Main Logo

Friday 16 August 2019

ජාතික අපේක්‍ෂකයා හා මෛත්‍රිපාල

                  සිංහල ලිත් ඉලක්කම්   



ජාතික අපේක්‍ෂකයා හා මෛත්‍රිපාල 

දේශපාලනඥයන් කියන කතා පළමුවත්, දෙවනුවත්, තුන්වැනුවත් විශ්වාස නොකළ යුතුයි. ඉන් පසුවත් විශ්වාස කළ යුත්තේ කල්පනා කිරීමෙන් හා තාර බර ඇරීමෙන් පසුවයි. මෛත්‍රීපාලත් දේශපාලනඥයෙක්. ඔහු විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට කළ ප්‍රකාශ විශ්වාස කළ අයට දෙවියන්ගේ ම පිහිටයි. මෛත්‍රීපාලට උපදෙස් දෙන අය අතර දක්‍ෂයන් නැහැ. සුවාදීන බත් බැළයන්, ඉන්දීය ඒජන්තයන්, පශ්චාත් පශ්චාත් නූතනවාදීන් (පශ්චාත් නූතනවාදය තම හිත සුව පිණිස පසු කළ යන අර්ථයෙන්- ඔවුන් ජනමාධ්‍යයෙහි, දේශපාලනයෙහි, සිනමාවෙහි, සාහිත්‍යයෙහි, සංගීතයෙහි, විශ්වවිද්‍යාලවල, ඊනියා පර්යේෂණ ආයතනවල සහ තවත් ගුබ්බෑයම්වල දැක ගන්න පුළුවන්. මුහුණු පොතෙහි නම් තවමත් පශ්චාත් නූතනවාදීන් කිහිප දෙනකු ඉන්නවා) ආදීන් ඉන්නවා. පළාත් සභා මැතිවරණ කල් දැමීමට ක්‍රියා කළ මෛත්‍රිපාල අද සුවාදීනයන්ගේ උපදෙස් මත ඒ පැවැත්මීමට හැකි ද කියා බලනවා. ඒ අතර දයාසිරි වැන්නවුන් ශ්‍රී ල නි පක්‍ෂය තව තවත් දිය කරන්න වෙහෙස ගැනීමේ දී පළාත් සභා මැතිවරණ පැවැත්වීමටත් අනුබල දෙනවා. 


මෛත්‍රිපාල, වියන්ගොඩ රත්නප්‍රිය කල්ලියේ ඊනියා බලාපොරොත්තු බිඳ දැම්මා. රාජ්‍ය නොවන දාසයන් සෝභිත හාමුදුරුවන් අල්ලා ගෙන ඊනියා සාධාරණ සමාජ කතාවක් පටන් ගත්තා. සෝභිත හාමුදුරුවන් ප්‍රසිද්ධියට කැමැත්තක් දැක්වූවා. පළාත් සභා ඇති කිරීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන්න වලංගු වූයේ නැහැ. අද පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි.

ශ්‍රී ල නි පක්‍ෂය 1952 පමණ සිට 2018 පෙබරවාරි මසට පසුව යම් කාලයක් යන තුරුත් මෙරට ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය වූවා. අද ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය ම එ පෙරමුණයි. පොහොට්ටුව තවමත් ජාතිකත්වයේ පක්‍ෂයක් නො වෙයි. එය ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය බවට පත් කර ගැනීමට අප ආධාර කළ යුතුයි. ම එ පෙ අද ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය වුණාට විශාල ජනබලයක් නැහැ. 

පොහොට්ටුව ජාතිකත්වයේ පක්‍ෂයක් නොවන නිසාත් ගෝඨාභය වෙනත් පක්‍ෂයකින් ඉදිරිපත් වීම සුදුසුයි. කෙසේ වෙතත් ඔහු ජාතික අපේක්‍ෂකයා මිස පක්‍ෂයක අපේක්‍ෂකයකු, ඊනියා පොදු අපේක්‍ෂකයකු නො වෙයි. පඬියකු ප්‍රකාශ කරන්න පුළුවන් ජාතික අපේක්‍ෂකයා, පක්‍ෂයක අපේක්‍ෂකයකු නොවන්නකු, වෙනත් පක්‍ෂයකින් ඉදිරිපත් කිරීමට කීම විසංවාදයක් නොවේ ද කියා. පඬියා කියන්න පුළුවන් මා පොහොට්ටුව සමග ඇති වෛරය නිසා ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා විය යුතු යැයි ප්‍රකාශ කරන බව. අද පවතින නීතිය අනුව මන්ත්‍රීවරයකු ව නොසිටි ගෝඨාභය දේශපාලන පක්‍ෂයකින් ම ඉදිරිපත් වෙන්න ඕන. ජාතික අපේක්‍ෂකයා එතරම් ප්‍රසිද්ධ නැති දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් විය යුතු යැයි මා කියන්නේ එබැවිනුයි. දේශපාලන පක්‍ෂයක නොවන අපේක්‍ෂකයකු දේශපාලන පක්‍ෂයකන් ඉදිරිපත් කෙරෙන්නේ චතුස්කෝටික න්‍යාය අනුව හා ජේ ආර්ගේ ව්‍යවස්ථාව අනුව මිස ඇරිස්ටෝටල්ගේ ද්විකෝපටික න්‍යාය අනුව නො වෙයි.  

