23 February 2019

රුබික් කැටය හදමු - 4 පාඩම (අවසාන කොටස)

මේ වෙනකොට ඔයාලා ලේයර් දෙකක් හදලා ඉවර ඇති කියලා හිතනවා. එහෙම ඉවර කර ගන්න බැරි උනා නම් මගේ පරණ පෝස්ට් ටික බලලා එන්න.


දැන් තියෙන්නේ අන්තිම ලේයර් එක හදන එක. ඒ පියවර මම කොටස් තුනකට වෙන් කරන්නම්. ඒක හදන්න ලේසියි.

1. කහපාට පැත්තේ කුරුසය නිර්මාණය කිරීම.
කහපාට කුරුසය නිර්මාණය කරන්න පල්ලෙහා තියෙන සූත්‍රය පාවිච්චි කලා නම් හරි. වැඩිය හිතන්න දෙයක් නෑ. කුරුසය නිර්මාණය වෙනකන්ම ඔය සූත්‍රය දෙතුන් විඩක් පාවිච්චි කලා නං හරි. මේ වෙනකොටත් කුරුසය නිර්මාණය වෙලා නං තියෙන්නේ ආයේ මේ සූත්‍රය එක්ක ඔට්ටු වෙන්න ඕන නෑ.


ඔන්න එහෙනං සූත්‍රය !
ඔයා හරියටම සූත්‍රය පාවිච්චි කලා නම් මුලින්ම කහපාට මැද කොටුවක් ලැබෙයි. ඊට පස්සේ L අකුර හඩයට කොටු හැදෙයි. ඊළඟට තනි ඉරක් වගේ කොටු තුනක් හැදෙයි. ඊට පස්සේ තමා කුරුසය හැදෙන්නේ.

පල්ලෙහා පින්තූරය බලන්නකෝ.
නමුත් සමහර වෙලාවට ඔය පිළිවෙලටම එන්නේ නෑ. ඒ කියන්නේ ඔයාගේ කැටයේ මේ වෙනකොටත් L අකුර හැදිලා නම් තියෙන්නේ ඔයාගේ කැටයට සූත්‍රය දැම්මහම ඊළඟට හැදෙන්නේ තනි ඉර. ඊට පස්සේ කුරුසය.

සමහර අයගේ කැට වල තනි ඉරක් ඉබේටම වගේ හැදිලා තියෙනවා නම් ඒ අය එක පාරක් සූත්‍රය පාවිච්චි කලහම කහපාට කුරුසය ලැබේවි.

මේ වෙනකොටත් කහපාට කුරුසය හැදිලා නම් මේ සූතය දන්න ඕන නෑ. මේ පියවර මග ඇරලා යන්න.

2. තුන්වෙනි ලේයරයේ මැද කොටු නිසි ආකාරයට ස්ථාන ගත කිරීම.
ඔන්න දැන් දෙවෙනි පියවර. මේක නම් හිත හිතා ඉන්න දෙයක් නෑ. පල්ලෙහා සූත්‍රය දෙතුන් විඩක් පාවිච්චි කලා නං ගොඩ යනවා. සමහරවිට ඒත් හරි යන්නේ නැත්තන් කැටයේ උඩම ලේයර් එක පොඩ්ඩක් කරකවලා ආයෙම සූත්‍රය දාන්න. එහෙම කරන්නම ඕන නෑ. මේ සූත්‍රය තුන් හතර වතාවක් යනකොට ගානට කොටු ටික සෙට් වෙනවා.

කොටු ටික සෙට් වෙලාද කියලා විඩින් විඩේ බලන්න. මොකද සමහර වෙලාවටකොටු ටික ගනට සෙට් වෙලා තියෙන්න පුලුවන්. නමුත් ඔයාටපේන්නේ කොටු ටික සෙට් වෙලා නෑ වගේ. එහෙම වෙන්නේ උඩම ලේයර් එක පොඩ්ඩක් එක දිසාවකට හැරවිලා තියෙන නිසා වෙන්න පුලුවන්.

එහෙනං මෙන්න සූත්‍රය. හදලා බලන්න.


3. කහපාට මුහුණතේ කොන් වලට එනකොටු ටික නිසි ආකාරයෙන්ම ස්ථානගත කිරීම.
මේ පියවරෙන් කරන්නේ මුළු වලට එන කොටු නිසි ආකාරයෙන් ස්ථානගත කරන එක. මුල්ලක තියෙන කොටුවක පාට තුනක් තියෙනවා. ඒ පාට තුනම හරි ආකාරයෙන් තියෙන මුල්ලට කොටුව ස්ථානගත කරගන්න එක තමයි මේ පියවරේදී කරන්නේ.

උඩ තියෙන පින්තූරේ බලන්නකෝ.

