගියේ ඉන්ඩියානා කියන ජනපදයට. එහේදී මොකක් හේතුවකින් බොබී අතරමං වුණා. මෙයාව අයිති පවුලේ කට්ටිය බොබීව හොයලා හොයලා බැරිම තැන හිතේ දුකින් වුනත් හිත හදාගෙන ආපසු ඔවුන් ජීවත් වුණු ඔරිගන් ජනපදයට ගියා. මේ විදියට කාලය ගත වුණා. මාස හයකට විතර පස්සේ මේ නිවසේ දොර ළඟ කේඩෑරි වෙලා ගිය සුනඛයෙක් ඉන්නවා දුටු පවුලේ පිරිස මේ කවුද කියලා හොයා බැලුවා. එතකොටයි මේ කවුද කියලා හොයා ගත්තේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි බොබී. ඌ කිලෝ මීටර් දහස් ගණනක් ඇවිදිමින් තමන් සිටි ගෙදරට ඇවිත් හිටියා. උගේ පාදවල කොට්ටා වැනි කොටස් අස්ථි දක්වාම ගෙවී තිබුණු බවයි වාර්තාවල සඳහන් වෙන්නේ. බොබී මේ විදියට ආපසු ආපු කතාව මුළු ඇමරිකා එක්සත් ජනපදය පුරාම ලැව් ගින්නක් වගේ පැතිරිලා ගියා. බොබී ගැන ප්‍රවෘත්ති, පුවත්පත් ලිපි, පොත් ලියැවුණා. විශේෂාංග චිත්‍රපට තැනුණා. කොහොම වුනත් බොබී වැඩි කාලයක් ජීවත් වෙන්න වාසනාවක් තිබුණු සුනඛයෙක් වුණේ නැහැ. ඌ 1927 වසරේ මිය යද්දි අවුරුදු 6ක් වුණා පමණයි. බොබී ව පෝර්ට්ලන්ඩ්වල ඔරිගන් සුසාන භූමියේ වළ දමා තිබෙනවා.

කැලේ පැනලා ලෝම වැවුණු බැටළුවා - ෂ්‍රෙක්  



ෂ්‍රෙක්කියන නම ඇසුණු ගමන් බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට මාලාවක්. ඒ චිත්‍රපට මාළාවේ නම් ෂ්‍රෙක්කියන්නේ  රාක්ෂයෙක්. ඒත් අපි කියන්න යන කතාවේ ෂ්‍රෙක් කියන්නේ හිතුවක්කාර බැටළුවෙක්. මේ හිතුවක්කාරයා ජීවත් වුණේ නවසීලන්තයේ ටරාස් කියන ප්‍රදේශයේ. රංචුවත් එක්කම ඉඳලා එපා වෙලා හිටිය ෂ්‍රෙක් දවසක් හිතුවා මේ පැත්තේ තියෙන කඳුකරේ කරක් ගහලා එන්න ඕන කියලා. මෙහෙම ගියාට ආපහු රංචුව හොයා ගෙන එන්න පුළුවන් කමක් ෂ්‍රෙක්ට තිබුණේ නැහැ. මේ විදියට කාලය ගත වුණා. අවුරුදු හයකට පස්සේ මේ පැත්තේ පිරිසකට ෂ්‍රෙක්ව හමු වුණා. සාමාන්‍යයෙන් වාර්ෂිකව බැටළුවන්ගේ ලෝම ඉවත් කරනවා වුනත් හිතුවක්කාරෙට කඳුකරේ කරක් ගහන්න ගිය ෂ්‍රෙක්ගේ ලෝම ඉවත් කරන්න කිසි කෙනෙක් හිටියේ නෑ. ඒ නිසා උගේ ලෝම වැවිලා වැවිලා ලෝම බෝලයක් වගේ තමයි හිටියේ. ෂෝන් ද ෂීප්කියන  චිත්‍රපටය බැලුවා නම් මේ වගේ බැටළුවන් දකින්න පුළුවන්. ෂ්‍රෙක්ගේ සිරුරෙන් 75%ක් ලෝමවලින් වැසී තිබුණා. ලෝමවල බර විතරක් කිලෝ ග්‍රූම් 27 ක්. මේ බැළුවාගේ හිතුවක්කාර ස්වභාවයත්, ප්‍රසිද්ධියත් නිසා අර කලින් කියපු ත්‍රිමාන චිත්‍රපටය නිර්මාණය කරද්දි රාක්ෂයාට ෂ්‍රෙක්කියලා නම් කරන්න එහි නිෂ්පාදකවරු තීරණය කළා. ෂ්‍රෙක් වැඩි කාලයක් ගත වෙන්න කලින් නවසීලන්තයේ ජාතික සංකේතයක් බවට පත් වුණා. ෂ්‍රෙක්ගේ ලෝම ඉවත් කිරීමේ අවස්ථාව රුපවාහිනි නාලිකා මගින් සජීවීව විසුරුව හැරියා. මේ යෝධ ලෝම තොගය වෙන්දේසියේ දැමූ අතර එය ඇමරිකානු ඩොලර් 150,000 කට අළෙවි වුණා. කොහොම වුනත් මේ හිතුවක්කාරයා අවුරුදු 17 සපිරෙද්දී, 2011 ජුනි 6 වැනිදා මිය ගියා.



