milinda-prashna

2018/09/05 – ලංකාදීප

තාන්න මාන්න, නම්බු නාම වලට ලෝබකමක් මෙරට අනන්‍යතාවයේ ඇත. ලංකාව පාලනය කළ අධිරාජ්‍යවාදීහු එය මෙවලමක් සේ භාවිතා කළහ. ඉහළ ස්ථරයේ තෝරාගත් පිරිසකට සම්මාන ධුර පිරිනැමීය. ඒවායෙන් සතුටු වූ මෙරට වංශවත් පුද්ගලයෝ වැඩියෙන් සේවය කළේ නොරටුන්ටය. මෙරට රදල පැලැන්තිය සතුටින් තබා රට යටත් කර තබාගන්නට අධිරාජ්‍යවාදී සුළු පිරිසකට හැකිවිය. එදා මෙන්ම අදටත් සම්මාන පිරිනැමේ. තනතුරු වලට පත් කරති. ඒවායේ හැබෑ අරමුණු හදුනා ගැනීම සුදුසුය. ලෝකයේ නොයෙක් රටවල්, සංවිධාන හිස පළඳවන ඔටුණු ඉතා ආකර්ශණීය ඒවා යැයි එකවරම කල්පනා කිරීම සුදුසු නැත. දෙන තනතුරු පමණක් නොව පිරිනැමෙන ගරු සත්කාර ද සම සිතින් ඉවසන්නට නැඹුරු විය යුතුය.

වියට්නාමයේ හමුදා ජෙනර්ල්වරයෙකු හා රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වූ ල ඩුක් තෝ (Le Duc Tho) ජගත් ප‍්‍රජාවගෙන් ලැබුණ ඇගයීම අභිමානයට හේතුවක් කරගත්තේ නැත. ඇමරිකාව සමග දරුණු යුද්ධයක පැටලී සිටි වියට්නාමය ගෞරවාන්විත සටනක් කළේය. වියට්නාම සෙබළුන්ගේ දක්ෂතා ගැන අදත් ලෝක ප‍්‍රජාව සිහිපත් කරයි. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ව සිටි හෙන්රි කිසිංජර් ඇමරිකා වියම්නාම් යුද්ධය නතර කර සාම ක‍්‍රියාවලියක් ආරම්භ කරන ලද අතර එවකට වියට්නාම් හමුදා ජෙනරල් ල ඩුක් තෝ සහ හෙන්රි කිසිංජර් දෙදෙනා නොබෙල් සාම ත්‍යාගයේ සම හිමිකරුවන් බව එහි සංවිධායකයෝ ප‍්‍රකාශයට පත් කළහ. වියට්නාම් ජෙනරල් ඩුක් තෝ නොබෙල් සාම තෑග්ග ප‍්‍රතික්ෂේප කළේය. ඔහු ප‍්‍රතිපත්ති අගය කළේය. සාම ගිවිසුම අත්සන් කළ ප‍්‍රතිවිරුද්ධ පාර්ශවය එය උල්ලංඝනය කරන ලද අතර එසේ තිබිය දී තමන් සම්මානයට පාත‍්‍රවිය යුතු නැති බව එකහෙලා කියා සිටියේය. නොබෙල් තෑග්ග එපා කියන ලද ජාතික වීරයෙකු සේ හෙතෙම වියට්නාමයේ විරුවන් අතර සැතපෙන  බව මෙහි දී සඳහන් කළ යුතුය. යුද්ධයක් හමාර කර සිය රටේ ජනතාව ගේ ගැහැට අවසන් කරන ලද නායකයෙකු වශයෙන් සාම ත්‍යාග ලබාගෙන පසුව එය මහ උත්සවයක්  පවත්වා රටට ගෙනැවිත් තමන්ගේ වැසියන් ඉදිරියේ මහා පුරුෂයෙකු වීමට වියට්නාමයේ ජෙනරාල්වරයාට උවමනාවක් තිබුණේ නැත.

මුලින් සඳහන් කළාක් මෙන් එවැනි විශිෂ්ඨතා ශ‍්‍රී ලංකාවෙන් පිළිබිඹු නොවේ. නොයෙක් අවස්ථාවල ලෝකයේ නොයෙක් සංවිධාන වලින් තනතුරුවලට ලැබෙන පිලිගැනීම පුද්ගලික ජයක් සේ සලකා මහෝත්සව පවත්වති. සම්මාන හෝ තනතුරු වලට තමන්වම පත් කරගැනීමට ඇති අවස්ථා තිබේදැයි සොයා බලා ඒවා ඉල්ලා සිටිති. නාම යෝජනා ඉදිරිපත් කර නම ලැයිස්තුගත වූ පමණින් එය විශාල පිලිගැනීමක් සේ ප‍්‍රචාරය කරවති. තම නායකයා ලෝකයේ පිලිගත් සංවිධානයක ගරු තැනක බව දක්වන ප‍්‍රචාරක ව්‍යාපෘති ගෙන යන්නට නායකයන් පමණක් නොව ආධාරකරුවන්ට ඉතා කැමැත්තක් දක්වති.

වීරයෝ බිහි වෙන්නේ ජනතාව අතරින්ය. ජනතා හදවත්වල සදා නොමැකෙන මතක සටහන් ඉතිරි කරන මිනිසුන් සදාකාලිකව ජනතාවගේ මතකයෙහි තැන්පත් වෙති. රට එක්සේසත් කර නරපතියන් හා සමානව එක වැවක් හැදු මනුෂයෙකු ඔසවා තබන්නට ලාංකේය ඉතිහාසය නැඹුරු වී තිබේ. මිනිසුන්ගේ දුක සොයා එය තුනී කරන්නට ගමින් ගම ගිය සාමාන්‍ය පුද්ගලයෝ සම්මාන නැතත් ජනතා ගෞරවයට පාත‍්‍ර වී සිටිති. කිසියම් හෝ මෙහෙවරක් කළ ජාතික, ආගමික හෝ සමාජ නායකයෙකු අමතක කරන්නට මෙරට පොදු ජනතාව සූදානම් නැත.

ජනතාවගෙන් නැගෙන අත් පොලසන් නාදය මිහිරි බව හිතන නායකයන් රටට අවශ්‍යය. තමන්ගේ හෘද සාක්ෂියට අනුකූලව ක‍්‍රියා කරන්නට සමත්  ල ඩුක් තෝ වැනි චරිත අපට උවමනා කර තිබේ. හිමි වූ තනතුරකින් කීර්තියක් උපයා ගැනීමට වඩා ජනතාවට සේවය කර ලබන ප‍්‍රසංසාව ඉතාම වැදගත්ය. උත්සව දහසක් අවසානයේ දී ලබන සතුටට වඩා එක වැළඳ ගැනීමක් ප‍්‍රමාණවත්ය. වියට්නාම් ජෙනරල්වරයා නොබෙල් තෑග්ග ලබාගෙන මවුබිමට පැමිණ උත්සවාකාරයෙන් සතුටුවූවා නම් අද ඔහු අවධානයට ගැනෙන්නේ නැත.