images (2)

නව ලිබරල්කරණ ව්‍යාපෘතිය විසින් ගොඩනංවන ගෝලීය වෙළඳපළකරණයකට ඇද දමන දේශපාලනය සමකාලීන අධ්‍යාපන පද්ධතියට කරනු ලබන විනාශකාරී බලපෑම සුළුපටු නොවේ. මහා ශිෂ්‍ය සංගම් වලින් සැදුම් ලත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වැනි ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාර මේ මොහොතේ ඔසවනු ලබන පෞද්ගලීකරණයට විරුද්ධ වීම නම් සටන් පාඨය එම වෙළඳපළකරණ ව්‍යාපෘතිය අධ්‍යාපන පද්ධතිය මත කරන හානියට එරෙහිව ගොඩනැගෙන්නකි. මෙලෙස නව ලිබරල්කරණයේ විනාශකාරී යාන්ත‍්‍රණයට එදිරි වන්නට අවිශිබම විසින් ඔසවන සටන් පාඨ හා උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග කෙතරම් විකල්පීය බවක් දරන්නේද?  නවලිබරල්කරණයේ විනාශකාරිත්වයට එරෙහිවීමේ හැකියාවක් පවතීද? මෙයින් අදහස් කෙරෙන්නේ අවිශිබම විසින් ඔසවන සියලූ අරගලමය සටන්පාඨ විසිකරන්න වැනි හුදු බොළඳ අදේශපාලනික කතාවක් නොවේ. එබඳු ආස්ථානයක් දක්වනුයේ නව ලිබරල් දෘශ්ටිවාදය විසින් වෙළඳපළකරණය, පෞද්ගලීකරණය වැනි ප‍්‍රතිපත්තීන් රොමෑන්තිකකරණය නම් මෙහෙයුමේ ගොදුරක් වීමේ බිහිසුණු අවදානම අනෙක් පස ගොඩනැගෙන නිසාවෙනි. වර්තමාන ගෝලීය දේශපාලනයෙහි විචල්‍යයන් පමණක් නොව ඒවායේ සලකුණු (Traces) කෙරෙහි පවා ප‍්‍රවේශම්සහගත අවධානයක් යොමු කිරීමේ භාවිතාවක එළබීම මේ මොහොතේ සමාජ ව්‍යාපාරයක ප‍්‍රාථමික කොන්දේසියකි.

     නිර්බාධීකරණය, පෞද්ගලීකරණය ආදී වූ නව ලිබරල්කරණ ප‍්‍රතිපත්ති සහ න්‍යාය රෝපණය කරන යාන්ත‍්‍රණය විසින් අධ්‍යාපන ව්‍යුහය විනාශ කරමින්, එහි ඇති දැනුම ගොඩනැංවීමේ ශක්‍යතා දියකර හරින ක‍්‍රියාවලියක් බවට පත් කර, වෙළඳපළ වෙත එය දිශානති කරනු ලබයි. නවලිබරල් දෘශ්ටිවාදී ආධිපත්‍යයට එරෙහිව එවගේම ප‍්‍රමුඛව එහි පෞද්ගලීකරණය වැනි ප‍්‍රතිපත්තීන්ට එරෙහිව ශිෂ්‍යයන්ව ඒකරාශී කරලීමේදී පක්ෂ අභිලාෂ මත පදනම්ව සටන් ව්‍යාපාර විභේදනය කරලීම ‘නිදහස් අධ්‍යාපනය-අධ්‍යාපනයේ නිදහස’ වැනි එහිම පරස්පර විරෝධී සටන් පාඨ මතට සටන් ව්‍යාපාර ඇදවැටීම, පීඩිත සුළු ජාතික ප‍්‍රශ්නය හමුවේ ඓතිහාසික බෙලහීන හැසිරීම, එවගේම ශිෂ්‍ය, ශිෂ්‍යා  ප‍්‍රජාව මත හෙළන ප‍්‍රචණ්ඩත්වය ඉදිරියේ දෙබිඩි ස්වරූප භූමිකා මගින් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ විකල්පීයබව එහිම විකල්පීය චින්තනය හි තීව‍්‍රතාව කෙතරම්ද ප‍්‍රකාශමාන තලයට ගෙන එනු ලබයි,

        වෙළදපළකරණය විසින් බිහිසුණු අසමානතාවයන් ගොඩනංවන ව්‍යාපෘතිය තුළ මිනිස් ආත්මය සහ ශිෂ්‍ය ආත්මය බෙලහීනත්වයකට හා වෙළදපළ තුළ කුඩා අරමුණු වෙත යාමට පුහුණු කළ වස්තූන් බවට පත් කරයි. පවතින රාජ්‍ය විසින් ‘’නිදහස නිදහස’’ කියා පුන පුනා කෑ මොරදීම්වල සිටිමින් එහිම පාදඩ බව සිය මායාකාරී බවෙන් සගවාලනු ලබයි. ඇලේන් බදියු දක්වන ලෙස, ජනතාව දිශාවකින් තොර බවකට පත්වීම විසින් මෙලෙස මායාව ට හැසිරීමට ඉඩ සාදනු ලබයි ඉන් නොනැවතී දිශානතිහරණය ද පවතින එම තත්වය තුළ ඡන්දය වැනි ප‍්‍රබන්ධමය ස්වරූප ලබා දෙයි. විකල්පය පිළිබඳ වියහැකියාවන් නොමැති තත්වයකට තල්ලූ කරන ලද ආතතීන්ගෙන් මිරිකුණු මිනිසාව හා ශිෂ්‍යයාව රිසි ලෙස දියකර ඒකාකෘතිගත කළ ද දිශානතිහරණය ප‍්‍රතික්ශේප කරලීමෙන් හා එම මායාවල් ප‍්‍රතික්ශේප කරලීම හරහා යළි- දිශානුයෝජනය (Reorientation) මතු වන බව බදියු පවසයි .

