Main Logo

Monday 24 September 2018

මහින්දගේ පොරොන්දුව



අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.


මහින්දගේ පොරොන්දුව



ඊයේ ලිපියෙන් ලලිත් වීරතුංග ට්‍රොයිකාව ගැන කළ විස්තරයක් සඳහන් කළා. ඒ ලිපියෙන් පසු දයාන් ජයතිලක දි අයිලන්ඩ් පුවත්පතේ 2018 ජූනි මස 11 පමණ ලිපියක් ලියා තිබුණා ලලිත්ගේ ලිපියේ සඳහන් නොවූ කරුණු කිහිපයක් කියන්න. දයාන්ගේ ඒ ලිපියෙහි දහතුන්වැනි සංශෝධනය ගැන ද කෙටි විස්තරයක් තිබුණා. ස්මාට් ජාතිකවාදීන් දයාන් එතැන සිටියේ දැයි අහන එකක් නැහැ. ඒ සමාට් ජාතිකවාදීන්ගේ ස්මාට්කම. මේ දයාන්ගේ ලිපියෙන්. “The Troika was brilliantly managing the relationship with Delhi, but they were representing and operating on the pragmatic policy decided on by President Rajapaksa, namely the promise to his Indian counterpart, to proceed with the implementation of the 13th amendment. The Troika’s managerial excellence was building on the policy equation and axis with Delhi decided upon by President Mahinda Rajapaksa 




මෙයින් කියන දේ පැහැදිලියි. දයාන්ට අනුව ට්‍රොයිකාව දිල්ලිය සමග සම්බන්ධතා ඉතා හොඳින් කළමනාකරණය කළා,. ඒ මහින්ද රාජපක්‍ෂගේ උපයෝගී ප්‍රතිපත්තිය මත, එනම් දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, ට්‍රොයිකාවෙහි දිල්ලිය සමග වූ දක්‍ෂ කළමනාකරණය ගොඩ නැගුණේ මහින්ද රජපක්‍ෂ තීරණය කළ ප්‍රතිපත්ති මත.



දයාන්ගේ ලිපියට  (අවශ්‍ය අයකුට සම්පූර්ණ ලිපිය කියවා ගන්න පුළුවන්) අනුව 1984 සිට ඉන්දියාව දේශපාලන විසඳුමක් ගැන සාකච්ඡා කර තිබුණා. 1985 අග භාගයේ එච් ඩබ් ජයවර්ධන (ජේ ආර්ගෙ මල්ලි) පළාත් මට්ටමේ විමධ්‍යගත කිරීමක් ගැන ගිවිසුමක් අත්සන් කර තිබුණා. එහෙත් ඇතුළත්මුදලි තම ඊශ්‍රායල හමුදා සම්බන්ධතා ගැන තිබූ  විශ්වාසය ද නිසා ගිවිසුම ප්‍රමද වුණා. වඩමාරච්චි මෙහෙයුම ක්‍රියාත්මක වුණෙ දිල්ලිය සමග වූ විමධ්‍යගත කිරීම කේන්ද්‍ර කරගත් දේශපාලන ගිවිසුමක ආවරණයක් නැතිව. එම් ජී ආර් බලපෑම් කළ විට රජිව් ගාන්ධි එයට අවනත වී මැදිහත් වූයේ ඔහුට තමිල් නාඩුව නිහඬ කිරීමට කිසිවක් නොතිබූ බැවින්.



මෙයට අනුව ඉන්දිය මැදිහත් වීමක් වැළැක්වීමට අප විමධ්‍යගත කිරීම කේන්ද්‍රිය වූ විසඳුමක් දෙන්න ඕන. මෙය හුදෙක් තමිල්නාඩුව සැනසීමේ උපක්‍රමයක් නො වෙයි.  එහෙම විසඳුමක් නැත්නම් තමිල්නාඩුවේ බලපෑමට හරි වෙනත් කරුණ ක් නිසා හරි ඉන්දියාව මැදිහත් වෙනවා. ඒ කියන්නේ හමුදා මැදිහත් වීමක්. අසූ හතේ සිදු වූයේ එයයි.  ගාමිණී දිසානායකගේ මැදිහත වීම් ගැන දයාන් කියන්නේ නැහැ. එහෙත් එය මේ කතාවට එතරම් අදාළ නැහැ.



