20 March 2019

රොටී රොටී

අද මැදින් පුර පසලොස්වක පොහොය දිනය. අද ගෙදර ඉන්නේ මං විතරයි. අපේ උන්දෑ මේ දවස් ටිකේ අම්මලෑ දිහෑ ගිහින්. අම්මලා දිහෑ කිව්වේ වැඩි ඈතක නෙමේ මේ මොරටුවේ.

මම උදෙන්ම නැගිටලා නිදි ඇඳේම ඔලුව පොඩ්ඩක් උස්සලා එක ඇහැක් ඇරලා බැළුවා එළිය වැටිලද කියලා. ම්හු... එළිය වැටිලා නෑ. ආයෙම ටික වෙලාවක් නිදා ගන්නෙමියි කියන තිර අධිෂ්ඨානයෙන්ම නින්දට වැටුනා. ඒ පාර ඇහැරුනේ අටත් පහු වෙලා.

ඇහැරිච්ච ගමන්ම කේතලේ ලිපේ තියලා කිරි තේ එකක් හදාගත්තා. කලින්දා රෑ කියවලා ඉතුරු වෙච්ච පොත අතට අරගෙන ඒකත් කියවන ගමන් තේ එක බිව්වා.


මම මේ ටිකේ කියව කියවා හිටියේ කත්‍යානා අමරසිංහ මහත්මියගේ "ධරණී" කියන පොත. මම එතුමියගේ අනෙත් පොත් කියවලා තියෙනවා. ඒ උනාට මේ පොත නම් මට සැට් උනේම නෑ.  හද්ද ගෙරි ඇඹුලක් කනවා වගේ තමා මේ පොත කියෙව්වේ. ඒ තරමට පොත කියවන එක කම්මැලි වැඩක් උනා. ඒත් ඉතිං ගත්තු නිසා කියවලාම ඉවර කරන්න ඕන කියලා හිතලා කියෙව්වා.

පොත ඉවර වෙනවත් එක්කම බඩ ගින්නක් ආවා. නිවාඩු දාක මං තනියෙන් ඉන්නවා නං මම උදේ දවල් කියලා වේල් දෙකක් කන්නේ නෑ. ඒ වේල් දෙකම එකක් කරලා උදේ එකොලහට විතර මොනාහරි කනවා.

ඉතින් මේ බඩගින්නට කඩේ යන්නත් කම්මැලි නිසා පොල් ටිකක් ගාලා කරලා අරන් ඒක මැටි කෝප්පයට දාගත්තා. ඊට පස්සේ ළුුණු ගෙඩි බාගයක් විතර පොඩි කෑලි වලට කපන් ඒකත් පොල් තිබ්බ මැටි කෝප්පයට දාලා අවුමිරිස් ටිහිකුත් කපලා ඒකත් ඒ හට්ටියටම දැම්මා. ඊට පස්සේ පාං පිටි ටිකක් අරන් ඒකත් ඒ හට්ටියටම දාලා සේරම හොඳට කවලං වෙන්ඩෙයි කියලා හොඳට අනාගත්තා.

මේ ලක ලෑස්ති වෙන්නේ පොල් රොටියක් හදන්න. ඊට පස්සේ ලුනු කුඩු ටික වතුරේ දිය කරලා ඒ වතුරෙන්ම රොටිය අනාගත්තා. රොටි තලපය පොඩි බෝල වලට වෙන් කරලා එයින් එකක් වඩලා තැටියේ තියලා ලුණු මිරිසකුත් හිමිහිට කොටා ගත්තා.

ඊට පස්සේ තැටියෙන් බාන බාන එක රොටිය ගානේ රොටී හතරක්ම කෑවා. මං හදන රොටී අපේ අම්මා හදන ඒවා වගේ රහ නෑ. ඒ උනාට කන්න පුලුවන්.

අපේ අම්මා රොටියක් කබලෙන් බාලා පිගානකට දාලා දෙනවා. ඒ දෙන ගමන්,

"මේකත් අරං ගිහින් රස්සාවක් හොයන් එන්ඩ." කියලා කියනවා.

