දොස්තර ශාෆිට ඊළඟට මොකක් වෙයි ද?

අජිත් පැරකුම් ජයසිංහ

මෙය නිතිමය විග්‍ර‍හයක් නොවේ. පුරවැසියන් ලෙස අපට නීතිය තේරෙන ආකාරය පිළිබඳ විග්‍ර‍හයකි. අධිකරණය තිබෙන්නේ යුක්තිය පසිඳලීමට ය. යමෙකුට අයුක්තියක් සිදු වී තිබේ නම් එම පුද්ගලයාට පොලිසියට හෝ වෙනත් විමර්ශන බලධාරියෙකුට හෝ අධිකරණයට හෝ පැමිණිලි කළ හැකි ය. එහෙත්, ඇතැම් ගැටලු විසඳාගන්නට අධිකරණයට පැමිණීම අනිවාර්ය නැත. අධිකරණයට මෙහා ක්‍රියාමාර්ග ඔස්සේ ඒවා විසඳාගත හැකි ය. උදාහරණයක් ලෙස මා ලියන මේ ලිපියෙන් ඔබට අයුක්තියක් සිදු වේ නම් අධිකරණයට යන්නට පෙර පුවත්පත් පැමිණිලි කොමිෂම වෙත ගොස් බේරුම්කරණයක් ඇති කරගත හැකි ය. මා වරදක් කර තිබේ නම් මා ඔබෙන් සමාව ගනු ඇත.
බොරුවට ද පැමිණිලි කළ හැකි ය. බොරු පැමිණිලි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි ය. බොරු පැමිණිලි විභාග කිරීම සඳහා පොදු සම්පත් වැය වන නිසා එය සාධාරණ ය.
පැමිණිල්ලක් ලද පසු එය සත්‍ය පැමිණිල්ලක් ද, බොරු පැමිණිල්ලක් ද යන්න පළමුව විභාග කළ යුතු ය. පැමිණිල්ල සත්‍ය නම් ඉන් අනතුරුව විමර්ශනයක් සිදු කර, සාක්ෂි ගොනුකරගෙන, උල්ලංඝනය වී තිබෙන නීති අනුව අධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබේ.
විමර්ශනය අතරතුර පුද්ගලයකු අත්අඩංගුවේ තබාගත හැකි ය. එහෙත්, එසේ කළ යුත්තේ එම පුද්ගලයාට අයුක්තියක් සිදු නොවන පරිදි ය. ඉංග‍්‍රීසි නීතිය පිළිබඳව 19වන සියවසේදී පළ වූ ග්‍ර‍න්ථයක ඒ.වී. ඩයිස් නම් බුද්ධිමතෙකු පවසන පරිදි නීතියට අනුව අත්අඩංගුවට ගැනීම වරදකි. එය වරදක් අවස්ථා දෙකක් පමණක් තිබේ.
  • යම් අපරාධයක් පිළිබද පරීක්ෂණයක් කරන්නේ නම් හෝ
  • එම පරීක්ෂණයෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම්
මෙම අවස්ථා දෙකෙන් පිටත අත්අඩංගුවක් ගැනීමක් සිදුවුවහොත් එසේ කරන නිලධාරියා අපරාධයක් සිදු කරයි. එම අපරාධය කිරීම පිළිබඳව ඔහුට දඬුවම් කළ යුතු ය. එසේ ම, අත්අඩංගුවට පාත‍්‍ර වූ වින්දිතයාට වන්දි ගෙවීම රජයේ යුතුකමකි.
මේ වන විට කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිදු සහාබ්දීන් මොහොමඞ් ශාෆි සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දුන් පරිදි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයට ආධාර අනුබල දීම සහ තව්හිද් ජමාත් සංවිධානයේ අරමුණු සාක්‍ෂාත් කර ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය.
මේ අතර දිවයින පුවත්පත සහ ජාතිකවාදී කඳවුරේ දේශපාලනයේ යෙදෙන වෛද්‍ය මහාචාර්යවරයකු වන චන්න ජයසුමන වැනි අය විසින් වෛද්‍ය ශාෆි සීසේරියන් සැත්කම් කරන අතරතුර අනවසරෙන් කාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක් කර ඇති බවට චෝදනාවක් ගෙන එන ලදී.
එම චෝදනාව අනුව යමින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වන ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරිකයකු බව ද කියන වෛද්‍ය සරත් වීරබණ්ඩාර විසින් ඉන් අනතුරුව වෛද්‍ය ශාෆිට එරෙහිව චෝදනා තිබේ නම් ඉදිරිපත් කරන්නැයි කරන ලද ඉල්ලීමක් ඒ පිළිබඳ මාධ්‍ය මගින් ලබාදෙන ලද දැවැන්ත ප්‍ර‍චාරයකින් පසුව කාන්තාවන් දහස් ගණනක් විසින් පැමිණිලි කරන ලදී.
වෛද්‍ය ශාෆි සීසේරියන් සැත්කම් අතරතුර අනවසරයෙන් වඳ සැත්කම් කිරීම හෝ පැලෝපීය නාලවලට හානි කිරීම හෝ සිදු කළා ද යන චෝදනාව ගැන පැමිණිලි කරන ලද අය අතරින් 500කට වැඩි පිරිසකගේ ප්‍ර‍කාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. ඔවුන් සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේදී එච්.එස්.ජී. නම් පරීක්ෂාව කරනවාට රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර විරෝධය පළ කළේ ය. විමර්ශනය කිරීම දැන් එම චෝදනාව මූලික වශයෙන් ම සිදු කළ පුද්ගලයා වන කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාට ම පැවරී තිබේ. එම විමර්ශනය සිදු කළ යුතු ආකාරය පිළිබඳ දැන් ඔහු ඇතුළු කමිටුවක් විසින් ජුලි 11දා අධිකරණයට නිර්දේශ ඉදිරිපත් කළ යුතුව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන අතුරලියේ රතන භික්ෂුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් දළදා මාළිගය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදී. නීති සම්පාදකයකු වන මෙම දේශපාලකයා ඉදිරිපත් කළේ අපූරු තර්කයකි. ඔහුට අනුව ශාෆිට එරෙහි චෝදනා ඔප්පු වී හමාර ය. ඔහුට දඬුවම් කළ යුතු ය. එහෙත්, ලංකාවේ නීතිය අනුව නම් එසේ කළ නොහැකි ය.
