images

අපි සාදුවරයෙක් කියන්නෙ මුලු ජීවිත කාලෙම එකම දෙයක් වෙනුවෙන් කැප කළ කෙනෙකුට, එලෙස කැප කිරීම නිසා ලැබෙන ශික්ෂණය, පුහුණුව, සියුම්බව, නිසා අපට බැලූ බැල්මට ඔහු හෝ ඇය වෙන්කොට හදුනා ගත හැකියි. ඒ වගේම එක්තරා දහමක් වෙනුවෙන් ජීවිත කාලෙම කැප කරන නිසා ඔහුගේ ජීවිතය තුළ විවිධ සිදුවීම් ගහන වෙන්න බෑ. නමුත් ඔහු රකින දහම තුළ සිදුවීම් ගහනයි. ඒක නිසා සාදුවරයෙකුගේ ජීවිතයේ සිදුවීම් සරල නමුත් ඔහුගේ සංජානනය සංකීර්ණයි, බහුමානයි. ඉතිං අපි මේ කතා කළ සාදුවර ගුණාංග කාන්ට්ගේ ජීවිතයට ඉතාමත් හොදින් ගැලපෙනවා.

            කාන්ට්ගේ මුළු ජීවිතකාලය ම ඔහු ජීවත් වුනේ ජර්මනියේ කොනින්බර්ග් (Koningsberg) ප්‍රදේශයේ බව සදහන් වෙනවා. කාන්ට් ගේ Critique of Pure Reason පොතට හැදින්වීමක් ලියන වාසිලිස් පොලිටිස් (Vasilis Politis) පවසන්නේ කාන්ට් කිසිදාක තමන් ජීවත්වූ කොනින්බර්ග් පලාත අයත් පෘසියාවෙන් පිටතට ගොස් නැති බවයි. නමුත් ඔහු සංචාරකයන්ගේ වාර්තාවන් ඉතා හොදින් පරිශීලනය කළ කෙනෙක්. එසේම ඔහු භූ විද්‍යාව, මානව විද්‍යාව පිළිඹඳ දේශන පැවැත්වීම පිළිඹද ව ශිෂ්‍යන් අතර මහත් ප්‍රසිද්ධියට පත්ව සිටි බවයි. කාන්ට්ගෙ මේ පරිකල්පන හැකියාවට ඔහුගේ ලියන කාමරය පමණක් සෑහුනු බව වාසිලිස් පවසයි.

            “There was room enough his imagination”

         එසේම අපි අමතක නොකල යුතු කාරණය වන්නේ අත්දැකීමෙන් පරිභාහිර  මිනිස් හැකියාව සහ එහි කොන්දේසි පිළිඹදව පරීක්ෂාවට ලක්කිරීමට ඔහු මුලු ජීවිත කාලෙම යෙදවුබවයි.

            එසේම කාන්ට් ගේ මුල් කාලීන ලිපි භෞතික විද්‍යාව ආශ්‍රිතව ලියවුනි. 1755 දී පර්සියාවේ  සිදුවූ භූ වලනය පිළිඹදව 1756 දී න්‍යායික ලියවිල්ලක් පල කළේය. එසේම ඔහු එකල අත්ලන්තික් සාගරය හරහා හමාගිය සුලි කුණාටුව පිළිඹදව කෙටි විස්තරයක්ද  ඉදිරිපත්  කර තිබුනේය.

            බර්ට්‍රන්ඩ් රසල් සිය History of Western Philosophy හි සදහන් කරන්නේ කාන්ට්ගේ මුලු ජීවිතයම සිදුවීම් බහුල නොවූ අධ්‍යනයට පමනක් යොමුවී තිබූ ජීවිතයක් බවයි. එසේම කාන්ට්ගේ දින චරියාවේ ඇති පුරුදු අතිශය ඒකාකාරී බවයි. කාන්ට්ගේ දින චරියාවේ කිබූ එක් අනිවාර්ය අංගයක් වූයේ හැමදාම හවසට ඇවිදින්න යාමයි. ඔහු දිනපතා මෙලෙස ඇවිදින්නට යන්නේ එකම වෙලාවක නිසා ඒ දෙස බලා ඒ ප්‍රෙද්ශයේ වැසියන් සිය ඔරලෝසුවල වෙලාවන් නිවැරදිව තබාගත් බව රසල් තව දුරටත් කියයි.