ඒකේ මුල්ලේ තියෙන කොටුවේ තියෙන්නේ කහපාට, තැඹිලි පාට හා කොළ පාට. මේ කොටුව එන්න ඕන කහපාට-තැඹිලිපාට- කොළ පාට මුහුණත් තියෙන මුල්ලට. අන්න ඒකයි මම කිව්වේ මුළු වලට එන කොටු නිසි ආකාරයෙන්ම ස්ථානගත කරගන්න ඕන කියලා.

පල්ලෙහා තියෙන සූත්‍රය තුන් හතර වතාවක් විතර දානකොට මුලු වලට එන්න ඕන කොටු ටික ගානට සෙට් වෙනවා.

මේ වෙනකොට කැටයෙන් සීයයට අනූවක් විතර ගොඩ දාලා ඉවරයි. තව තියෙන්නේ එකම එක සූත්‍රයක් විතරයි. ඒක හරියට කළා නම් කැටය හදලා ඉවර වෙනවා.

ඔයාලට පේනවා නේද තුන්වෙනි පියවරේදී මුළු වලට ආපු කොටුවේ කහ පාට පැත්ත උඩට සෙට් වෙලා නෑ කියලා. කහ පාට පැත්ත උඩට සෙට් උනා නම් උඩම මුහුණත හරියටම හැදුවා වගේ වෙනවා. අන්න ඒක තමා මේ පියවරේදී කරන්නේ.

මේ පියවරේදී කරන්නේ මුළු වලට ස්ථානගත කරපු කොටු ටිකේ කහපාට පැත්ත උඩු අතට හරවන එක.

ඒකට පල්ලෙහා සූත්‍රය පාවිච්චි කරන්න.
මේ සූත්‍රප පාවිච්චි කරන්න කලින් දෙයක් කියන්න ඕන.

මේ සූත්‍රය පාවිච්චි කරන්න කලින් වෙනස් වෙන්න ඕන කොටුව තමන්ගේ දකුණ අත පැත්තට හිටින විදිහට කැටය අල්ල ගන්න. මතකයි නේ. තාමත් අපි සුදු පාට පැත්ත යට අතට තියෙන විදිහට අල්ලගෙන ඉන්නේ. ඒක කොයියම්ම වෙලාවකවත් වෙනස් කරන්නේ නෑ.

කහපාට මුහුණත හරියටම සෙට් වෙනකන් මේ සූත්‍රය දෙතුන් විඩක් පාවිච්චි කරන්න.

ඔන්න කහපාට පැත්තත උඩට ආවා කියමුකෝ. එතකොට ඔයාට හිතෙයි මෙච්චර වෙලාවක් මහන්සියෙන් හදපු කොටු ටික කැඩිලා කියලා. ගණන් ගන්ඩ එපා. ඒ කැඩිලා නෙමේ. ඒ හැටි !

එක මුල්ලක් හදලා ඉවර උනහම උඩම තියෙන ලේයර් එක කරකවලා අනෙත් මුල්ල තමන්ගේ දකුණු අත පැත්තට එන විදිහට හරවන්න. ආයෙම සූත්‍රය දාන්න.

කහපාට කොටුව උඩට ආවට පස්ස්සෙ  ආයෙම උඩ ලේයර් එක කරකවලා හදන්න ඕන කොටුව තමන්ගේ දකුණු පැත්තට එන විදිහට හරවන්න.

ඔය විදිහටම කොටු හතරම හදාගත්තා නම් රූබික් කැටය ඔයාලා හදලා ඉවර වෙනවා.

මම කලිනුත් කියලා තියෙන විදිහට අන්තීම පියවර ටිකක් පරිස්සමින් කරන්න ඕන. නැත්තං ඔයාලගේ මහන්සිය වතුරේ ගියා වගේ වෙයි. පල්ලෙහා වීඩියෝ එකත් චුට්ටක් බලලා ඉම්මුකෝ. ඒක වැඩිය හොදයි.

එහෙනං වැඩේ ගොඩ නෙහ්. මම එහෙනං ගිහින් එන්නං.

ජය වේවා. !


ප.ලි. - මොනවාහරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහායින් කමනෙට් එකක් දාන්න. මම දන්න විදිහට උත්තරේ හොයලා දෙන්නම්. මොකද මාත් මේවා බලලා ටිකක් අමාරුවෙන් ඉගෙන ගත්තේ.



3 comments:

  1. වැඩක් නෑ පෙන්. දෙසීයක් දීල අලුත් එකක් අරන් ටේප් ඇලෙව්වා වටේම.. හැක්

    ReplyDelete
  2. මේ සවිස්තරාත්මක මග පෙන්වීම ගොඩාක් වටිනවා. මේ ගැන මේ තරම් පැහැදිලිව විස්තර වුණ වෙනත් සිංහල ලිපි මම දැකලාම නැති තරම්. ඔබේ මහන්සියට බොහොම ස්තූතියි!

    ReplyDelete
  3. Me 2 step hadenne nane

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.