මා හිතන්නේ  නැහැ ශ්‍රී ල නි ප ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කරාවි කියා. අද ඒ පක්‍ෂයට 2018 පෙබරවාරියේ තිබූ ශක්තියවත් නැහැ. ශ්‍රී ල නි පක්‍ෂයට හිතවත් බොහෝ අය ජාතිකත්වයේ. පැරණි වාම කේන්ද්‍රිකයනුත් ටික දෙනෙකුත් හිටියා. අද ඒ සියල්ලන් ම පාහේ ගෝඨාභය වටා රොක් වෙමින් ඉන්නවා. ඔවුන් සිතනවා පොහොට්ටුව ජාතිකත්වයේ (වාම කේන්ද්‍රීය) පක්‍ෂයක් කියා. පොහොට්ටුව වටාත් සුවාදීනයන්, සිංහල විරෝධීන් ඉන්නවා. ඒ වර්ධරාජ පෙරුමාල් පමණක් නො වෙයි. සිංහල කතා කරන සිංහල විරෝධීන් ඉන්නවා. හැම ප්‍රධාන පක්‍ෂයක් වටා ම ඉන්න අවස්ථාවාදීන් ගැන මා කියන්න යන්නේ නැහැ. පොහොට්ටුවට අවස්ථාවාදීන්ගෙන් නම් අඩුවක් වෙන එකක් නැහැ. 

පසුගිය දා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වොයිස්කට් ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවල හොඳ පිළිතුරු ලබා දී තිබුණා. ඇය කියා තිබුණේ ශ්‍රී ල නි පාක්‍ෂිකයන් හා අනුගාමිකයන් අද එහි නැති බවත් ඔවුන් ගෝඨාභය තම අපේක්‍ෂයා ලෙස සලකන බවත්. ඇය යොදා ගත් වචන මට හරියට ම මතක නැහැ. එහෙත් ඇය කියා තිබුණේ එවැනි කතාවක්. මෙය ඉතා වැදගත්. 

ගෝඨාභය පක්‍ෂයකට සීමා කළ යුතු නැහැ. එදා ගෝඨාභය ඉදිරිපත් කරමින් පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයේ දී මහින්ද රාජපක්‍ෂ කියා සිටියේ ගෝඨාභය තෝරා ගනු ලැබුයේ ජනතාව විසින් මිස තමා විසින් නොවන බව. මෙය මා දිගින් දිගට ම දැරූ ස්ථාවරයක්. තනතුරක් බලාපොරොත්තුවෙන් මහින්ද හෝ බැසිල් හෝ පසුපස යන්නන් වෙනත් කතාවක් කියාවි. එහෙත් ගෝඨාභය ඉදිරිපත් කිරීමේ ඉතිහාසය මා දන්නවා. 

මෛත්‍රිපාල තමා වටා සිටින කේවට්ටයන්ගෙන් මිදී ගෝඨාභයට ආධාර කළ යුතුයි. ඔහුට එසේ නොවේ නම් ඇත්තේ දේශපාලන වශයෙන් සිය දිවි හානි කර ගැනීමේ විකල්පය පමණයි. මෛත්‍රිපාලට සිහි එළඹ කර ගැනීමට කේවට්ටයන් නොවන්නන් ආධාර කළ යුතුයි. මෛත්‍රිපාල පමණක් නොව සරත් ෆොන්සේකාත් ගෝඨාභයට එකතු විය යුතුයි. ඔවුන් එකතු කර ගත යුතුයි. ඔවුන්ට යම් ජාතිකත්වයක් තිබෙනවා. ජාතිකත්වයක් යම් පමණකටවත් ඇති අය එකතු කර ගැනීමට ගෝඨාභය උත්සාහ දැරිය යුතුයි. ඔවුන් ජාතික අපේක්‍ෂකයාට ශක්තියක් වනු ඇති.