පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, December 20, 2018

බුදුන් වහන්සේගෙන් ලද කාන්තා අයිතිය සුරකින්නට කැපවුණු ශාක්‍යධිතා සංවිධානය - Sakyaditha International



බුදු දහම යනු සියලු ආගම් අතුරින් සැබෑ නිදහසකින් යුක්තව පිළිපැදිය හැකි ආගමකි. විශේෂයෙන් කාන්තා විමුක්තිය පිළිබඳ කතා කිරීමේදී මෙය හොඳින් පෙනෙන්නට තිබේ. එය බුදු දහමේ ආරම්භයේ සිට අද දක්වාම නොනැසී පවතින්නාවූ සුවිශේෂී ලක්ෂණයකි. මේ නිසාම බුදු දහම සිය ජීවන දර්ශනය ලෙස තබාගනිමින් විවිධ සංවිධාන ලෝකයේ විවිධ ස්ථානවල බෞද්ධ කාන්තා සංවිධාන බිහිවී තිබේ. අප දැන කතා කරන්නට සැරසෙන්නේ මේවා අතුරින් වඩාත් සුවිශේෂී බෞද්ධ කාන්තා සංවිධානයක් පිළිබඳවය.  ‛ශාක්‍යධිතා’ (Sakyadhita) යනුවෙන් හඳුන්වනු ලබන එය ජාත්‍යන්තර වශයෙන් ඉතා ශක්තිමත් සංවිධානයක් ලෙස බෞද්ධ ලෝකය තුළ ඉදිරියට එමින් පවතී. ‛ශාක්‍යධිතා’ යන්නෙහි අරුත ද ඉතාමත් සුවිශේෂීය. ‛බුදුන් වහන්සේගේ දියණියෝ’ යන්න එහි අරුතයි. කෙසේ නමුත් බුදුමග ගමන් කරනා මේ දියණියන් පිළිබඳ දන්නා පිරිස අල්ප බැව් හොඳින්ම පෙනෙන්නට තිබේ. 

ශාක්‍යධිතා යනු ලෝකයේ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ප්‍රමුඛ පෙළේ බෞද්ධ සංවිධානයකි. 1987 වසරේදී බුද්ධගයාවේ පැවැති මුල්ම ජාත්‍යන්තර බෞද්ධ කාන්තා සංවිධානයේ ඒකමතික තීරණයක් ලෙස මෙම සංවිධානය ලොවට බිහි විය. ලෝකයේ විවිධ රටවල වෙසෙන බෞද්ධ කාන්තාවන්ගේ ජීවිත වඩා යහපත් කිරීම මෙම සංවිධානයේ අරමුණය. 

පිරිමින් හා සමානවම කාන්තාවට ද මේ ලෝකය වෙනුවෙන් සමාන සේවයක් සැළසිය හැකි බැව් ලොවට පෙන්වා දුන් මුල්වැන්නා වූයේ අප බුදුන් වහන්සේය. කාන්තා විමුක්තිය පිළිබඳ අද කතා බහ කරනා සියලු සංවිධාන අමතක කරදමා ඇත්තේද මෙයයි. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ පිරිමියාගේ හා කාන්තාවගේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පැවතිය ද එය ලෝකයට සමාන සේවයක් සැළසීමට බාධාවක් වන්නේ නැති බවයි. පිරිමියාගේ හා කාන්තාවගේ මෙම එක හා සමාන හැකියාව පිළිගත් එකම දර්ශනය වන්නේ ද බෞද්ධ දර්ශනය පමණි. නමුත් අවාසනාව වන්නේ මෙම දර්ශනය තුළම උපන් බොහෝ බෞද්ධ කාන්තාවන් සිය ශක්තිය යොදා ලෝකයට සේවයක් කිරීමට පසුගාමී වීමය. 

ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති මෙම සංවිධානය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1993 දීය. ඒ එම වසරේ අප රටේ පවත්වන ලද ජාත්‍යන්තර බෞද්ධ කාන්තා සම්මේලනය පවත්වන ලද ඓතිහාසික අවස්ථාවෙන් අනතුරුවය. අප රටේ ක්‍රියාත්මක වන ශාක්‍යධිතා සංවිධානයේ මූලික අරමුණ වන්නේ බෞද්ධ භික්ෂූණීන් හා මෙහෙණින් වහන්සේ අතර උසස් අධ්‍යාපන තත්වයක් ඇති කිරීමය. අතීතයේ අප රටේ බෞද්ධ භික්ෂුණින් හා මෙහෙණින් වහන්සේ බොහෝ විට සිදු කළේ ආගමික වතාවත් සිදුකිරීම පමණි. නමුත් ශාක්‍ය ධිතා සංවිධානය පවසන්නේ උන් වහන්සේලාගෙන් සමාජයට වඩාත් යහපත් සේවයක් ලබාගත හැකි බවය. විවිධ සමාජ හා ආර්ථික ගැටළුවලින් පෙළෙන බෞද්ධ කාන්තාවන්ට පිහිට වන්නට භික්ෂූණීන් වහන්සේලාට වඩාත් වැඩි මෙහෙයක් කළහැකි බැව් මෙම සංවිධානය පෙන්වා දෙයි. ඒ අතරතුර බෞද්ධ කාන්තාවන් තුළින් ගිළිහී යන බෞද්ධ සම්ප්‍රදායයන් යළි ඇති කිරීමට ද මේ තුළින් හැකි වෙතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. 

