Translate

Wednesday, April 17, 2019

රුජිනගේ බාලදක්ෂයෝ

රජුගේ බාලදක්ෂයා සහ රජුගේ බාලදක්ෂ පදක්කම ගැන පසුගිය සතියේ පළවූ ලිපියේ ඉතිරි කොටස මෙහි දැක්වෙයි. මෙහි එන කරැණු ඔබගේ ලොග් සටහන් පොතෙහි ලෝක බාලදක්ෂ ව්‍යාපාරය යන මාතෘකාව යටතේ සටහන් කර ගැනීම මැනවි. සර් වින්ඩ්ස්ර පිට්ටනියට බාලදක්ෂයෝ 35000 ක් එති.

පස්වැනි ජෝර්ජ් රජතුමාගේ උපදෙස් පරිදි සංවිධාන කළ බාලදක්ෂ රුජින රුළිය 1934 දී පැවැත්විණ. එංගලන්තයේ වින්ඩ්සර් පිටියට බාලදක්ෂයෝ 35000 ක් රුස්වූහ. එංගලන්තයේ බාලදක්ෂයින්ට අමතරව තවත් විදේශීය රටවල බාලදක්ෂයෝ ද එහි වූහ. රජුගේ බාලදක්ෂ ප්‍රදානය දිනාගත් බාලදක්ෂයින් සංඛ්‍යාව 2937 ක් බව ගණන් බලා තිබුණි. මෙම රුළියට බාලදක්ෂයින් මෙන්ම සාමාන්‍ය ජනතාව ද සහභාගි වීම විශේෂ තත්ත්වයකි.

රජ පවුල බාලදක්ෂ ව්‍යාපාරයට ඉමහත් ගෞරවයක් දැක්වීය. බාලදක්ෂ ව්‍යාපාරය දියුණු කිරීමට බේඩ්න් පවෙල් සාමිවරයාට උදවු කළේය. ඔවුන්ගේ අදහස් ද ව්‍යාපාරයට එක් කෙරිණ. පස්වෙනි ජෝර්ජ් රජතුමා හඳුන්වා දුන් ජාතික බාලදක්ෂ සේවා ප්‍රදානයට විශේෂ තැනක් ලැබිණ. එය වින්ඩ්සර් ජාතික බාලදක්ෂ සේවා ප්‍රදානය වශයෙන් නම් කෙරිණ. ශාන්ත ජෝර්ජ් දෙව් මැදුරේදී ප්‍රධාන දේවගැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වාර්ෂිකව පැවැත්විණ. 1946 වසරේ දී ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ අංශය පිහිටුවීමට කටයුතු සම්පාදනය කෙරිණ. එහි ප්‍රතිඵලය වූයේ කුඩා බාලදක්ෂයින්ට මෙන්ම වැඩිහිටි බාලදක්ෂයින් වෙත ද රජුගේ බාලදක්ෂ ප්‍රදානය අන් කරගැනීමට තිබුණු අවස්ථාව සීමා කිරීමයි. වයස අවුරැදු 15ට වැඩි බාලදක්ෂයින් හට පමණක් ලබාගත හැකි ප්‍රදානයක් බවට පත් කරමින් රජුගේ බාලදක්ෂ ප්‍රදානයට වටිනාකමක් එකතු කළේය.

ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයා බාලදක්ෂ ශිල්ප හා මහජන සේවා යන ප්‍රධාන කොටස් දෙකට අයත් නියමිත අවශ්‍යතා සපුරාලිය යුතු විය. එසේ කරමින් අදාළ අංශවල ප්‍රවීණතා පදක්කම් දිනාගත යුතු විය. මහජන සේවා කාණ්ඩය වෙනුවෙන් ගිලන්රථ පදක්කම ද බාලදක්ෂ ශිල්ප කාණ්ඩය වෙනුවෙන් වනවාසියාගේ රුහැන ද දිනාගත යුතුය. ඒවා අනිවාර්යයෙන් දිනාගත යුතු පදක්කම් ලෙස නිර්දේශ කෙරිණ. එදා සිට අදටත් එම නිර්දේශ වලංගුය.

නව විෂය නිර්දේශයට අනුව ප්‍රථම රජුගේ බාලදක්ෂ ප්‍රදාන උත්සවය පැවැත්වෙයි.

