Tuesday, November 15, 2011

සම්බුද්ධ ශ්රාොවකයන් වහන්සේලා 2


සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා 2

සංජය නම් වූ පිරිවැජියාගේ විරුද්ධත්වය මධ්‍යයේ භාග්‍යවතුන් වහන්සේ හමු වීමට පිටත් වූ උපතිස්ස සහ කෝලිත නම් වූ දෙමිතුරෝ බුදුරජාණන් වහන්සේ එදා වැඩ සිටි වේළුවනයට ලඟා වූහ.  ඔවුන් ලඟා වන විට බුදු රජාණන් වහන්සේ පැවිදි සහ නොපැවිදි ශ්‍රාවකයට ධර්මය දේශනා කරමින් උන් සේක.  දුර සිටම ඒ දෙදෙනාගේ පැමිණීම දුටු බුදු රජාණන් වහන්සේ, "මේ සසුනේ පැවිදිව උත්තුංග බුද්ධ ශ්‍රාවකයින් වන්නා වූ උපතිස්ස සහ කෝලිත නම් වූ මිතුරන් දෙදෙනා පැමිණෙති" යයි ප්‍රකාශ කල සේක.  

බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණි උපතිස්ස සහ කෝලිත, උන්වහන්සේට ගෞරවාන්විතව වැඳ නමස්කාර කොට එක් පසෙකට වී හිඳ ගත්හ.  අවස්ථාවක් ලද විට ඒ දෙදෙනම   "ස්වාමීනි අපට ඔබවහන්සේ යටතේ පැවිද්ද දුන මැනැව"යි පැවිද්ද ඉල්ලා සිටියහ.  "භික්ෂූනි, එව, ධර්මය මනා සේ දේශනා කොට ඇත. ඒ දහම අනුගමනය කොට සසරින් මිදෙන්න" යයි ඒහි භික්ෂු ප්‍රව්‍රජ්‍යායෙන් ඒ දෙදෙනම පැවිදි කර වූ සේක.  ඒ දෙමිතුරන් පැවිදි කරවූ පසු උන්වහන්සේ සිය ධර්ම දේශනය එතැන් සිට යලිත් දේශනාව ආරම්භ  කල සේක.  ධර්ම දේශනය අවසානයේ ඒ දෙමිතුරන් හැරුණු විට රැස්ව සිටි සියලු පැවිදි ශ්‍රාවකයෝ අර්හත් ඵලයට ලඟා වූහ.  ඒ දෙමිතුරන් තවම සාවක පාරමී ඥාණය නොලද නිසා අර්හත් ඵලයට නොපැමිණියහ.  පැවිද්ද ලද පසු උපතිස්ස සැරියුත් නමින්ද, කෝලිත මහා මොගල්ලාන  හෙවත් මුගලන්  යන නමින්ද හඳුන්වනු ලැබූහ.  පැවිදි වූ පසු මුගලන් තෙරුන් මගධ රට කල්ලවාල යන ග්‍රාමයේ විසූහ. පැවිදි වී සත්වැනි දින භාවනාවේ නියුක්තව සිටින විට  උන්වහන්සේට අලසකම හා ථීන මිද්දය දැනෙන්නට විය. (මේ බව අංගුත්තර නිකායේ දක්වා තිබේ (AN 7:58 ). බුදු රජාණන් වහන්සේ ඒ අවස්ථාවේ උන්වහන්සේ හමුවට වැඩම කල සේක.  චාපාල සූත්‍රය දේශනා කල සේක. 

එහි අන්තර්ගත වූයේ අලස බව හා ඨීන මිද්දය දුරු කිරීම පිලිබඳවයි.  මේ යොමුව ඔස්සේ එය කියවන්න  http://www.accesstoinsight.org/tipitaka/an/an07/an07.058.than.html

භාග්‍යවතුන් වහන්සේ චාපාල සූත්‍රය දේශනා කරද්දී සඳහන් කල ධාතු කර්මස්ථානය ශ්‍රවනය කිරීමෙන් මුගලන් තෙරුන් වහන්සේ සාවක පාරමී සම්පූර්ණ කල සේක.   