වෛද්‍ය ශාෆිගේ ආදායම් ඉපැයීම පිළිබඳව ද චෝදනාවක් තිබේ. මාධ්‍ය විසින් පවසන පරිදි ඔහුට කෝටි 400ක වත්කම් තිබේ. එහෙත් එකී තක්සේරුව සඳහා මූලාශ්‍ර‍යක් නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට වාර්තා කළ පරිදි වෛද්‍ය ශාෆිගේ මාසික ආදායම රු. 1,933,500කි. මේ රටේ වෛද්‍යවරුන් අතරින් ඇතැමෙකු මුදල් උපයන ආකාරය හා වෛද්‍ය ශාෆි කරන බව කියන ව්‍යාපාර අනුව එය එතරම් විශාල ආදායමක් නොවේ.
වෛද්‍ය ශාෆිට චෝදනා කළ කතාව අනුපිළිවෙලට ගැලපූයේ නම් මෙසේ විය යුතු ය. වෛද්‍ය ශාෆි ජාතික තව්හීද් ජමාත් සමග සම්බන්ධ ය. එම සංවිධානයේ අන්තවාදී ක්‍රියාවලට සහාය දක්වන්නෙකි. ඒ වෙනුවෙන් ඔහුට තව්හීද් ජමාත් සංවිධානයෙන් මුදල් ලැබේ. ඔහු ධනවතෙකු වී තිබෙන්නේ එසේ ය. ඔහු විසින් තව්හීද් ජමාත් සංවිධානයේ අරමුණු අනුව යමින් සිංහල ජනගහනය අඩු කිරීම සඳහා සිංහල කාන්තාවන්ට බලහත්කාරයෙන් වඳ සැත්කම් සිදු කර තිබේ.
එහෙත්, දැනට කර තිබෙන විමර්ශන අනුව, වෛද්‍ය ශාෆි තව්හීද් ජමාත් සමග සම්බන්ධයක් ඇති බවට සාක්ෂි හමු වී නැත. ඔහුගේ ඉපයීම්වලට තව්හීද් ජමාත් හෝ වෙනත් සංවිධානවලින් ලැබෙන අරමුදල් සම්බන්ධ ද යන්න ද හෙළි වී නැත. මේ සම්බන්ධ චෝදනා කළ මාධ්‍ය හෝ දේශපාලක බලවේග කිසිවක් විමර්ශනය සඳහා උපයෝගී කරගත හැකි පැහැදිලි තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී නැත. එසේ නම්, ඔහු සිංහල කාන්තාවන්ට වඳ සැත්කම් කළ යුත්තේ ඔහුගේ ම කිසියම් දැක්මකට, අභිමතයකට අනුව විය යුතු ය.
ඊළඟ ප්‍ර‍ශ්නය ඇත්තේ ඔහු විසින් කියන ලද ආකාරයේ වඳ සැත්කම් සිදු කළා ද යන්නයි. මෙය ඉතා බරපතල චෝදනාවක් බැවින් එම චෝදනාව සැකයකින් තොරව ඔප්පු කළ යුතු ය. නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතුව තිබෙන, නිර්වින්දන වෛද්‍යවරයකු, හෙදියන් ඇතුළු තවත් අය සම්බන්ධ වන සීසේරියන් සැත්කමක් අතරතුර සාමාන්‍ය වෛද්‍යවරයකු වන ශාෆි කාන්තාවන් වන්ධ්‍යාකරණය කළේ කෙසේ ද යන්න චෝදනා එල්ල කළ අය විසින් සැකයකින් තොරව ඔප්පු කළ යුතුව තිබේ.
කාන්තාවක බිහිකළ දරුවකු නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වෙනත් අයකුට ලබාදීමට ශාෆි ආධාර අනුබල දී ඇති බව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේ ය. මෙය ඔහු සම්බන්ධයෙන් එල්ල කරන ලද දරුණු අපරාධ චෝදනාවලට සාපේක්ෂව ඉතා සුළු චෝදනාවකි. මෙය බොහෝ විට දරුවන් නැති යුවලකට හදාවඩාගැනීම සඳහා දරුවකු ලබාගැනීමට කළ අනියම් උපකාරයක් විය හැකි ය. ඔහු වැනි ධනවතෙකුට එවැනි කාර්යයකින් ඉපැයිය හැකි මුදල වැදගත් වේ යයි සිතිය නොහැකි ය. එසේම, එම සිද්ධිය කුමන ජාතීන්ට සම්බන්ධ එකක් ද යන්න ද පැහැදිලි නැත.
මෙම සිද්ධිය විසින් අපට උගන්වන පාඩම කුමක් ද? ජාතිවාදයෙන් අන්ධ වූ විට ද කොරොස් කටේවත් අත දාගත නොහැකි ය. දිවයින පුවත්පත, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන, වෛද්‍ය සරත් වීරබණ්ඩාර, අතුරලියේ රතන හිමි තහ වඳ සැත්කම් කොරහට අත දැමීමට හදිසි වූ අය ඇත්තට ම අත නොව කකුල කටේ දාගත්තා විය හැකි ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා