පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, May 28, 2019

අපටත් මෙහෙම නායකයෙක් හිටියා නම් හෙවත් නායකයන් වූ සරල මිනිස්සු

නායකයෙක් කියන්නේ කවුද? නායකයෙක් කියන්නේ තමන් නිවැරදි මාර්ගයේ ගමන් කරමින් තමන්ගේ අනුගාමිකයන්ට ද  නිවැරදි මාර්ගයේ, නිවැරදි විදියට ගමන් කරන්න පෙන්වා දෙන කෙනෙක්. අපේ රටේ නායකයන් සහ ලෝකයේ නායකයන් දෙස බලද්දි මේ ආදර්ශය ලබා දෙන කී දෙනෙක් ඉන්නවාද කියා මඳක් නැවතී සිතා බැලිය යුතු කාලය එළැඹ තියෙනවා. මෙසේ සිය අනුගාමිකයන්ට නිවැරදි ආදර්ශයක් ලබා නොදෙන නායකයන් අතරේ සිය ජීවිත ඉතා සරලව, නිවැරදිව ගෙවමින් ලෝකයට ආදර්ශයක් වූ නායකයන් අතලොස්සක් ද දකින්න පුළුවන්. සිටින්නේ අතලොස්සක් වුවත්, ඔවුන් ගැන දහසක් දේ කතා කරන්න පුළුවන්. ඒ දහසක් දේ අතරින් පිටුවකට කැටි කරගන්න පුළුවන් ස්වල්පයක් හෝ මෙසේ කතා කරන්න ලැබීමත් වාසනාවක්. 

උරුගුවේ හිටපු ජනපති ජෝසේ මුජිකා


උරුගුවේ හිටපු ජනපති ජෝසේ මුජිකා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලෝකයේ සිටි දුප්පත්ම ජනපතිහැටියටයි. එහෙම කියන්න හොඳ හේතුවක් තියෙනවා. ජෝසේ මුජිකා කියන්නේ උරුගුවේ රාජ්‍යයේ තිබූ වාමාංශික විමුක්ති සංවිධානයක් වුණු ටුපුමාරොස්ගරිල්ලා සංවිධානයේ හිටි සටන්කරුවෙක්. ඒ 1960 සහ 1970 දශකවල. මේ සටන්වලදී කිහිප වතාවක්ම වෙඩි වැදීම්වලට ලක් වූ ඔහු දරුණු තත්වයන් යටතේ වසර 14 ක් සිරගතව සිටියා. කෙසේ වෙතත් 2009 වසරේ ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනපති ලෙස තේරී පත්වීමෙන් පසු සිය වැටුපෙන් 90%ක්ම පුණ්‍යායතනවලට පරිත්‍යාග කළා. සැප පහසු ජනපති මන්දිරය ප්‍රතික්ෂේප කළ ඔහු බිරිඳ සමග ජීවත් වන්නට තෝරා ගත්තේ සිය ගොවිපළේ ඇති කුඩා නිවසයි. මේ කාලය තුළ ඔහුට තිබූ එකම වත්කම වූයේ ෆොක්ස්වැගන් බීට්ල් රථයක් පමණයි. ඔහු ජනපතිව සිටි කාලයේ ලෝකයේ නායකයන් පොදු ජනතාවගේ මුදලින් සැප විඳින ආකාරය නිර්දය ලෙස විවේචනයට ලක් කළා.

මලාවි රාජ්‍යයේ හිටපු ජනපතිනි ජොයිස් බන්ඩා



ජොයිස් බන්ඩා කියන්නේ මලාවි කියන අප්‍රිකානු රාජ්‍යයේ පළමු ජනපතිවරියයි. ඇය ජනපති තනතුරේ වැඩකටයුතු ආරම්භ කිරීමත් සමග ඇයගේ පරිහරණය සඳහා වෙන්ව තිබූ ජෙට් යානය සහ පරිවාර මර්සිඩිස් රථ 60 විකුණා දැමුවා. ඒ සිය රටෙහි පරිහානියට පත්ව තිබූ ආර්ථිකය යළි ගොඩ ගැනීමට දායක වීමක් හැටියටයි. එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තු සඳහන් කළේ ඇය මේවා විකිණීමෙන් ලබා ගත් ආදායමෙන් මිලියනයකට අධික ජනගහනයක කුසගිනි නිවන්නට හැකි වූ බවයි.