ඒ කියන්නේ ජන කතාවක් හන්දා. අන්න ඒ ජන කතාව කියන්නයි මම මෙච්චර පඳුර වටේ තැළුවේ. ඒත් ලිපිය දිග වැඩි නිසා ඒ කතාව මම ඊළඟ ලිපියෙන් කියන්නම්.

රොටී කියන්නේ අපිට ඒ තරම්ම ජනප්‍රිය කෑමක් නොවුනට වතුකරයේ ඉන්න දෙමල මිනිස්සුන්ට දිව්‍ය භෝජනයක් වගේ කෑමක්. ඒකට ගොඩක්ම හේතු වෙන්නේ අඩු වියදමකින් ඉක්මනින් හදාගන්න පුලුවන් වෙන එක වෙන්ඩ ඕන. ඒ මිනිස්සු මහන්සි වෙලා ගෙදර ආපු ගමන් පිටි ටිකක් අනලා රොටියක් හදාගෙන කන්න පුරුදු වෙලා ඉන්න නිසා වෙන්ඩ ඕන ඒක ඒ තරමටම ජනප්‍රිය වෙන්නේ.

කඳුකරයේ පොල් හොයාගන්න ටිකක් අමාරු නිසාද මන්දා මේ මිනිස්සු රොටී වලට පොල් දාන්නේ නෑ. පොල් දැම්මා නොදැම්මා කියලා නෑ ඒ උන්දැලා හදන රොටී අමුතුම රහක් තියෙන්නේ.

කටට සැරට උම්බලකඩ දාපු ළුණු මිරිසකුත් එක්ක උණු උණුවේ රොටියක් දෙකක් කාලා දුං දාන ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්න තියෙනවා නං ආයේ දිව්‍ය භෝජන පරාදයි.

රොටී අපේ ජන ජීවිතය හා බද්ද වෙලා තියෙන කෑමක්. ඒකට හොඳම උදාහරණය තමා රොටී හා සම්බන්ධ ජනකවි තියෙන එක.

ඒ කවියක් දෙකක් මම පල්ලෙහායින් කමෙන්ට් කරන්නම්.

රොටී රොටී සැමදාටම සදයි රොටී
මැටී සේම ගුලි කර කර වඩයි රොටී
තැටීසේම ලිප වටකර වඩයි රොටී
රොටී නිසා තී දවසක කනවා ගුටී

රොටී රොටී සැම්දා රෑටම රොටියේ
රොටී ගෙඩිය වටටම ගෑ රූ පිටියේ
රොටී සදන ගෑනි මගෙ මහ මොටියේ
රොටී නිසා එන දවසක තී නසියේ

මම නම් මේ කවි දෙකෙන් එකක්වත් අපේ උන්දැට කියලා නෑ. එහෙම කිව්වා නං ආයේ අපේ ගෙදර රොටි කනවා බොරු.

මම කතා කළේ පොල් රොටී ගැන. පොල් රොටි වලට අමතරව නානාප්‍රකාර රොටී වර්ග කන්න තියෙනවා.

පොල් රොටී, කුරක්කන් රොටී, එළවළු රොටී, කොත්තු රොටි, ගෝදම්බ රොටි වගේ නානාප්‍රකාර රොටි තියෙනවා. හැඩට ටිකක් ඉතර වෙනස් උනාට පීසා කියලා කියන්නෙත් රොටියක් නෙව.

හරි ඒවයින් කාරි නෑ. මම එහෙනං කියන්ඩ ආපු කතාව ඊළඟ ලිපියෙන්ම කියන්නම්.

ජය වේවා !!

1 comment:

  1. රොටි කන්න බෝ ඉතුරු වෙන එකක් නෑ ඔය කයි කියන්න ගියොත්... ඒ නිසා දෙන රොටියක් කාලා කට පියාන හිටු… ;P

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.