එංගලන්තයේ බකිංහැම් මාලිගය පිහිටා ඇති මාර්ගයේ කෙළවර ඉම්පීරියල් මූලස්ථානය පිහිටියේය. බේඩ්න් පවෙල් සාමි තුමන්ගේ නිල කාමරයේ දී චාම් උත්සවයක් පැවැත්වීය. 1947 අප්‍රේල් 26 වෙනි දින පැවැත්වූ එම පදක්කම් උත්සවයේ දී නව විෂය නිර්දේශයට අනුව දිනාගත් ප්‍රථම රජුගේ බාලදක්ෂ ප්‍රදානය පිරිනමන ලදී. එම උත්සවයට ප්‍රචාරයක් නොදීමට හේතුව අදටත් අබිරහසක්ය. කෙසේ මුත් පස්වෙනි ජෝර්ජ් රජුගෙන් පසු රජ කළ හයවෙනි ජෝර්ජ් රජුගේ මෙම වකවානුව තුළ වාර්ෂිකව රජුගේ බාලදක්ෂ ප්‍රදාන උලෙළක්, වින්සර් බාලදක්ෂ සේවා ප්‍රදාන උත්සවයත් ශාන්ත ජෝර්ජ් දෙව් මැදුරේ නොකඩවා පවත්වන ලදී.

ශ්‍රී ලාංකික බාලදක්ෂයාට නිදහස ලැබීම.

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබුණි. එතෙක් ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින් වෙතද පිරිනමන ලද්දේ රජුගේ බාලදක්ෂ ප්‍රදානයයි. එහෙත් ඒ සමග ක්‍රමිකව ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයට දේශීයත්ව හැඩතල ලබා දීමේ සමාජ වටපිටාවක් නිර්මාණය විය.
රුජිනගේ බාලදක්ෂයෝ කරළියට එති.
වර්ෂ 1952 දී හයවැනි ජෝර්ජ් රජතුමා අභාවප්‍රාප්ත විය. ඔහුගෙන් පසු දියණිය එලිසබෙත් කුමරිය. දෙවන එලිසබෙත් මහ රුජින ලෙසින් අභිෂේක ගන්වනු ලැබුවාය. එදින සිට රජුගේ බාලදක්ෂ ප්‍රදානය රුජින බාලදක්ෂ ප්‍රදානයලෙස නම් කරන ලදී.

රුජින බාලදක්ෂ ප්‍රදානයට අලුත් විෂය

රුජින බාලදක්ෂයකු වීම සඳහා පදක්කම් කිහිපයක් අලුතින් සමත් කළ යුතු විය. ඒ සඳහා පෙරදී තිබුණු ප්‍රවීණතා පදක්කම් වන මහජන සේවා හා බාලදක්ෂ ශිල්ප යන විෂය ක්ෂේත්‍රයට අමතරව කඳවුරැ සහ ගවේෂණ යන අංශ හඳුන්වා දෙන ලදී. වර්තමානය වන විට මෙම විෂය ක්ෂේත්‍ර තවත් පුළුල් කොට ඇත.

වත්මන් රුජින බාලදක්ෂයෝ

1952 වසරේ සිට මෙම වසර දක්වා නොනවත්වා වසර 66 ක් වාර්ෂිකව රුජින බාලදක්ෂ ප්‍රදාන උලෙළ පවත්වාගෙන එන ලදී. එංගලන්තයේ ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේ පවත්වන එම උලෙළට දෙවන එලිසබෙත් මහ රුජින නොවරදවාම සහභාගි වන්නීය. ඇයගේ අත්සනින් නිකුත් කරන රුජින බාලදක්ෂ සහතිකය ලබා ගැනීමට එංගලන්ත බාලදක්ෂයෝ යුහුසුළුව වැඩ කරති. සහතික පත්‍ර කෙතරම් ප්‍රමාණයක් තිබුණත් බාලදක්ෂයින් වෙත රුජිනම ඒවා ප්‍රදානය කරන්නීය. එසේ කරනුයේ බාලදක්ෂ පුහුණුව නිමාකරන අනාගතයේ රටට සේවය කරන තරැණ තරැණියන් දිරිමත් කිරීමේ පූර්වාදර්ශයක් ලබා දීමේ අරමුණින් යුතුවය.








No comments:

Post a Comment