නැව ගිලුනත් බෑන් චූන් බළලා හෙවත් සෑම්  


පූසා හෙවත් බළලා කියන්නේ කොහොමත් බෑන් චූන්සතෙක්. සෑම්කියන්නෙත් එහෙම බළලෙක්. සෑම් ජීවත් වුණේ ජර්මනියේ විශාලතම යුද නැවක් වූ බිස්මාර්ක්වල. උගේ රාජකාරිය වුණේ නැව මීයන්ගෙන් ආරක්ෂා කරන එක. ටොම් ඇන් ජෙරීකාටූන් චිත්‍රපට මාලාවේත් එක් කතාවක ටොම් නැවක රැකියාවක් කරනවා ඒ නැව මීයන්ගෙන් ආරක්ෂා කර දෙන්න. එය නරඹා ඇත්නම් ඔබට එය මතක් වේවි. මේ බිස්මාර්ක් නැව අනතුරක් සිදු වෙලා මුහුදේ ගිලී එහි සිටි නැවියන් 2200ක් මිය ගියා. නමුත් සෑම්ගේ එය මයිල් ගහකටවත් අනතුරක් වුණේ නෑ. ඒ නැව නැතත් තව කොයි තරම් නැව් තියෙනවද? සෑම් නැව්වලටම උපන් බළලෙක් නිසා ඌව එච්එම්එස් කොසැක්කියන නැවේ කට්ටිය හදා වඩා ගන්න තීරණය කළා. මේක හැබැයි රුසියානු නැවක්. ජර්මානු සබ්මැරීන් ප්‍රහාරයකින් මේ නැව මුහුදේ ගිලී ගියා. එහි සිටි නැවියන් 153 දෙනෙක් එහිදී මිය ගියා. හැබැයි සෑම්ගේ නෙවෙයි මයිලකටවත් අනතුරක් වුණේ. ඉන් පස්සේ සෑම් එච්එම්එස් ආර්ක් රෝයල්කියන නැවේ පදිංචියට කියා. ඒක අයිති වුණේ එක්සත් රාජධානියට. මේ නැවට ටෝර්පිඩෝ ප්‍රහාරයක් එල්ල වෙලා නැවත් එක්ක නාවිකයොත් මිය ගියා. ඒත් සෑම්? සෑම්ගේ මයිලකටවත් හානියක් වුණේ නෑ. ඉන් පස්සේ සෑම් එච්එම්එස් ලයිට්නින්සහ එච්එම්එස් ලෙගන්කියන නැව් දෙකේ පදිංචියට ගියා. කරුමෙක මහත කියන්නේ මේ නැව් දෙකත් ප්‍රහාරවලින් මුහුදේ ගිලුණා. මෙයින් පසු සෑම් නැවත නැව් ගිල්ලවන වැඩේට ගියා ද කියලා වාර්තා වෙන්නේ නැහැ. විකිපීඩියාවට අනුව සෑම් 1955 වසරේ දී එක්සත් රාජධානයේ බෙල්ෆාස්ට් හි මිය ගිය බවයි කියවෙන්නේ. ඇතැම් වාර්තාවල ඔස්කාර්නමින් ද සෑම් පිළිබඳ සඳහන් වෙනවා.



