රියදුරු දෑතට දෙවි පිහිටයි

Posted: October 18, 2018 in Uncategorized

 

කියුබ් තුන හමාරේ
දෙසීය විසිහත ඉරක් විසිපහයි තිස් නවය
සතියකට පස් හය වතාවක් දහ අටේ දුවනවා
සුක්කානමට උඩින් ඇති
“රියදුරු දෑතට දෙවි පිහිටයි” බලාගෙන

හුන්නස්ගිරිය කපොල්ල කිට්ටුව
සියාතු මාමගෙ රොටී කඩයෙන්
රොටියයි ප්ලේන්ටියයි වැරදුනොත් කලාතුරකින්

ඉර මුදුන් වෙනකොට පාර දෙපැත්තේ
කපුටෝ ඉන්නවා කාකි සූට් ගහගෙන
බේරිලා ගියා නම් හාස්කමකින්මමයි
තිබුන පෙර පිනකට

කරගැට මල් පිපුනාට අත්දෙකේ
කර්කශ වුනාට ජීවිතේ
දරු පවුල දකිනකොට ඉර හැරෙන වෙලාවට
විඩාව පැනගිහින් හිතටත් හොරෙන්මම

උදෑසන පිටවෙද්දි මම
දීපංකරේ නොගියාට
කියනවා මගෙ අමල්බිසෝට
දරුවනුන් එක්කම
උඹ පරෙස්සමින් හිටපන් කියා

-සගා-
17/10/2018

Leave a comment