නේපාල හිටපු අගමැති සුෂිල් කොයිරාල



1939 උපන් සුෂිල් කොයිරාල කියන්නේ නේපාලයේ 37 වැනි අගමැතිවරයායි. ඔහු 2014 පෙබරවාරි මාසයේ සිට 2015 ඔක්තෝබර් මාසය දක්වා එරට අගමැති තනතුරේ සිටියා. නේපාලය කියන්නේ දියුණු රටක් නොවුනත් අපේ රටේ වගේම එහේ දේශපාලනඥයින් බොහෝ දෙනෙක් මහ ධනවතුන්. නමුත් අගමැතිවරයා ලෙස සුෂිල් කොයිරාල සතුව තිබූ එකම වත්කම වූයේ ජංගම දුරකතන තුනක් පමණක් බව වාර්තා වෙනවා. ඒ හැරුණු කොට ඔහුගේ නමට ඇති කිසිදු දේපළක් නේපාලයේ නොමැති බවයි කියැවෙන්නේ. මෙයින් එකක් ඇපල් අයිෆෝනයක් වන අතර තවත් එකක් අක්‍රියාකාරී තත්වයේ පවතිනවා. ඔහු අග්‍රාමාත්‍ය නිල නිවසට යන්නට පෙර සිටියේ කුළී නිවසක බවත්, නගරයට අගනුවරට යන්නට සිදුවන සෑම විටකම හෝටල් සඳහා අධික මුදලක් වැය නොකොට, නගරබදව ජීවත් වූ සිය සොයුරාගේ කුඩා නිවසේ නතර වී සිටින්නට පියවර ගෙන තිබූ බව බී.බී.සී. පුවත් සේවය පවසනවා.

නෙදර්ලන්ත අගමැති මාර්ක් රුට්ටේ




මාර්ක් රුට්ටේ කියන්නේ වර්තමාන නෙදර්ලන්ත අගමැතිවරයා.  මුල් කාලයේ දේශපාලනයට පැමිණෙන්නන්ට අදහසක් නොතිබුණු ඔහු අගමැතිවරයා වන්නට පෙර වසර 10 ක්ම ගත කළේ කර්මාන්ත අංශයේ. කෙසේ වෙතත් මෑතකදී ඔහු ලෝකයේ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඒ ඔහු සිය රාජකාරිය තුළ දී පෙන්වා ඇති නිහතමානී ක්‍රියාවන් නිසයි. පසුගිය වසරේ ජූනි 4 වැනිදා නෙදර්ලන්ත පාර්ලිමේන්තු මැඳුරේ දී ඔහු පානය කරමින් සිටි කෝපි කෝප්පයෙන් ස්වල්පයක් බිමට වැටුණා. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී නායකයෙක් පමණක් නොව කාර්යාලයක සේවය කරන කෙනෙකු පවා එහි කම්කරු සේවකයකු අමතා එය පිරිසුදු කරන මෙන් ඉල්ලා සිටීමයි. නමුත් නෙදර්ලන්ත අගමැතිවරයා තමා අතින් සිදු වූ වරද පිළිගනිමින්, තමා පෞද්ගලිකවම එය පිරිසුදු කරන්නට ඉදිරිපත් වුණා. මෙය ලෝකයේ සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය වීමත් සමග සිය රටේ ජනතාවගෙන් පමණක් නොව මුළු මහත් ලෝකයෙන්ම ඔහුට පැසසුම් ගළා ආවා. ඔහුගේ සරල බව පෙන්වන තවත් ක්‍රියාවක් වන්නේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන ආකාරයයි. ඔහු බොහෝ විට පැමිණෙන්නේ සිය පාපැදියෙන්. ලෝකයේ ඇතැම් රටවල පාපැදියෙන් ගමන් කරන දේශපාලුවන් වටා ආරක්ෂකයන් සහ ආරක්ෂක රථ බොහොමයක් තිබුණත්, නෙදර්ලන්ත අගමැතිවරයා වටා මේ කිසිවක් දකින්නට නැහැ.




