පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, May 20, 2019

බුර්කාවට පෙම් බැඳි මුස්ලිම් නොවන ලෝකප්‍රකට ගැහැනු - Celebrates who loves Burqa



මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කාව පිළිබඳ රටම කතා කරන අතරේ ඒ හා සම්බන්ධ අපූරු කතාවක් ඇමරිකා එක්සත් ජනපදයෙන් අසන්නට ලැබුණා. ඒ ඇමරිකාවේ සුප්‍රකට ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපළෙන්. පසුගිය දිනෙක එහි මගී පර්යන්තයට බුර්කාවකින් සැරසුණු කාන්තාවක් පැමිණියා. බුර්කාව ඇමරිකාවේ ප්‍රසිද්ධියේ ඇඳීම තහනම් නිසාත්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිසාත් ගුවන් තොටුපළේ බලධාරීන් වහා ක්‍රියාත්මක වී එකී කාන්තාවට සිය මුහුණු ආවරණ ඉවත් කරන ලෙස නියෝග කොට සිටියා. එම නියෝගයට අවනත වූ කාන්තාව මුහුණු ආවරණය ඉවත් කළා. ඒ දුටු දසුනෙන් ගුවන් තොටුපළේ බලධාරීන් පුදුමයටත්, වික්ෂිප්ත තත්වයටත් පත් වුණා. සැබවින්ම බුර්කාවට මුවා වී පැමිණ සිටියේ අන් කිසිවකු නොව ඇමරිකාවේ මෙන්ම මුළු ලෝකයේම අතිශය ජනප්‍රිය ගායිකාවක් වූ මැඩෝනා යි. මේ සිදුවීමේ ඊළඟ අදියර වූයේ මෙය ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත් වීමයි.  


මැඩෝනා බුර්කාවක් ඇඳ ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපලට පැමිණි පුවත පැය කිහිපයක් ගත වන්නටත් පෙර ජාත්‍යන්තර මාධ්‍යයේ පළවන්නට පටන් ගත්තා. බොහෝ මාධ්‍ය වාර්තා කොට තිබුණේ අන්‍යයන්ට නොපෙනෙන සේ ගුවන් තොටුපළෙන් පිටවීමේ අරමුණින් මැඩෝනා බුර්කාවක් ඇඳ පැමිණි බවයි. බලධාරීන්ගේ නියෝගයෙන් පසු ඇය පසුව අළු පැහැ ටී ෂර්ට් එකක් සහ කලිසමකින් සැරසී ගුවන් තොටුපළෙන් පිට වී ගියා.  

කෙසේ නමුත් පසුව දැනගන්නට ලැබුණු පුවත්වලින් හෙළි වුණේ වෙනත් කතාවක්. සැබවින්ම ඇයට අවශ්‍ය වී තිබුණේ කිසිවකුටත් නොපෙනී ගුවන් තොටුපළෙන් පිට වී යන්නට නොවෙයි. ඇයට අවශ්‍ය වී තිබුණේ ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයක් තමා වෙත ලබා ගැනීම පමණයි. තමා බුර්කාවක් ඇඳ සිටින බව ලෝකයාටම පෙන්වන්නට ඇයට අවශ්‍ය කොට තිබුණු බවයි දැනගන්නට ලැබෙන්නේ. ඇය ලෝකයේ අවධානය දිනා ගැනීමට පසුගිය වසර හතළිහ මුළුල්ලේම විවිධ දේ සිදු කොට තිබෙනවා. එක් අවස්ථාවක දී ඇය බොහෝ පිරිසක් ඉදිරියේ සිය ඇඳුම් පවා උනා දැමුවා. ඒ අවස්ථාවේ දී ද එය ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත් වුණා.  
ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඇඳුම් අතර ප්‍රමුඛස්ථානයකට වැටී ඇති බුර්කාව කෙරෙහි එරට ආරක්ෂක අංශවල අවධානය ඉහළ දමන්නට මෙන්ම, එම ඇඳුම යම් අවමානයකට ලක් කිරීමේ අදහස ද මේ ක්‍රියාව තුළින් පෙනුණු බව ඇතැම් පුවත්වලින් දැනගන්නට ලැබෙනවා. ඇය සිය මුහුණට යම් සැත්කමක් සිදුකරගෙන ඇති බවත්, එය ජනතාවගෙන් සැඟවීම සඳහා මෙසේ වෙනත් සංස්කෘතියකට අයත් ඇඳුමකින් සැරසී පැමිණෙන්නට ඇති බවත් තවත් පිරිසක් පවසනවා. කෙසේ නමුත් ගුවන් තොටුපළේ බලධාරීන්ගේ නියෝග යටතේ ඇය මේ බුර්කාව ඉවත් කළ පසු ඇයගේ මුහුණෙන් එවැන්නක් පෙනෙන්නට තිබුණේ නැහැ.  