සැරියුත් තෙරණුවෝ රජගහ නුවර සමීපයේ සූකරකත ලෙනෙහි වාසය කල අතර පිඬු සිඟා පිණිස රජගහ නුවරට වැඩම කල සේක.  පැවිද්ද ලබා සති දෙකක ඇවෑමෙන් බුදු රජාණන් වහන්සේ සැරියුත් තෙරණුවන්ගේ බෑනණුවන් කෙනෙක් වන දීඝ නාඛට දහම් දෙසූහ. සැරියුත් තෙරණුවෝ බුදු හිමි පිටුපසින් හිටගෙනම උන්වහන්සේට පවන් සැලූහ.  භාග්‍යවතුන් වහන්සේ දේශනා කල දේශනයට සවන් දුන් සැරියුත් තෙරණුවෝ ඒ ඉරියව්වෙන්ම සිට පටිසම්භිධා ඥාණයද ලැබ අරහත් ඵලයට සම්ප්‍රාප්ත වූ සේක.  දීඝ නාඛද සෝතා පන්න විය.    මේ යොමුව බලන්න.           http://www.accesstoinsight.org/tipitaka/mn/mn.074.than.html
 
එදිනම දවස ගෙවී යන කල්හි, සැන්දෑ සෙවනැලි දිගුවත්ම බුදු රජාණන් වහන්සේ මහා සංඝයා රැස්කරවා, සැරියුත් සහ මහා මොග්ගල්ලාන යන තෙරුන්වහන්සේලා අගසව් තනතුරු වලට පත් කරවූ සේක.  ඊට කලින් පැවිද්ද ලද තෙරුන් වහන්සේලා සිටියදී මේ තනතුරු සැරියුත් සහ මහා මොගල්ලාන තෙරුන් වහන්සේලාට පිරිනැමීම නිසා සංඝයා අතර නොමනාපයක් ඇති විය.  පස් වග තවුසන් හා කාශ්‍යප සහෝදරයෝ,  සැරියුත් හා මොගල්ලාන තෙරුන් වහන්සේලාට වඩා පැවිද්ද අතින් ජ්‍යේඨයෝ වූහ. මේ නිසා විශාල වශයෙන් නොවුවත් යම් කිසි කසුකුසුවක් ඇති විය.  මේ කසුකුසුව බුදු රජාණන් වහන්සේගේ කණටද වැකුණේය.  බුදු රජාණන් වහන්සේ මේ කසුකුසුව පිලිබඳව කරුණු පැහැදිලි කල සේක.

  කොන්ඩඤ්ඤ තෙරුන් වහන්සේ පෙර භවයෙක නව වරක් එකම අස්වැන්න ලද කාලයෙක දන් දුන් නමුත් අගසව් තනතුර නොපැතූ බවත්, පැතුවේ අර්හත් ඵලය පමණක් බවත් දේශනා කොට වදාල සේක.  

