Thursday 31 January 2019

නිර්නාමිකයෙකු ලියූ 2018 ස්වර්ණ පුස්තක ග්‍රන්ථ විචාරය - Anonymous book reviews



මා 1995 වසරේ අප්‍රියෙල් මස ලංකාවෙන් ඕස්ටේ‍ර්ලියාවට සංක්‍රමණය කළ පසු පහළොස් වරක් ලංකාවට ගොස් ඇති නමුත් සැප්තැම්බර් මාසයක ලංකාවේ සිට ඇත්තේ දෙවරක් පමණි. ඒ 2012 වසරේ දී සහ 2018 වසරේ දී ය.

පසුගිය සැප්තැම්බරයේ ලංකාවට ගිය මට දිගු කලක සිට අසා තිබුණු ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදාන උත්සවය නැරඹීමට හැකි විය. ආරාධිත අමුත්තන්ට පමණක් සහභාගී විය හැකි ඒ සාහිත්‍ය උත්සවය සඳහා මට අවස්ථාව ලබා දුන්නේ විදර්ශන ප්‍රකාශන ආයතනය හිමි ජනක ඉණිමංකඩ විසිනි.

එදා පැවති ස්වර්ණ පුස්තක සම්මාන උත්වයේ දී අවසන් වටයට තේරී තිබුණේ:
  • චක්‍ර (ජයතිලක කම්මැල්ලවීර)
  • යකඩ සිල්පර (විමල් උදය හපුගොඩආරච්චි)
  • අසනග වැසි (දර්ශනා ශම්මි විජේතිලක)
  • වරණ (පද්මිණී සෙනෙවිරත්න) සහ
  • අප්පච්චි ඇවිත් (සමන් වික්‍රමාරච්චි) යන නවකතා පහ ය.
ලංකාවේ නිවාඩුව ගත කර, මා ආපසු නිවසට පැමිණෙන විට ගෙන ආ කිලෝ විසි දෙකක් බරැති පොත් අතර ස්වර්ණ පුස්තක සමමාන අවසන් වටයට තේරුණු ඉහත පොත් පහ ද විය.

පහත දැක්වෙනුයේ මා ගෙනා ඒ පොත් කියවූ නිර්නාමික පාඨකයෙකු විසින් මගේ ඇරයුමෙන් ඒ පිළිබඳව තමන්ගේ අදහස් කෙටියෙන් ලියා දැක්වූ අයුරුයි.

පොත් කියූ පාඨකයා ලියා ඇත්තේ තමන්ට ඒ පොත් ගැන සිතුණු දෙය ය.

මේ කෙටි සටහන් කියවා ඒවා ලියූ පාඨකයාගේ වතගොත පිළිබඳව ඔබට අනුමාන කළ හැක්කේ කවර කරුණු ද යන්න පවසන්න.

දැන් මෙන්න ඒ නිර්නාමික පාඨකයාගේ අදහස්.


වරණ
නවකතාවක් ලෙස ඉතා සාර්ථකයි. එහෙත් ඉතිහාසය වෙනස් කිරීම ගැන සමාවක් දිය නොහැක. එනම්, ඇහැලේපොළ කුමාරිහාමි සහ දරුවන් ගැන ඉතිහාස කතාව බොරුවක් බව පැවසීම සහ සීතාවක රාජසිංහ රජතුමා තමාගේ පිය රජතුමා වන මායාදුන්නේ රජ මැරැව්වේ නැති බවත්, මායාදුන්නේ රජතුමා සිය කැමැත්තෙන් ම රජකම රාජසිංහ රජතුමාට පැවරූ බවත් පැවසීම.

යකඩ සිල්පර
ඉතාමත් සාර්ථක නවකතාවකි. ඒ කාලයේ මිනිසුන් ගැන ගම්බද පරිසරය ගැන බොහොම අපූරුවට ලියා ඇත. මුලින්ම දුම්රිය මාර්ගයක් තැනීම ගැන විස්තරය ඒ ගැන හොඳ අධ්‍යයනයක් කර ලිවිය යුතුය. එය සාර්ථක අන්දමින් ලියා ඇත.

චක්‍ර
නවකතාවක් ලෙස පොතේ මුල් කොටස බොහොම සාර්ථකයි. අග කොටසේ දේශපලානය, රුවන් ඕස්ටේ‍ර්ලියාවේ ගතකරන විලාසය වාර්ථාවක් වගේ කිලයි මට හිතෙන්නේ.