තවත් එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ ආගම්වලට රිදවීමේ ආශාවක් ද මැඩෝනා තුළ පවතින බවයි. මෙයට පෙර එක් අවස්ථාවක දී ඇය කතෝලික දහමට අපහාස වන අන්දමේ ක්‍රියාවක් ද සිදු කළා. එහි දී වතිකානුව ද එක්ව ඇයව කතෝලික ප්‍රජාවෙන් නෙරපා දමන්නට පවා සූදානම් වුණා.

ලේඩි ගාගා  


කෙසේ නමුත් බුර්කාවෙන් සැරසුණු, මුස්ලිම් නොවන එකම කාන්තාව මැඩෝනා පමණක් නෙවෙයි. මෙයට පෙර විවිධ හේතු කාරණා නිසා බුර්කාවෙන් සැරසුණු ප්‍රකට කාන්තාවන් කිහිප දෙනෙක්ම දකින්නට ලැබුණා. එවන් එක් තැනැත්තියක් වන්නේ ඇමරිකානු ගායිකාවක වන ලේඩි ගාගා යි. ඒ ඇය විසින් එළිදැක්වූ බුර්කානම් ගීතය සඳහායි. ඇය එහිදී බුර්කාවකින් සැරසී වීඩියෝ දර්ශනයකට ද පෙනී සිටියා. කෙසේ නමුත් එයින් වැරදි පණිවිඩයක් ලෝකයාට ලබා දෙන බව පවසමින් මුස්ලිම් කාන්තාවන් එයට එරෙහිව අදහස් දක්වනු ද දක්නට ලැබුණා.  

බියොන්සේ  

ඇමරිකානු ගායිකාවක වන බියොන්සේ ද බුර්කාවකින් සැරසී සිටිනු මාධ්‍යවල පළවුණා. එය සහමුලින්ම බුර්කාවක් නොවුනත් සෑම අතින්ම බුර්කාවකට සමානත්වයක් දැක්වුණා. ඒ 2013 වසරේ දි. ඇය යම් පටිගත කිරීමක් සඳහා සහභාගී වී ලොස් ඇන්ජලිස් චිත්‍රගාරයෙන් සොරෙන් පිට වී යමේ අරමුණින් මෙසේ බුර්කාවකට සෑම අතින්ම සමාන ඇඳුමකින් සැරසී සිටි බවයි පසුව දැනගන්නට ලැබුණේ.


M.I.A.


ඉංග්‍රීසි ජාතික ගායිකාවක වූ M.I.A. හෙවත් මාතාන්ගි අරුල්ප්‍රසාගම් ද එක් අවස්ථාවක ප්‍රසිද්ධියේ බුර්කාවකින් සැරසී සිටියා. ද්‍රවිඩ ජාතික කාන්තාවක වූ ඇය වරක් එල්.ටී.ටී.ඊ, සංවිධානය වෙනුවෙන් යම් ගීතයත් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද මාධ්‍යවල ආන්දෝලනාත්මක සිද්ධියක් ඇති කළා. ඇය මෙසේ බුර්කාවකින් සැරසී සිටියේ 2010 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් හි පවත්වන ලද ස්ක්‍රීම්නම් සංගීත සම්මාන උළෙලට සහභාගී වීම සඳහායි.  

ගිසෙල්


ගිසෙල් බුන්ඩ්චෙන් කියන්නේ බ්‍රසීල ජාතික මෝස්තර නිරූපිකාවක් වගේම නිළියක්. ඇය 2015 වසරේ පැරිසියේ දී බුර්කාවකින් සැරසී සිටිනු මාධ්‍යවල පළ වී තිබුණා. ඇය පැරිසියට පැමිණ තිබුණේ ප්ලාස්ටික් සැත්කමක් සිදුකර ගැනීම සඳහායි. ඇමරිකානු ඩොලර් 11,000 ක් පමණ වැය වූ මේ ප්ලාස්ටික් සැත්කම් සඳහා පැමිණෙනු ලෝකයෙන් සැඟවීම සඳහා ඇය බුර්කාවකින් සැරසී පැමිණියත් මාධ්‍යවලින් එය සඟවාගන්නට හැකියාවක් තිබුණේ නැහැ.

මල්ලිකා ෂෙරාවත්

බොලිවුඩ් රංගන ශිල්පිනියක වූ මල්ලිකා ෂෙරාවත් ද බුර්කාවකින් සැරසී සිටිනු මාධ්‍යවල පළ වී තිබුණා. බුර්කාවකින් සැරසී සිටින්නට ඇය අදහස් කොට තිබුණේ මුම්බායි ගුවන් තොටුපළේ දී මාධ්‍යවේදීන්ට නොපෙනෙන සේ එයින් පිටව යාමටයි. නමුත් සියලු මාධ්‍ය ඇය කවුදැයි හඳුනාගෙන ඇයව ඡායාරූපයට හසුකරගෙන තිබුණා. ඇයගේ වෙනත් අරමුණක් තිබුණාදැයි තොරතුරක් දැනගන්නට ලැබුණේ නැහැ.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න