 එසේම, අනෝම දස්සී බුදුන් දවස සාරද සහ සිරිවද්දක යන බ්‍රාහ්මණ කුල පුත්‍රයන් දෙදෙනා (මේ භවයේ සැරියුත් සහ මුගලන්  )දන් දී අගසව තනතුරු ප්‍රාර්ථනා කල බවත් ඒ නිසා ඒ තෙරුන් දෙදෙනාට අගසව් තනතුරු දුන් බවත් දේශනා කලහ. 
(අනෝම දස්සී බුදුන්ගෙන් ධර්මය ශ්‍රවණය කල අය තවමත් දීර්ඝ ආයුෂ ඇති බ්‍රහ්ම ලෝක වල වාසය කරන්නාහ.)   
ඒ නිසා අග සව් තනතුරු ලැබුණේ ඔවුන්ගේ ප්‍රාර්ථනා අනුව බව බුදු රජාණන් වහන්සේ පැහැදිලි කල සේක.  (මේ තොරතුරු අංගුත්තර නිකායේ ටීකා වන්ගෙන් හා ධම්මපදයේ ටීකාවන්ගෙන් උපුටා ගත් බව ඥාණපොනීක හිමි ප්‍රකාශ කොට ඇත.)     
සැරියුත් තෙරණුවන්ගේ චරිතයේ උතුම් බව උන්වහන්සේ ගිහිව සිටි කාලයේදීම පැහැදිලිවම දැකිය හැක.  කෝලිතට පොරොන්දු වූ පරිදි 'ගැලවීමේ ධර්මය' හමු වූ විගස එය කෝලිතට දැන්වීය. අස්සජි තෙරුන් සංක්ෂේප කොට දැක් වූ පටිච්ච සමුප්පාද ධර්මයේ කොටසක් ශ්‍රවණය කිරීමෙන් එය අවබෝධ කර ගැනීමට තරම් මුහුකුරා ගිය නුවණක්ද උන්වහන්සේට තිබිණ.  නොමග ගිය ප්‍රථම ගුරුවරයා වූ සංජය කෙරෙහි පවා සැරියුත් හිමි දැක්වූයේ දයානුකම්පාවකි.  මේ ශ්‍රේෂ්ට වූ  උත්තුංග චරිතයෙක උපාංගයන්ය.  සැරියුත් තෙරණුවෝ, උන්වහන්සේට ධර්මය හඳුන්වා දුන් අස්සජි තෙරුණ්ට දිවි තිබෙන තාක් කල් ගෞරව දැක්වීමට තරම් නිහතමානී වූ සේක.  අස්සජි තෙරුන් හා සැරියුත් තෙරුන් එකම සංඝාරාමයක වසන අවස්ථාවන් හිදී බුදු රජාණන් වහන්සේට වන්දනා කොට ඊළඟට අස්සජි තෙරුන්ට වන්දනා කිරීම සැරියුත් තෙරුන් වහන්සේගේ සිරිතක් විය.  තමාට බුද්ධ ධර්මය හඳුන්වා දුන් ගුරුවරයා ලෙසට සැරියුත් තෙරණුවෝ අස්සජි තෙරුණ්ට උපහාර දැක්වූයේ එලෙසටය. අස්සජි තෙරණුවෝ සැරියුත් තෙර්ණුවන් වෙසෙන සංඝාරාමය හැර වෙන සංඝාරාමයක වෙසෙත් නම් අස්සජි තෙරණුවන් වසන්නා වූ සංඝාරාමය දෙසට හැරී පසඟ පිහිටුවා වැඳ නමස්කාර කිරීමෙන් සිය ගෞරවය දක්වන සේක.   
 (සූත්‍ර නිපාතයේ සඳහන් නාවා සූත්‍රයේ ටීකාවේ සහ ධම්ම පදයේ 392 වැනි ගථාවේ ටීකාවල මේ බව සඳහන් වෙයි.)   
