Main Logo

Wednesday 12 June 2019

ආණ්ඩු දෙකේ ගැටුම අවසන් අදියරේ

ආණ්ඩු දෙකේ ගැටුම අවසන් අදියරේ



පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින පනහකට පසු (දින පනහේ ආණ්ඩුව මතක් වෙනවා) පසු මහින්ද රාජපක්‍ෂ මුස්ලිම් අන්තවාදය ගැන පැහැදිලි ප්‍රකාශයක් කරලා. ඔහු මුස්ලිම් දේශපාලනඥයන්ගේ සිංහලෙන් එකක් දෙමළෙන් තවත් එකක් දෙබිඩි ප්‍රතිපත්තිය ගැනත් මේ සියල්ල ජනාධිපතිවරණය සම්බන්ධයෙන් යොදා ගැනීමට ඇති හැකියාව ගැනත් කියනවා. මේ ටික කියන්න මෙච්චර කල් ගත්තෙ ඇයි?

  
හිස්බුල්ලා ඒ අතර සිංහලෙන් ද සිංහලයන් බය කරන්න හදනවා. තමන් ලෝකයේ ම මහජාතිය බව ඔහු පවසා තියෙනවා. අපට කියන්න ඇත්තේ ඉතින් මොකෝ යන්න පමණයි. ලෝක මුස්ලිම් ජනයා ජනවර්ගයක් නො වෙයි. ඔවුන් සංස්කෘතික වශයෙන් බැඳිලා ඉන්නෙ එක ම ආගමක් අදහන්නන් ලෙස. මුස්ලිම් සභ්‍යත්වය කියා එකක් ලෝකයේ තියෙනවා. එසේ සභ්‍යත්වයක් ලෙස ගත්තත් ලෝකයේ වැඩිම පිරිස මුස්ලිමුන් නො වෙයි. මුස්ලිමුන් වැඩිම පිරිස වුවත් ලෝක ආධිපත්‍යය දරන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මිස මුස්ලිම් සභ්‍යත්වය නො වෙයි. 

දෙමළ ජාතිවාදය සම්පූර්ණයෙන් ම මෙහෙයවනු ලැබුයේ බටහිර නූතනත්වය විසින්. බටහිර රටවල් ඉතා ප්‍රබලයි. එහෙත් ලෝකය හැටියට ගත් කළ ඉතා සුළු පිරිසක් වූ සිංහලයන් බටහිර නූතනත්වය විසින් මෙහෙයවන ලද දෙමළ ත්‍රස්තවාදය මුළුමනින් ම පරාජය කළා. හිස්බුල්ලා දැන ගත යුතු කරුණක් තියෙනවා. සිංහලයන්ට ලෝක මුස්ලිම් අන්තවාදයවත් ලෝක ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයවත් පරාජය කරන්න බැරි වේවි. එහෙත් සිංහලයන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ආකාරයෙන් ම ලංකාවේ මුස්ලිම් අන්තවාදයත් පරාජය කරනු ඇති. රනිල්ගේ ආණ්ඩුවෙන් ඒ නොකෙරුණත් එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. 

දෙමළ කතාකරන ජනයා සමග අපේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපට ප්‍රශ්නය වූයේ දෙමළ ත්‍රස්තවාදය, එය පිටුපස සිටි බටහිර නූතනත්වය හා එයට අනුබල දුන් දේශපාලනඥයන්. එමෙන් ම මුස්ලිම් ජනයා සමග අපට ප්‍රශ්නයක් නැහැ. අපට ප්‍රශ්නය ඇත්තේ මුස්ලිම් අන්තවාදය, එය පිටුපස සිටින බටහිර නූතනත්වය හා මුස්ලිම් අන්තවාදීන් ආරක්‍ෂා කරන මුස්ලිම් දේශපාලනඥයන්. හිස්බුල්ලා යන්න ඉංගිරිසියෙන් කෙසේ ලිව්වත් උච්චාරණයේ දී ඇසෙන්නේ කාගෙ දෝ බුල්ලා කෙනෙකු ලෙසයි. හිස්බුල්ලාලා දෙමළෙන් කියන දේ සිංහලට පරිවර්තනය කර ප්‍රසිද්ධ කිරීමට යම් ජනමාධ්‍යයක් කටයුතු කරන්නේ නම් රටට හොඳක් වේවි. 

හිස්බුල්ලා වෙනුවෙන් මුස්ලිම් ඇමතිවරුන් අස්වුණේ නැහැ. ඔවුන් අස්වුණේ බද්‍යුද්දීන් වෙනුවෙන්. රතන හිමියන් උපවාස කරල තියෙන්නෙත් අසාද් සාලි හා හිස්බුල්ලා අස්කිරීමට මිස බද්‍යුද්දීන් අස්කිරීමට නො වෙයි. රතන හිමි උපවාසයේ දී නම් තුනක් සඳහන් කළත් බද්‍යුද්දීන් අස්කරවීමට උනන්දුවක් දැක්වූයේ නැහැ. බද්‍යුද්දීන් තනියම අස්වුණේත් නැහැ. දැන් පේන විධියට රතන හිමියන් උපවාස කර ඇත්තේ මෛත්‍රිපාලගේ ආණ්ඩුවට හා ආණ්ඩුකාරයන්ට විරුද්ධ ව මිස රනිල්ට හා රනිල්ගේ ඇමතිවරුන්ට විරුද්ධ ව නො වෙයි. රතන හිමිගේ දේශපාලනය පැහැදිලියි. උන්වහන්සේ ෂර්යා විශ්වවිද්‍යාලය බැලීමට නැගෙනහිරට ගිහින්. 