දයාන් ලලිත් නොලියූ කරුණක් ලෙස ඊළඟට සඳහන් කරන්නේ මෙහි කියැවෙන්නයි. “It is this promise that kept India on side and gave us the space to finish the war even in the face of US-UK pressure. President Rajapaksa was able to play the Delhi card to ward off the Hillary-Miliband-Norway driven ‘evacuation attempt’ by the US, the goalposts of which kept shifting



අපට එක්සත් රාජ්‍ය එක්සත් රාජධානි තෙරපීම් මැද්දේ වුවත් යුද්ධය අවසන් කිරීමට අවකාශය ලබා දුන්නේත් ඉන්දියාව  පැත්තක තබා ගත්තේත් දෙනූ ලැබූ මේ පොරොන්දුව විසින් බවත්, එක්සත් රාජ්‍යවල  හිලරි ක්ලින්ටන් - මිලිබෑන්ඩ් - නෝර්වේ විසින් කෙරුණු ඉවත් (හිස්) කිරීමේ ප්‍රයත්නය  පරාජය කිරීමට හැකි වූයේත් දිල්ලිය සමග ඇති කරගත් මේ සම්බන්ධය යොදා ගනිමින් බවත් දයාන් කියනවා. මහින්ද එක්සත් රාජධානි හා ප්‍රංශ විදේශ ඇමතිවරුන් ඇඹිලිපිටියට කැඳෙව්වෙත් දිල්ලියේ ශක්තිය ගනිමින් ද?



දැන් යමකුට කියන්න පුළුවන් දහතුන ක්‍රියාත්මක කිරීම අලුත් දෙයක්  නොවන බවත් එය 1987 සිට තිබෙන්නක් බවත්. එහෙත් මෙහි තවත් පැත්තක් තියෙනවා. දහතුන්වැනි සංශෝධනයේ හා පළාත් සභා පනතේ මොනවා අඩංගු වුවත් ජේ ආර්ගේ කාලයේ සිට ක්‍රියාත්මක නොවූ වැදහත් කරුණු දෙකක් තිබුණා. ඒ ඉඩම් බලතල හා පොලිස් බලතල පළාත්සභාවලට හා මහා ඇමතිවරුනට පැවරීම. මෙය 1987 සිට ම තිබූ ප්‍රශ්නයක්. දෙමළ ජාතිවාදීන් එදා සිට ම ඉල්ලා සිටියේ පොලිස් බලතල හා ඉඩම් බලතල  ක්‍රියාත්මක කිරීමයි. මේ ප්‍රශ්නය සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවේදීත් ඉදිරිපත් වුණා. තිස්ස විතාරණ රාජා කොල්ලුරේ දෙමළ ජාතිවාදීන් හා මුස්ලිම් ජාතිවාදීන් ඉඩම් හා පොලිස් බලතල ඉල්ලා සිටිද්දී අප එයට විරුද්ධ වුණා. අවසානයේ දී ප්‍රශ්නය මහින්ද රාජපක්‍ෂ හා පක්‍ෂ නායකයන් අතරට ගෙන ගියා. මහින්ද අපට සංඥා කෙළේ එය සිදු නොවන බව. කමිටුවේ අතුරු වාර්තාවෙන් කියැවුණෙත් එතෙක් නීතියෙන් ක්‍රියාත්මක වූ දහතුනේ බලතල පමණක් ක්‍රියාත්මක කිරීමටයි. මෙය 2008 ජනවාරියේ දී පමණ සිදු වූවක්. කමිටුව කිසිම දිනෙක අවසන් වාර්තාවක් නිකුත් කෙළේ නැහැ. මා එතැන නම් සිටියා.



එසේ තිබියදීයි ට්‍රොයිකාව මහින්දගේ යැයි කියන ප්‍රතිපත්තියක් මත පිහිටා ක්‍රියත්මක වී ඇත්තේ. මෙහි  මහින්ද පොරොන්දු වී ඇත්තේ සම්පූර්ණ දහතුන ක්‍රියාත්මක කරන බව පැහැදිලියි. මහින්ද අපට එකක් කියා ඉන්දියාවට තව එකක් කියා තියෙනවා. මහින්දවාදියකු කියාවි ඒ රාජ්‍යතන්ත්‍රික උපක්‍රම කියා. අපි නොදන්න රාජ්‍යතන්ත්‍රික උපක්‍රම කියා නැවතත් කියන්න වෙනවා. සම්පූර්ණ දහතුන ක්‍රියාත්මක වීමකින් තොර ව ඉන්දියාව කිසි දිනෙක ට්‍රොයිකාවට කැමැත්ත දෙන්නේ නැහැ.



දැන් කවුරු හරි කියන්න පුළුවන් මේ මහින්දගේ ඡන්ද කඩන ව්‍යාපෘතියක් කියලා. මහින්දට අප තවමත් ඡන්දය දෙනවා. ඒ ඔහුට වඩා අනෙක් අය නරක නිසා මිස ඔහු සර්වතෝභද්‍ර නිසා නො වේ. රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීමට උත්සාහ කරන්නේත් එබැවිනුයි. අපට අවාසනාවකට දැනට විකල්පයක් නැහැ.



අපි හෙට ඉන්දිය ට්‍රොයිකාව (එහි දෙන්නකු) හා ශ්‍රී ලංකා රජය 2009 මැයි 21 වැනි දින නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය සාකච්ඡා කරමු. තවමත් අප ඉන්නේ මහින්ද දහතුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වූ තැන.