තනියෙන්ම මැරුණු ලෝන්සම් ජෝර්ජ්



ලෝකයේ වැඩිපුරම ආයුෂ තියෙන සතුන් අතරට වැටෙන එක් සතෙක් තමයි ඉබ්බා. මේ බව ඔබ දන්නවාට සැකයක් නැහැ. සාමාන්‍යයෙන් ඉබ්බෙක් අවුරුදු 80 - 100 ක් අතර කාලයක් ජීවත් වෙනවා. මේ අතරිනුත් ගැලපගස් වර්ගයට අයිති ඉබ්බන් අවුරුදු 200 ක් පමණ ජීවත් වෙනවා. මේ ගැලපගස් ඉබ්බන් අතරින් එක් විශේෂයකට අයිති කෙනෙක් තමයි ලෝන්සම් ජෝර්ජ්කියන්නේ. ඌ උපන්නේ 1920 වර්ෂයේ දී. මේ වර්ගයට අයත් වෙලා හිටිය ලෝකයේ සිටි අන්තිම ඉබ්බා තමයි ලෝන්සම් ජෝර්ජ් කියන්නේ. මේ ඉබ්බා මැරුණොත් එතැනින්ම ඒ වර්ගය වද වෙලා යනවා. ඒත් අවුරුදු 200 ක් පමණ ජීවත් වෙන නිසා ලෝන්සම් ජෝර්ජ් ජීවත් වුණු ගැලපගස් ජාතික වනෝද්‍යානයේ බලධාරීන් උගේ මරණය බලාපොරොත්තු වුණේ 2120 දී පමණ. ඒත් අවාසනාවකට අඩු වයසින් ලෝන්සම් ජෝර්ජ් මිය ගියා. ඒ 2012 වසරේ දී. එතකොට ජෝර්ජ්ගේ වයස වුණේ අවුරුදු 102ක්  විතරයි. මිය ගිහින් තිබුණේ පෙනහළු පිළිකාවකින් හෝ හෙපටයිටිස් වැළඳීමෙන් කියා සැක කරනවා. ලෝන්සම් ජෝර්ජ කියන්නේ මේ විශේෂයට අයත් අන්තිමයා කියා සෑහෙන කාලයක සිට දැන සිටි වනෝද්‍යානයේ බලධාරීන් ඌට සහකාරියක් සොයා මේ විශේෂය ආරක්ෂා කරගන්නට නොකරපු උත්සාහයක් නැහැ. නමුත් ගැළපෙන සහකාරියක් හමුවුණේ නැහැ. අවසානයේ ඔවුන් ඇමරිකානු ඩොලර් 10,000 තෑග්ගක් දෙන බවත් ප්‍රසිද්ධියට පත් කළා ගැළපෙන සහකාරියක් සොයා දෙන කෙනෙක්ට. නමුත් මේ කිසිවක් සාර්ථක වුණේ නැහැ. මෑත කාලයේ දී තමන් අයිති විශේෂයෙන් අන්තිමයා ලෙස මිය ගිය එකම සත්වයා ලෙස වාර්තා වන්නේ ලෝන්සම් ජෝර්ජ්. ඒ නිසා ඌ මිය යාමෙන් පස්සේ ලෝකයේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වුණා.

යුද්ධයක් ජයගන්නට මග පෑදූ සාමයේ සංකේතය හෙවත් චෙර් ඇමි



1910 දී උපන් චෙර් ඇමි කියන්නේ පරෙවියෙක්. නිකම්ම නිකම් පරෙවියෙක් නෙවෙයි ලෝක ප්‍රකට පරෙවියෙක්. ගැහැනු සතෙකු වූ ඌ පණිවිඩ රැගෙන යාම සඳහා පුහුණු කොට තිබුණා. මහා බ්‍රිතාන්‍යයේ පරෙවියන් පුහුණු කරන්නකු විසින් ඇමරිකානු හමුදාවට චෙර් ඇමි ව ලබා දී තිබුණා. පළමු ලෝක මහා යුද්ධය කාලයේ චෙර් ඇමි හිටියේ ඇමරිකා හමුදා මේජර්වරයකු වූ චාල්ස් වයිට් විට්ල්සි යටතේ. ඔහුගේ හමුදා සේනාංකයේ තවත් භටයින් 194 දෙනෙක් හිටියා. 1918 ඔක්තෝබර් 3 වැනිදා මේ සේනාංකය සතුරු ජර්මානු හමුදා කණ්ඩායමකට  මැදි වුණා. ඔවුන්ට පසු බහින්නට පවා මගක් තිබුණේ නැහැ. සැපයුම් මාර්ග පවා සතුරන් විසින් අවහිර කොට තිබුණා. ඔවුන්ට සහයක් ලබාගැනීම සඳහා තිබුණු එකම මාර්ගය වූයේ පරෙවියන් අත පණිවිඩ යැවීම පමණයි. ඔවුන් සහාය ඉල්ලා යවන සෑම පරෙවියෙකුටම ජර්මානු හමුදාව විසින් වෙඩි තා බිම දැමුවා. චෙර් ඇමි හිටියෙත් මේ පරෙවියන් කණ්ඩායමේ. හමුදා මේජර්වරයා චෙර් උදව් ඉල්ලා පණිවිඩයක් ලියා චෙර් ඇමිගේ පාදයක ගැට ගැසුවා. ඉන් පස්සේ ඌව පිටත් කළා. ජර්මානු හමුදාව චෙර් ඇමිටත් වෙඩි තිබ්බා. අනෙක් පරෙවියන්ට වගේම වෙඩි වැදිලා ඌ බිම ඇදගෙන වැටුණා. නමුත් මියගොස් නොසිටි නිසා ඌ නැවත පියාඹන්න පටන් ගත්තා. ඌ කෙසේ හෝ කිලෝමීටර් 40ක් දුර ගෙවා ගෙන මිනිත්තු 25 ක් ඇතුළත හමුදා මූලස්ථානයට ළඟා වෙන්නට සමත් වුණා. ප්‍රධාන මූලස්ථානයෙන් හමුදාවක් එවා මේ සිරවී සිටි හමුදා සේනාංකය ගළවා ගන්නට චෙර් ඇමි නිසා හැකියාව ලැබුණා. අවසානයේ චෙර් ඇමි මේ සේනාංකයේ වීරවරිය බවට පත් වුණා. චෙර් ඇමිගේ පාදයකට වෙඩි වැදී තිබුණු අතර හමුදා වෛද්‍යවරුන්ට එය සුව කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. චෙර් ඇමි 1919 ජුනි 13 වැනිදා වීරවරියකට හිමි ගෞරව සහිතව මිය ගියා.