            එසේම Encyclopedia Britanica හි සදහන් වැකියක්ද රසල් උපුටා දක්වයි.

“as he never married, he kept the habits of his studious youth to old age”

එනම් ඔහු ජීවිත කාලය පුරාම ගත කලේ විවාහයක් කරනොගෙන තනිකඩයෙක් ලෙසය. මෙය නිකංම තනිකඩයෙක් විදියට ජීවත්වුනා කියනවාට වඩා ගැඹුරින් සිතිය යුතු කාරණයකි. එනම් කාන්ට් සිය විවේචක දාර්ශණික ගොඩනැගීම සදහා තමංගෙ මුලු කාලයම යෙදවීම නිසා විවාහයක් කරගන්නට වෙලාව මදි වුනා යැයිද විවාහය කැප කලා යැයිද අපිට ඕනෑනම් සිතිය හැකිය.

            මෙහිදී සැලකිල්ලට ගත යුතු තීරණාත්මක කාරණයක් වන්නේ ඔහුගේ ප්‍රධාන දාර්ශණික මැදිහත් වීම එනම් විවේචක ත්‍රිත්වය (Three Critiques) ඔහු ඉදිරිපත් කරන්නේ ඔහුට අවු.57 දීය. එනම් මැදිවිය ඉක්මවා යන තෙක් ඔහු එකම කාරියක සියුම්ව නිරතවී ඇති බව එම විවේචක ත්‍රිත්වය ඇසුරුකිරීමෙන් අපට පෙනෙයි.

            එසේම ඔහුගේ චින්තනයේ ඇති උපේක්ෂා සහගත ගුණය නිසා රසල් ඔහුව පූජකයෙක් ලෙස හදුන්වයි.

            “Although he had been brought up as a priest, he  was a liberal both in politics and theology: he sympathized with French revolution until the rein of terror, and was a believer in Democracy”

     මෙලෙස රසල් දේශපාලනය සහ එහි සිදුවීම් ගැනත් දේව දර්මය ගැනත් තිබුන මද්‍යස්ථවාදීකම නිසා රසල් කාන්ට්ව උපමා කරන්නේ සාදුවරයෙකුටය.

මේ ආකාරයට අපි කාන්ට් සතුව පැවති සාදුවර ගුණාංග හදුනාගත්තත් එය වඩාත් සංකීර්ණ වන්නේ ඔහු මිනිස් විශය පිළිඹද අතිශය විචාරශීලී මැදිහත් කරුවෙක් වන නිසයි.

කාන්ට්ට අවු.13 දී එනම් ඔහු ගැටවර වියේදී ඔහුගේ මව මිය යයි(ක්‍රි.ව.1737). එසේම කාන්ට් ට අවු.16 සිට අවු.23 වන තෙක් ඔහු කොනන්බර්ග් විශ්ව විද්‍යාලයේ දර්ශනය සහ භෞතික විද්‍යාව හදාරයි.කාන්ට් ට අවු.22 දී එනම් තරුණ වියේදී ඔහුගේ පියා මිය යයි (ක්‍රි.ව.1746) කාන්ට්ගේ පළවෙනි දාර්ශනික ලියවිල්ල එනම් Thoughts on the true Estimation of living forces පළවෙන්නේ එම වසරේදීමය. කාන්ට්ගේ ජීවිතය තුළ සිදුවූ ඉහත සිදුවීම් දෙක ඔහුගේ විවේචක දාර්ශනික චින්තනයට කෙතරම් බලපෑවාද යන්න වෙනමම සොයා බැලිය යුතු කලාපයකි.

කපිල ක්‍රිෂාන්ත