අප රටේ භික්ෂූණී ශාසනය නිවැරදි ලෙස පිහිටුවන ලද්දේ දැනට වසර 10 කට පමණ පෙරය. ඒ වනතුරු අප රටේහි සිටියේ දසසිල් මාතාවන් පමණි. මේවන විට භික්ෂූණී ශාසනය කෙමෙන් කෙමෙන් ව්‍යාප්ත වන්නට පටන්ගෙන තිබේ.  ශාක්‍ය ඩීටා සංවිධානය මේ පිළිබඳ දක්වන්නේ යහපත් ආකල්පයකි. අප රටෙහි බෞද්ධ කාන්තාවන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට මෙය මහත් රුකුළක්වනු ඇතැයි මෙම සංවිධානය බලාපොරොත්තු වෙයි. 

දැනට ගණනය කොට ඇති පරිදි ලෝකයේ බෞද්ධ කාන්තාවෝ මිලියන 300ක් පමණ සිටිති. මෙයට භික්ෂුණීන් හා මෙහෙණින් වහන්සේලා 130,000 ක් ඇතුළත්ය. බොහෝ කාන්තාවෝ බෞද්ධ වතාවත් අනුගමනය කරමින් බෞද්ධ දර්ශනයට අනුව ජීවිතය හැඩගස්වා ගන්නට හැකියාවක් නැති කරමටම දුප්පත්කමින් පිරුණු ජීවිත ගත කරති. බුදුන් වහන්සේ පිරිමි හා කාන්තාවන් අතර සමතැන් ඇති කළ ද අද බුද්ධ ශාසනය තුළම ඒ තත්වය තුරන්ව යමින් පවතින බැව් පෙනේ. භික්ෂූන් වහන්සේ හා සමාන උපසම්පදාවකට අද හිමිකම් කිව හැක්කේ චීන, කොරියානු හා වියට්නාම් බෞද්ධ සම්ප්‍රදායයන් තුළ පමණක් බැව් පෙනේ. ශාක්‍යධිතා සංවිධානයේ අරමුණ වන්නේ මෙසේ අහිමිවී ගිය කාන්තා හැකියාව යළි ඇතිකර ගැනීමය. ඔවුහු මේ අරමුණ වෙනුවෙන් ලොව වටා වූ බෞද්ධ කාන්තාවන්ට අධ්‍යාපනය හා පුහුණුව ලබාදෙමින් සිටිති. 

ඔවුහු සිය අරමුණු මෙසේ දක්වති. 

1. බෞද්ධ කාන්තාවන්ගේ ජාත්‍යන්තර එකමුතුවක් ඇතිකිරීම 
2. බෞද්ධ කාන්තාවන් තුළ අධ්‍යාත්මික ගුණ වගාවන් දියුණු කිරීම 
3. බෞද්ධ භික්ෂුණීන් වහන්සේලාට ද භික්ෂූණ් වහන්සේලා හා සමානවම උපසම්පදාව ලබාගැනීමට ක්‍රියාකිරීම 
4. බෞද්ධ සම්ප්‍රදායයන් හා අනෙකුත් ආගම් අතර සංහිඳියාවක් ඇතිකිරීම 
5. බෞද්ධ කාන්තාවන්ට වැදගත්වන ආකාරයේ පර්යේෂණ හා ප්‍රකාශන ඇතිකිරීම 
6. බුද්ධ දේශනාව ඔස්සේ ලෝක සාමය ඇතිකිරීම සඳහා දායකත්වය සැළසීම 

බෞද්ධ සම්ප්‍රදායයන් බහුලව පැතිර පවතින ආසියානු රටවල පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපියානු රටවල්, ඕස්ට්‍රේලියාව ආදී බෞද්ධ සම්ප්‍රදාය ක්‍රියාත්මක නොවන තවත් බොහෝ රටවල් ප්‍රබල සංවිධානයක් ලෙස ඉස්මතුවෙමින් වෙමින් පවතී. එය ලෝකවාසී බෞද්ධ කාන්තාවන්ට පමණක් නොව සමස්ථ බෞද්ධ ජනතාවටම සතුටට කරුණකි. ලොව පුරා බුදු වදන පතුරුවන්නට මෙය ඉමහත් පිටිවහලක් වනු ඇත.

වැඩිදුර කියවීම්

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න