        ’ලූවී අල්තුසර්’ විසින් රාජ්‍යය සිය බලය පවත්වා ගැනීම සඳහා පවත්වා ගෙන යන පොලීසි, හමුදා වැනි බලහත්කාරය ඇති කරන ආයතන ඇතුළත් ’මර්ධනීය රාජ්‍ය උපකරණ’ සහ ආගම්, අධ්‍යාපනය, සංස්කෘති ආදී ඇතුළත් ‘දෘශ්ටිවාදීමය රාජ්‍ය උපකරණ’ නම් ක‍්‍රියාවලි ද්විත්වය හඳුනාගනියි. මෙම ද්විත්වය පවත්වා ගෙනයන නව ලිබරල් ආධිපත්‍යයට විරුද්ධව ඓතිහාසික ව මෙන්ම මේ මොහොතේ ශිෂ්‍ය ව්‍යාපාරය දේශපාලනික වශයෙන් බෙලහීන ක‍්‍රියාමාර්ගවල නියැලීම සලකුණු වී ඇත. වසර ගණනාවක් ම්ලේච්ඡ රාජ්‍යය විසින් යුධමය ලෙස උතුරේ ශිෂ්‍ය ප‍්‍රජාව ද ඇතුළු දෙමළ ජනතාව පීඩනයට පත්කරද්දීත් අවිශිබම නිෂ්ක‍්‍රීය ස්ථාවරයක සිටියාක් මෙන් වර්තමානයේ නැවත නැවත විශ්වවිද්‍යාල අභ්‍යන්තරයෙහි ප‍්‍රචණ්ඩකාරිත්වය පැවතීම ඉදිරියේ ද ව්‍යාජ දේශපාලනික හැසිරීම් ප‍්‍රකාශමාන කරමින් එම ව්‍යාපාරයේ බෙලහීනතාවය සමාජයට නිරාවරණය කරයි. ’මාග‍්‍රට් තැචර්’ වැනි නව ලිබරල්වාදීන් වරක් ප‍්‍රකාශ කළ ’මෙහි වෙනත් විකල්ප මාවත් නැත’ (There is no alternative – TINA) වැනි පාඨ කියමින්, ගෝලීය තලයේ දෘශ්ටිවාදීමය ලෙස ගොඩනගන ’ලෝකය තනි යායක්’ වැනි උදම් ඇනීම්වල අඳුරු යටි ව්‍යුහය වූ කලී බිහිසුණු අසමානතා නිර්මාණය කරන , ඉච්ඡා භංගත්වයෙන් යුතු, විකල්ප උපායමාර්ගික දැක්මක් තොර බවකට ඇද දැමුණු මිනිස් ආත්මයන්ගෙන් යුක්ත, කෲරත්වයෙන් හා මායාකාරී ප‍්‍රචණ්ඩත්වයන්ගෙන් ගොඩනැගුනකි. වර්තමානයේ විශ්වවිද්‍යාල තුළට එන සිසු සිසුවියන්ව ’නවකයන්’ ලෙස වෙන් කරමින්, වෙනම භාෂාවක් පෙන්වමින්, සාමුහිකත්වය වැනි වචන මුවගරැුදි දේශපාලන භාෂාවක් කරපින්නා ගත් ඊනියා උපසංස්කෘතිය තුළ සමකාලීන අසමානතා ගොඩනැංවීමේ යාන්ත‍්‍රණය හා ම්ලේච්ඡු ප‍්‍රචණ්ඩත්වයත් පැවතීම විසින් පෙන්වන්නේ එම උපසංස්කෘතියෙහි ව්‍යාජ ස්වරූපය හා චින්තනමය දරිද‍්‍රතාවයයි. එමෙන්ම එබඳු බෙලහීන දේශපාලනික යාන්ත‍්‍රණයන් හා ප‍්‍රචණ්ඩත්වය ඉදිරියේ අවිශිබම විටෙක මුනිවත රැුකීමත් විටෙක, ඊනියා දේශපාලනික රූපණයන්ගේ යෙදීමත් විසින් සිදුකරන්නේ ම්ලේච්ඡු රාජ්‍ය ක‍්‍රියාවලියේ ආයතනවලට. විජේදාස වැන්නවුන්ට ඔවුන්ගේ දරුණු පාදඩ ක‍්‍රීඩාවට පිටිය නිර්මාණය කිරීමයි.