අභ්‍යවකාශයට ගිය චිම්පන්සියා - හැම්



හැම් කියන්නේ ලෝකයේ ඉතා සුප්‍රකට චිම්පන්සියෙක්. ඌ ප්‍රීමේටාකියන සත්ව ගෝත්‍රයට අයතියි. මිනිසුන් වන අප ද අයත් වන්නේ මේ ගෝත්‍රයටමයි. අභ්‍යවකාශයට මිනිසුන් යවන්නට හැකියාවක් තිබේද කියා සොයා බැලීම සඳහා මුලින්ම අභ්‍යකාශයට ප්‍රීමේටාවෙක් යවන්නට අවශ්‍යතාව තිබුණා. මේ සඳහා තමයි හැම් ව තෝරාගෙන තිබුණේ. හැම් ව මර්කරි කියන අභ්‍යවකාශ කැප්සියුලයට දමා 1961 ජනවාරි 31 වැනිදා අභ්‍යවකාශයට පිටත් කර හරිනු ලැබුවා. මිනිත්තු 16ක් තුළ කිලෝමීටර් 250ක් අභ්‍යවකාශය කරා ගමන් කරන්නට හැකියාව ලැබුණත් එන් ඔබ්බට ගමන් කිරීම හදිසියේ නවතා දමන්නට සිදු වුණා. ඒ ඔක්සිජන් සැපයීමේ ගැටලුවක් පැන නැගුණු නිසයි. මේ නිසා යානය නැවත ගෙන්වා ගන්නට සිදුවුණා. යානය ගොඩබෑමෙන් පැය තුනකට පමණ පසු හැම් නැවත යථා තත්වයට පත් වුණා. එයින් වසර 17 කට පමණ පසු වොෂිංටන් සත්වෝද්‍යානයේ දී හැම් මිය ගියේ අභ්‍යවකාශයට ගිය මුල්ම ප්‍රීමේටා වර්ගයා ලෙස ගෞරව සම්මාන ලබමින්.

අභ්‍යකාශයට ගිය මුල්ම බැල්ල වූ ලයිකා



ඇමරිකාව ප්‍රිමේටාවෙක් අභ්‍යකාශ ගතකරද්දී රුසියාව කළේ බැල්ලක් මේ සඳහා යොදා ගැනීමයි. ඔවුන් තෝරා ගත් බැල්ල තමයි ලයිකා’. මේ බව බොහෝ දෙනෙක් දන්නවාට සැකයක් නැහැ. ස්පුට්නික් 3 යානයෙන් අභ්‍යකාශයට ගමන් කළ ලයිකා පැය 6ක පමණ කාලයෙක් ගුවන් ගමනේ නිරත වුණා. කෙසේ නමුත් හැම් කියන චිම්පන්සියා සේ ජීවත්ව සිටිය දී පොළොවට ගොඩ බසින්නට තරම් ඌ වාසනාවන්ත වුණේ නැහැ. අභ්‍යවකාශයේ දී ඇතිවන තාපයට ඔරොත්තු දෙන ආකාරයට මේ යානය නිම කොට නොතිබුණු නිසා, අධික තාපය හේතුවෙන් ඌ අභ්‍යවකාශයේ දී මිය ගොස් තිබුණා. කෙසේ නමුත් ලයිකා රුසියානු අභ්‍යවකාශ නගරයේ අදටත් අමරණීය චරිතයක් ලෙස උපහාරයට ලක් වෙනවා.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න