අසනග වැසි
ඉතා සාර්ථක නවකතාවක් යැයි කිව හැක. පුරාණ කතරගම විස්තර ඉතා අලංකාර ලෙස ලියා ඇත. අපට සිදුවන හිත් නරක්වීම් අපේ පෙර අකුසල කර්මවල ඵල විපාක බව කතුවරිය පැහැදිලිව තේරුම් කර දෙයි. ආලත්ති අම්මාවරු ගැන, නොයෙක් බෙහෙත් වර්ග ගැන, ඒ පළාතේ කෑම බීම ගැන, දේවාල පෙරහැර ගැන විස්තර හොඳ අධ්‍යයනයක් කර ලියා ඇති බව පෙනේ.

අප්පච්චි ඇවිත්
කතාවේ මුල සිට මානසික ලෙඩෙක් ගැන කියැවේ. පොතෙන් හතරෙන් එකක් ම උසාවියේ නඩු ඇසීමට වෙන් කර ඇත. අනෙක් නවකතා ඒ ඒ පරිසර ගැන හොඳ අධ්‍යයනයක් කර ලියා ඇතත් මෙහි ඇත්තේ මානසික ලෙඩෙක් ගැන පමණි.

නැවතත්, මා මෙය කියවන ඔබෙන් කරන ඉල්ලීම මෙයයි.

මේ කෙටි සටහන් කියවා ඒවා ලියූ පාඨකයාගේ වතගොත පිළිබඳව ඔබට අනුමාන කළ හැක්කේ කවර කරුණු ද?

ස්තුතියි

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ පොත් පහෙන් මා මේ වන විට කියවා ඇත්තේ "වරණ" නවකතාව පමණි. මා මේ වන විට ඉන්නේ "අප්පච්චි ඇවිත්" නවකතාවේ හරි මැද ය. ඉඩ ලද පරිදි පොත් සියල්ල කියවන්නටත්, ඒ පිළිබඳ කෙටියෙන් හෝ මගේ අදහස් දක්වන්නටත් අදහස් කරමි.

25 comments:

  1. අපිට සිංහල බැරි නිසා අපි මේ ජරා පොත් බලන්නේ නෑ.

    ReplyDelete
  2. මමත් ඔය පොත් පහම ගිය සැප්තැම්බර්වලම ගත්තට මොකද තවමත් කියවන්න වෙලාවක් ලැබුනෙ නෑ. අප්පච්චි ඇවිත් පොත යාළුවෙක් අරගෙන ගිහින් ගෙනල්ල දුන්නෙත් නෑ. ලබන සැප්තැම්බර්වලටවත් කලින් ඔක්කොම ගතිපු පොත් ටික කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මගේත් පොත් කියවීම සෑහෙන්න අඩුවෙලා.

      Delete
  3. ඔබේ විචාරයත් බලාගෙන ඉන්නවා .

    ReplyDelete
  4. යකඩ සිල්පර,අසනග වැසි- agreed.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඒ ප්‍රතිචාරයට.
      අනිත් කොටස් ගැන ඇති විරුද්ධතාවය මොන වගේ ද?

      Delete
    2. වරණ - supernatural stuff.
      චක්‍ර - not my type.
      අප්පච්චි ඇවිත් - not read.

      Delete
  5. පාඨකයා අනිවාර්යයෙන්ම ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ගැන අපැහැදිමකින් ඉන්න කෙනෙක්.. :D :D :D

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ. මේ කියන පාඨකයා එවැනි සම්මාන උළෙලක් ගැන දැන ගත්තේ ද මං කිව්වාට පසුවයි!

      Delete
  6. ඔය පොත් අතරින් මා කියවා තිබෙන්නේ "වරණ" පමණයි.සම්මාන දිනු "අප්පච්චි ඇවිත්" කෘතියට වඩා "යකඩ සිල්පර" කෘතිය ඉදිරියෙන් තියෙනවා කියා තවත් තැන්වල කියවූවා මතකයි.

    ReplyDelete
    Replies
    1. අප්පච්චි අඩක් කියවූවෙමි. බලමු යකඩ සිල්පරත් කියවලා!

      Delete
  7. බයියෙක් නේද?

    ReplyDelete
    Replies
    1. තමන් මොනවා කළත් මරාට කැමති බව මේ පාඨකයා වෙනත් දිනයක කීවා මතකයි!

      Delete
  8. ප්‍රා ජේ වත් ඔස්ට්‍රේලියාවට ආවද?

    ReplyDelete
    Replies
    1. මේ පාඨකයාගේ මතය ප්‍රාජේගේ මතය හා සමපාත වෙන්නේ පොත් දෙකක් සඳහා පමණයි.

