Translate

Friday, March 8, 2019

12 වැනි ජාතික කබෝරිය

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය පාසල් මට්ටමේ සිට සිදු කරන සේවය විශිෂ්ට හෙයින් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

 
 
අධ්‍යාපන ඇමැතිවරයා මේ බව පැවැසුවේ 12වැනි ජාතික කබෝරිය වෙනුවෙන් සකස් කළ බාලදක්ෂ ලාංඡනය, බාලදක්ෂ කර ලේන්සුව, බාලදක්ෂ ගීතය සහ බාලදක්ෂ වෙබ් අඩවිය එළිදැක්වීමේ උලෙළ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පසුගිය 23දා පැවති අවස්ථාවේ දීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

මේ වන විට බාලදක්ෂ සංගමයෙන් වැදගත් ජාතික මෙහෙවරක් පාසල් මට්ටමේ සිට ස්වේච්ඡාවෙන් සිදු කරමින් සිටිනවා. එම සේවය ඉතා ඉහළ මට්ටමින් පවත්වාගෙන යෑමට සමත් වී තිබීම අතිශයින් ම අගය කරනවා.

මම ද පාසල් යන අවදියේ දී බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ ව සිටියා. එයින් ලැබෙන පන්නරය සහ ශක්තිය අත්දැකීමෙන් ම හඳුනාගෙන සිටිනවා. බාලදක්ෂ ව්‍යාපාරයෙන් සමාජයට නායකත්වය සපයන නායකයන් බිහි කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දෙනවා. අභියෝගවලට මුහුණදීමටත්, සාමූහිකව කටයුතු කිරීමටත්, නිවැරැදි තීරණගැනීමටත් කුඩා කළ සිට ම දරුවන් හුරුකරවීමට මේ හරහා ලබා දෙන ශක්තිය මහත් පිටුබලයක් සලසනවා. ලෝකයේ රටවල් 170ක මිලියන 42කට අධික සාමාජික පිරිසක් සාමාජිකත්වය දරමින් ක්‍රියාත්මක වන බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය නියෝජනය කරමින් සාමාජිකයන් 70,000කට ආසන්න පිරිසක් ක්‍රියාකාරී ව සිටිනවා.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ප්‍රමුඛ දේශපාලන නියෝජිතයෝ ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයි ඇතුළු පිරිසක් ද, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු, ජාත්‍යන්තර කොමසාරිස් කපිල කල්‍යාන, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් සරත් ගොඩකන්දආරච්චි, සංවිධායක කොමසාරිස් වත්සලා විජේවික්‍රම මහත්ම මහත්මීහු ද, විශේෂ කොමසාරිස්වරු ද, මූලස්ථාන කොමසාරිස්වරු ද, බාලදක්ෂ ආචාර්යවරු ද, බාලදක්ෂ දරුවෝ ද, මවුපියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්න

No comments:

Post a Comment