නවසීලන්ත කාන්තා කටයුතු ඇමතිනී ජූලි ඈන් ජෙන්ටර්



ජූලි ඈන් ජෙන්ටර් කියන්නේ ඇමරිකානු උපතක් ඇති නවසීලන්ත ජාතික දේශපාලඥවරියක්. පසුගිය වසරේ දී ඇය පිළිබඳ වාර්තා වුණු පුවතකින් කියැවුණේ දේශපාලඥවරියක ලෙස ඇය පෙන්වා ඇති සරලභාවයයි. සාමාන්‍යයෙන් අප රටේ වුවත් ඇතැම් අවස්ථාවලදී සිය ගමන් බිමන් සඳහා  දේශපාලඥයන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පවා රජයේ යාන වාහන භාවිත කරන අවස්ථාවන් දකින්නට ලැබෙනවා. නමුත් නවසීලන්ත කාන්තා ඇමතිනිය සිය ප්‍රථම දරු උපත සඳහා රෝහලට පිටත්ව ගොස් තිබුණේ සිය පාපැදියෙන්. මේ පුවත ලොව පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියා. ඇය සිය ප්‍රථම දරු උපත සඳහා තෝරා ගෙන තිබුණේ ද ඕක්ලන්ඩ් රජයේ රෝහල වූ අතර එහිදී ඇය දියණියක බිහි කළා.


වර්තමාන පාප් වහන්සේ




කතෝලික සභාවේ වර්තමාන නායකත්වය දරණ ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ද ලෝකයේ සරලතම නායකයෙක් ලෙස පිළිගැනෙනවා. අනෙකුත් නායකයන් පිළිබඳ සලකා බලන නිර්වචනයෙන් පාප් වහන්සේ දේශපාලන නායකයකු ලෙස නොසැලකෙන්නේ වුවත්, එතුමා ලෝකයේ සෙසු නායකයන් අතර අතිශය ප්‍රබල චරිතයක් බව අමුතවෙන් කිව යුතු නැහැ. ෆ්‍රාන්සිස්යන පූජක නාමය දරන්නට පෙරාතුව හෝර්හේ මාරියෝ බෙර්ගොග්ලියෝ නම් වූ එතුමාගේ නමට වාර්ෂික ආදායමක් නැති බවයි පැවසෙන්නේ. මෙතෙක් වතිකානයේ නායකත්වයට පත් පාප්වරුන් අතරේ මෙතුමා විප්ලවීය චරිතයක් ලෙස මතුව තිබෙනවා. පාප් වහන්සේලාට හිමි මන්දිරයක් තිබිය දී එතුමා ජීවත්වන්නට ඉතා සරල නිවසක් තෝරා ගෙන තිබෙනවා. මිලෙන් අඩු, සැරසිලිවලින් තොර ඇඳුමක් තෝරාගෙන ඇති එතුමා කිතුනුවන්ට නිතරම ලබා දෙන ආදර්ශය නම් උදව් අවශ්‍ය දුප්පතුන්ට නිතරම පිහිට වන ලෙසයි.



4 comments:

  1. හොසේ මුහිකා යි, මාක් රූටේ යි ගැන විතරයි අහල තිබුණෙ. ගොඩක් ස්තූතියි විස්තරේට...

    ReplyDelete
    Replies
    1. අපිටත් මෙහෙම කෙනෙක් පහළ වුනොත් නම් රට ගොඩ යයි. නැත්නම් මේ විදියට ගියොත් වල පල්ලට යයි.

      Delete
  2. Replies
    1. ස්තූතියි යාළුවා

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න