      Delete
  9. //මේ කෙටි සටහන් කියවා ඒවා ලියූ පාඨකයාගේ වතගොත පිළිබඳව ඔබට අනුමාන කළ හැක්කේ කවර කරුණු ද?//

    ඒ මොවුන්ගෙන් කෙනෙකු විය හැකියි;

    01. ආචාර්ය මීවනපළානේ ජයරත්න
    02. විමල් වීරවංශ
    03. උදය ගම්මන්පිල
    04. ආචාර්ය නලීන් ද සිල්වා
    05. ආචාර්ය ගුණදාස අමරසේකර
    06. ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුන්ග

    මේ වගේ ඔබේ සමීප මිතුරෙක් විය යුතුයි. නැත්නම් මෙවැනිම අදහස් දරන වෙනත් පුද්ගලයෙක්. මම නිවැරදි නේද?

    ReplyDelete
    Replies
    1. මේ පාඨකයාගේ එවැනි දැඩි සෘජු දේශපාලන දිශානතියක් ඇති අයෙකු නොවේ!

      Delete
  10. රසික යළිත්
    ටික කලකට පස්සේ
    අජිත්ගෙ රුව
    හැමදාමත් දැකලා
    එපා වෙලා
    වාගේ මං හිටියේ

    "චක්‍ර" හොඳයි
    මං දිගට කියෙව්වා
    ජයතිලක මගේ
    හිතගිය මිනිහෙක්

    "යකඩ සිල්පර" ද
    නරකම නැතුවා

    "පිච්චමල" ට
    මං තාමත් ආසයි

    කාන්සියක් මගෙ
    හිතට දැනෙනකොට
    "ලස්සණ ඇස්"
    අත් දෙකට ගන්නවා

    ReplyDelete
    Replies
    1. ලස්සන ඇස් - කරුණාසේන ජයලත්
      මාත් කැමතිම පොතක්!

      Delete
  11. Gathanugathika bauddayek
    Narrow minded
    around 50-60 years old
    tikak napurui wage
    a woman

    ReplyDelete
    Replies
    1. කාන්තාවකි. ඔබ හරි.
      නපුරු බවක් නම් නොදිටිමි.
      වයස අවුරුදු 80 කට ආසන්නය.
      ගතානුගතික බෙෘද්ධයෙකු ලෙස සැළකිය හැක, එනිසා නම් පටු චින්තනයක් ඇති බව කීම අසාධාරණ නැත. වරණට දැක්වූ විරෝධය නිසා ද එසේ සිතේ.

      Delete
  12. ඔබ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණයවු පසු කොපමණ වරක් ලංකාවට අවා ගියා කියා අපට වැදගත් නැත. අපට අවශ්‍ය වන්නේ සත්‍ය දැනගැනීම පමණයි. ඔබ විසින් කියන අසත්‍ය නිසා තවත් කෙනුකු අමාරුවේ වැටෙනවා දකිනවා අහනවා කියා දැනගන්න අපට අවශ්‍ය නැත. මෙය ඔබවිසින් ඇතිකරගත් කයිවාරු ගැසීම නිසා ඇතිකරගත් දෙයක්

    රසික සුරියආරච්චි ඔබ අද දිනයෙවත් සත්‍ය පවසයි කියා අප බලාපොරොත්තුව සිටියා නමුත් එය සිතාමතාම මගහරිමින් කොමන්ට්ස් වැඩිකර ලබාගැනීමේ පරමාර්ථයෙන් එසේ කරනවාදෝ සැකයක් මතුවෙමින් ද පවතී. මෙමෙගින් පෙනීයන්නේ මෙය කියවන සමාජය ඔබ වංචාකර නීච පුද්ගලයකු සේ සලකා සිටීමයි

    එමනිසා තව දුරටත් වංචාව බොරුව පමණක් නොව කපටි කමින් තවත් ලොව මුලා නොකර හැකිනම් සත්‍ය තාවය පෙන්වන්න.වෙන තර්කයන් අවශ්‍ය නැත එවිට අප ඔබ සර්වසාදාරණ පුද්ගලකු කියා පිළිගන්නම් මෙය මග හැර යාමෙන් පලක් නැත අප පුනා පුනා ඉලාසිටින්නේ සත්‍යයි ඔබ ලංකාවේ ද්විත්ව පුරවැසි බාවය ලැබුණු දිනය සහ එම ලියවිල්ල පෙන්වා සිටින්න.

    ජයවේවා!!!! ජයසුමන

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.