හිස්බුල්ලාට හා අසාද් සාලිට රනිල්ගේ ආණ්ඩුවෙන් රැකවරණයක් ලැබෙන්නේ නැහැ. අසාද් සාලි හා පාර්ලිමේන්තු කමිටුව පෑහෙන්නේ නැහැ. හිස්බුල්ලාට ඇතැම් අරාබි රටවලින් මුදල් ලැබෙනවා වෙන්න පුළුවන්. එහෙත් හිස්බුල්ලාට ඕන වෙලාවට ඒ රටවලින් හමුදා ලැබෙන එකක් නැහැ. හිස්බුල්ලාට අවශ්‍ය අන්දමට ඒ රටවල් මගින් අපට සම්බාධක පනවන්නත් බැහැ. ඒ රටවල් අවසාන වශයෙන් හසුරවනු ලබන්නේ බටහිර නූතනත්ව ආධිප්‍යයෙන්. 

අසාද් සාලි මුස්ලිම් ජනයාට වන හිරිහැර ගැන කතා කරනවා. අද සිංහලයන් මුස්ලිමුන් ගැන සැකයකින් බලනවා වෙන්න පුළුවන්. එහෙත් එය ප්‍රතික්‍රියාවක් පමණයි. ක්‍රියාව මුස්ලිම් අන්තවාදීන් මෙරට අරාබියක් කිරීමට උත්සාහ කිරීම. අසාද් සාලි ම හිස්බුල්ලාගේ ක්‍රියා ගැන කියනවා. අසාද් සාලිලා ක්‍රියාව නැති නොකර ප්‍රතික්‍රියාව නැති කරන්න කතා කරනවා. මා කතා කරන්නේ නිව්ටන්ගේ තුන්වැනි නියමය ගැනවත් කර්මය ගැනත් නො වෙයි.  

බටහිර රටවල අනුග්‍රහය ලැබෙන්නෙ රනිල් බද්‍යුද්දීන්ට බව අමතක කළ යුතු නැහැ. බද්‍යුද්දීන්ලා අද මුස්ලිම් ජනයා අනෙක් ජනකොටස්වලින් හා සිංහලයන්ගෙන් වෙන් කිරීමට උත්සාහ දරණවා. මෙතනත් තියෙන්නේ ආණ්ඩු දෙකේ ගැටුම. අද ආණ්ඩු දෙකේ ගැටුම උත්සන්න වෙලා. අමාත්‍ය මණ්ඩලය රැස්වන්නේ නැහැ.  රාජ්‍යය පිළිබඳ තීරණ ගැනෙන්නේ නැහැ. මෙහි භයානක පැත්තක් තියෙනවා. රනිල් තමාට අවශ්‍ය විධියට විවිධ රටවලට ලංකාව පාවා දීමේ ගිවිසුම් අත්සන් කරාවි. රනිල් ඊයේ අද හෙට කවදා නමුත් නීත්‍යානුකූල නොවන ආකාරයකට අත්සන් කර ඇති කිසිම ගිවිසුමක්  ක්‍රියාත්මක නොකරන බවට විපක්‍ෂය ප්‍රතිඥාවක් දෙන්න ඕන. 

මේ තත්වය යටතේ මෛත්‍රිපාලට කළ හැක්කේ කුමක් ද? තවත් ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුවක් හදන්න පුළුවන්. එහෙත් අද එයට පසුබිමක් නැහැ. ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුව තිබුණා නම් පාස්කු ප්‍රහාරය වළක්වන්න තිබුණා. ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන්න ඕන කියන එකෙන් කියැවෙන්නෙ නැහැ ඔහු අමාත්‍ය මණ්ඩලය රැස් කළ යුතු ය කියා. ඔහුට අවශ්‍ය නම් පාර්ලිමේන්තු සැසි වාරය වරකට මාස දෙකක් බැගින් කල් තබන්න පුළුවන්. මීළඟ ජනාධිපතිවරණය තෙක් අවශ්‍ය නම් පාර්ලිමේන්තු සැසි වාර කල් දමමින් ඉන්න පුළුවන්. පාර්ලිමේන්තුව අද තමන් විසින් ම අවලංගු කාසියක් බවට පත් කරගෙන. අද ක්‍රමයෙන් ජනාධිපති මෛත්‍රිපාල බලය තමන් අතට පත් කර ගනිමින් ඉන්නවා. රනිල් හා බටහිරයන් එයට ඉඩ දේවි කියා හිතන්න බැහැ. 

අප ඉන්නේ ඉතාමත්  භයානක තැනක. මේ ආණ්ඩුව (ආණ්ඩු දෙක) බලයට පත් කර ගැනීමට දායක වූ සියල්ලන්, ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංග ගෙන ආ අය, එය රැක නොගත් අය මේ තත්වයට වග කියන්න ඕන. ජ වි පෙ ආණ්ඩුව පෙරළන්න දැන් පාරට බහින්න ඕන නැහැ. ජ වි පෙ පාරට විසිවෙලා හුඟක් කල්.