          කලකට ඉහතදී පළකළ ‘තෙල් බැම්මෙන් ඔබ්බට‘ කෘතිය තුළ උපසංස්කෘතිය යන්න නිර්වචනය කරන්නේ මහා සංස්කෘතිය නම් ව්‍යුහයෙන් ගැලවුනු ඊටම අවේණික සංස්කෘතියක් ලෙසයි. එහිදී ඔවුන් විශ්වවිද්‍යාල උපසංස්කෘතිය නිර්මාණය වීමට භෞතික හේතු වශයෙන් කරුණු කිහිපයක් පෙළගස්වයි. එකම භූමියක වාසය කිරීම , සමාන කාර්යයක නියලෙන්නන් වීම , ස්වාධීන ආර්ථික ජීවිතයක් නොමැති වීම සහ මහා සංස්කෘතියේ බලපැම ලෙස එම කරුණු කිහිපය දැක්විය හැක. එම කරුණු දැක්වීම තුළ විශ්වවිද්‍යාල උපසංස්කෘතියේ පිරිහුණු ලක්ෂණ පොදු ලාංකේය සංස්කෘතියෙන් ඇති වූ පිරිහීම නොසලකා විග‍්‍රහ කිරීම අවිද්‍යාත්මක බව කියනු ලබයි. 2002 දි රචිත මෙම කෘතිය තුළත් අදටත් ඔවුන් මහා සංස්කෘතියේ පිරිහීම මෙම උපසංස්කෘතිය යන්නට බලපා ප‍්‍රචණ්ඩකරණය ඇති වන බව කියයි.  එහෙත් යම් කිසි පහරදීමක් වැනි සිදුවීමක් වූ විට එය ’එළිය’ ට යවා විසඳාගන්නට බැරි බව මහා ශිෂ්‍ය සංගම්වල අය පවා පවසයි. විටෙක ඔවුන්ම දක්වන ’එළිය’ නම් මහා සමාජයේ ප‍්‍රචණ්ඩත්වය විශ්වවිද්‍යාල උපසංස්කෘතිය යන්නෙහි ප‍්‍රචණ්ඩත්වයට බලපාන බව කියන අතරම පහරදීමක් වූ විට එළියට (අවමයෙන් සමාජ ජාලවලටවත්) නොදමන ලෙස කියනවිට සහසම්බන්ධතාවයෙන් පැනයාමට තැත් කරයි. එයම දේශපාලනික විරුද්ධාභාෂිකත්වයකට ගෙන යනු ලබයි.

           තාක්ෂණ විප්ලව, ජාන තාක්ෂන වැනි මෙහෙයුම් ද සිදුකරමින් එන නව ලිබරල් ගෝලීයකරණයේ දැවැන්ත ව්‍යාපෘති අභිමුවේ ’එළිය’ සහ ’ඇතුළ’ ලකුණු කරලීම ම ව්‍යාජ රේඛාවක. කරුණුමය විදිහට ගතහොත් 2002 සිට මේ වනවිටත් ඉහත එකම පිළිතුර ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් පිටවීමෙන් විකල්පයක් වශයෙන් එහි බෙලහීනබව ද පෙන්වනුයේ? සමානයන්ගේ විශ්වීය සාමුහිකත්වයකට දිශානත වන්නට ශිෂ්‍ය, ශිෂ්‍යා, සේවක, සේවිකා, කම්කරුවන්, ගොවීන් ස්ත‍්‍රීන්, සංක‍්‍රාන්ති  සහ සමසෙනෙහස් ආදී පීඩිත ප‍්‍රජාවන්ගේ විවිධත්වය විනිවිදිමින් සමානාත්මතාවය සඳහා විකල්ප අදහස පිළිබඳ විමුක්තිවාදී කතිකාව මේ මොහොතේ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් බහිෂ්කරණය කර කරමින් සිටියි. එසේ කරන්නේ විශ්වවිද්‍යාල අභ්‍යන්තරයම ප‍්‍රචණ්ඩකරණය වීම නිසා ප‍්‍රචණ්ඩත්වයට එකඟ පරිසරයක් නිර්මාණය වීමත් ගූඪ නව ලිබරල් මෙහෙයුම් වල හැසිරීම් ඉදිරියේ අන්ධ හා නිරුත්තර වීම හා පෙර සඳහන් කළ ආකාරයේ රූපණයන්ගේ යෙදීමත් ඓතිහාසික භාවිතාවන්ගේ පසුගාමී ප‍්‍රතිඵල නිසාය. වසර ගණනාවක් මට්ටම් කර සෑදූ ම්ලේච්ඡ ආධිපත්‍යයන්ගේ ත‍්‍රස්තමය ක‍්‍රීඩාව සඳහා වූ පිට්ටනියත්, එය නඩත්තු කරන්නට අනියමින් වෙහෙසෙන ශිෂ්‍ය ව්‍යාපාරයේ බෙලහීනත්වයත් පෙන්වමින් සිටින්නේ විමුක්ති ශිෂ්‍ය දේශපාලනමය ලිට්මස් පරීක්ෂාව ද?

 

ප‍්‍රබුද්ධ දික්වත්ත