අර්හත් භාවය ලද්දා වූ සැරියුත් තෙරණුවෝ ලොවට පෙන්වන්නේ මහඟු වූ ආදර්ශයකි.  මේ දුටු නවක තෙරුන්වහන්සේලා සැරියුත් තෙරුන්ගේ මේ උදාර ක්‍රියාව තේරුම් ගත නොහැකිව සැරියුත් තෙරණුවෝ තවමත් බ්‍රාහ්මණ ගති පැවතුම් අත හැර නොමැති බව ප්‍රකාශ කලහ.  මෙය කන වැකුනු බුදු රජාණන් වහන්සේ සැරියුත් තෙරණුවන් වඳින්නේ උන්වහන්සේගේ ගුරු අස්සජි තෙරුන් මිස වෙන කිසිවක් නොවේයයි වදාලහ.   මේ කරුණ අරභයා බුදු රජාණන් වහන්සේ නාවා සූත්‍රය ( දෙවි වරු ඉන්ද්‍ර දෙවියන්ට ගෞරව දක්වන්නා සේම මනුෂ්‍යයාද තමා ධර්මය උගත්තා වූ ගුරු තුමාට ගෞරව දැකිවිය යුතුය. වශයෙන්....) මේ යොමුව බලන්න.    http://www.accesstoinsight.org/tipitaka/sn/sn22/sn22.101.than.html
සැරියුත් තෙරණුවන්ගේ කෘතඥතාවය විදහා දක්වන තවත් පුවතක් රාධ තෙරුන් වහන්සේගේ කථාවෙන් දැක්විය හැක.  (ධම්මපදයේ 76 වැනි ගාථාවේ ටීකාවේ මේ පුවත දක්වා ඇත.) සැවැත් නුවර සංඝාරාමයේ විසූ දුප්පත් බ්‍රාහ්මණයෙක් විය.  ඒ බ්‍රාහ්මණයා ගෙවත්ත පිරිසිදු කිරීම් වශයෙන් සුළු සුළු කාර්‍ය්‍ය සංඝාරාමය උදෙසා සිදු කලේය.  සංඝයා වහන්සේලා ඒ බ්‍රාහ්මණයාට ආහාර පාන සැපයීය.  නමුත් කිසිවෙක් ඔහු මහණ කිරීමට ඉදිරිපත් නොවීය.   දිනක් කරුණාවෙන් ලොව බලා වදාරණ බුදු රජාණන් වහන්සේ ඔහුට අර්හත් ඵලය ලැබිය හැකි සේ පින උදා වී ඇති බව දුටු සේක. .    ඒ මොහොතේම සංඝයා රැස් කර වූ බුදු රජාණන් වහන්සේ  මේ දුගී බ්‍රහ්මණයාගෙන් යම්කිසි උදව්වක් ලබා ගත්  බවක් යමෙකුට මතක ඇත්දැයි විමසා සිටි සේක.  එවිට සැරියුත් තෙරුන් වහන්සේ දිනක් පිඬු සිඟා වඩින විට, මේ බ්‍රාහ්මණයා තමා සිඟමන් ලද්දා වූ බත් හැන්දක් සැරියුත් තෙරණුවන්ට පූජා කල බැව් සඳහන් කල සේක.   බුදු හිමි සැරයුත් තෙර්ණුවන් අමතා "රාධ" යන නමින් මේ දුගී බ්‍රාහ්මණයාට පැවිද්ද ලබා දෙන ලෙස පවසා සිටි සේක.  බුදු රජාණන් වහන්සේගේ අණ පරිදි රාධ තෙරුන් මහණ කල සැරියුත් හිමි කල යුතු දෑ සියල්ලම රාධ හිමියන්ට ඉගැන්වීය.  නොබෝ කලකින් රාධ හිමි සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පත්විය. 
රාධ තෙරුන්ගේ අර්හත් භාවයෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලා ප්‍රසංශා මුඛයෙන් සැරියුත් හිමියන් ගැන  කථා කලහ.  බුදු රජාණන් වහන්සේ වර්තමානයේ පමණක් නොව අතීතයේදී පවා සාරිපුත්ත හිමි කෘතඥතාවය මනාව පුහුණු කල බව දේශනා කලහ. ඒ උදෙසා උන්වහන්සේ  අලීන චිත්ත ජාතකය රැස්ව සිටි භික්ෂූන් වහන්සේලාට වදාල සේක.  මේ යොමුව බලන්න.    http://jathakakatha.org/newhome/index.php?option=com_content&view=article&id=685:153----&catid=53:151-200-&Itemid=96

ඊලඟ කොටස ලඟදීම......... 

No comments: