Main Logo

Saturday 25 August 2018

බටහිර දැනුම හා සිංහල ජාතිය


බටහිර දැනුම හා සිංහල ජාතිය





මෙරට අවුරුදු ලක්‍ෂයකට වැඩි කාලයක් මිනිසුන් ජීවත් වන්න ඇති. මා බටහිර විද්‍යාඥයන්ගේ අප්‍රිකාවෙන් පිටතට කියන කතාව පිළිගන්නේ නැහැ. පසුගිය දා චීනයේ  අප්‍රිකාවට වැඩි කාලයක් මානවයන සිටි බවට ඊනියා සාක්‍ෂි ලැබුණා. මේ ඊනියා සාක්‍ෂි තමයි. ඒවාට අප සාක්‍ෂි කියන්නේ බටහිර විද්‍යාඥයන් එසේ කියන නිසා. ඒ සාක්‍ෂි ලෙස පිළිගැනීමට අපට බලකරන්නේත් බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන්. බටහිර විද්‍යාඥයන්ගේ ඊනියා සාක්‍ෂි අනුව අප අදහස් වෙනස් කර ගන්නවත් අදහස් ඇති කර ගන්නවත් අවශ්‍ය නැහැ. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ අවජාතක දරුවන් නම් අදහස් ලබා ගන්නේ බටහිරින්.




අප මානවයාගේ ආරම්භය පිළිබඳ ඩාවින්ගේ බටහිර කතන්දරය පිළිගත්තත් ඒ ඊනියා ආරම්භය එක් තැනක සිදුවූවක් කියා ගත යුත්තේ ඇයි? මේ එක් තැනක ආරම්භය ගලා එන්නේ රේඛීය චින්තනයෙන් හා ආරම්භයක් තිබිය යුතු ය යන අදහසෙන්. මේ දෙවියන් වහන්සේ මිස වෙනත් දෙයක් නො වේ. දෙවියන් වහන්සේ සියල්ලෙහි මුල ඉන්නාක් මෙන් බටහිර විද්‍යාවේ මුල ඇත්තේ මහා පිපිරුම.



මහා පිපිරුමට විකල්ප මත ගොඩනැගීමට බටහිර විද්‍යාවේ ඉඩක් නැහැ. වරක් මහා පිපිරුම පිළිබඳ සම්මන්ත්‍රණයක් වතිකානුවේ පැවැත්වුණා. ඒ දෙවියන් වහන්සේගේ මූලස්ථානය වැන්නක්. වතිකානුව දෙවියන් වහන්සේ නැති මහා පිපිරුම ගැන සම්මන්ත්‍රණයක් සංවිධානය කෙළේ අහවල් දේකට ද? මහා පිපිරුමේ දෙවියන් වහන්සේ ඉන්න බව වතිකානුව දන්න නිසා. හැරත් ඒ සම්මන්ත්‍රණයට ආරාධනා කර තිබුණේ මහා පිපිරුම් ප්‍රවාදය (කතන්දරය) පිළිගන්නා අයට පමණයි.



ෆ්‍රෙඩ් හොයිල් බර්බිජ් ආදී විකල්ප මතධරීන්ට එයට ආරාධනය කර තිබුණේ නැහැ. ඔවුන් මහා පිපිරුම් කතන්දරය වෙනුවට සතත අවස්ථා ප්‍රවාදය (steady state theory) ඉදිරිපත් කර තිබුණා. එයින් කියැවෙන්නේ විශ්වයට ආරම්භයක් නොමැති බවත් එහෙත් විශ්වය ප්‍රසාරණය වන බවත් ඒ ප්‍රසාරණය නිසා ලැබෙන අවකාශය පිරවීමට ද්‍රව්‍ය නිරන්තරයෙන් ඇති වන බවත්. ඔවුන් කියා සිටියේ විශ්වය අවකාශයේ මෙන් ම කාලයේ ද සමමිතික බවයි.



මහා පිපිරුම් ප්‍රවාදයෙහි විශ්වය සමමිතික වන්නේ අවකාශයෙහි පමණයි. (එය සමමිතික ද යන්න වෙන ම ප්‍රශ්නයක්. ඔවුන් කියන්නේ ග්‍රහ මණ්ඩල මන්දාකිණි ආදිය නොසළකා හැර සමස්තයක් ලෙස ගත් කළ විශ්වය සමමිතික බවයි.) එහෙත් හොයිල් කියා සිටියේ සාපේක්‍ෂතාවාදය අනුව විශ්වය අවකාශයේ සමමිතික නම් කාලයෙහි ද සමමිතික විය යුතු බවයි. මහා පිපිරුමට අනුව කිනම් දිශාවක් බැලුවත් විශ්වය එක ම අයුරින් නිරීක්‍ෂණය විය යුතුයි.



හොයිල් එයට තවත් දෙයක් එකතු කරමින් කිව්වේ විශ්වය කවදා නිරීක්‍ෂණය කළත් එක ම ආකාරයකට පෙනී යා යුතු බවයි. එනම් ඕනෑම නිරීක්‍ෂකයකුට විශ්වය එකම අවස්ථාවක ඇති බව පෙනී යා යුතුයි. ඔහුගේ ප්‍රවාදයට (කතන්දරට) සතත අවස්ථා ප්‍රවාදය යැයි කියන්නේ එබැවිනුයි. ඒ අනුව විශ්වයට ආරම්භයක් නැහැ. හැමදාමත් හැම දිශාවකට ම විශ්වය එක ම අයුරකින් පෙනී යා යුතුයි.



වතිකානුවත්, වරතමාන විද්‍යා වතිකානුවත් සතත අවස්ථා කතන්දරයට කැමති වුණේ නැහැ. එය දෙවියන් වහන්සේට පටහැණි නිසා. එබැවින් ඔවුන් හොයිල්ටත් බර්බිජ්ටත් තවත් අයටත් වතිකානු සම්මන්ත්‍රණයට ආරාධනා කළේ නැහැ. දැන් මෙයින් බටහිර විද්‍යාවේ ඇති නිදහස ගැන යමක් කියැවෙනවා.  පැරණි වතිකානුවත් නව විද්‍යා වතිකානුවත් අන් මත ඉවසන්නේ නැහැ. ඔවුන් රේඛීය චින්තනයෙන් පිට යන්නේ නැහැ. කෝ ඔය කියන භාෂණ නිදහස. හොයිල් තාරකා භෞතික විද්‍යාවට වැදගත් කතන්දර එකතු කර ඇති නමුත් ඔහුට කිසි දිනෙක නොබෙල් තෑග්ග දීමට බටහිර විද්‍යාඥයන් උත්සුක වුණේ නැහැ.



සමහරු අපෙන් අහනවා අප නිර්මාණය කරන ප්‍රවාද කෝ කියලා. කැලණිය විශ්වවිද්‍යාලයේ වසන්ත කටුගම්පොළ හොයිල්ටත් එහා ගොස් අයින්ස්ටයිනීය ක්‍ෂෙත්‍ර සමීකරණ සංශෝධනය කරමින් විටෙක ප්‍රසාරණය වන විටෙක සංකෝචනය වන විශ්වයක ආකෘතියක් නිර්මාණය කළා. එය සංවට්ට කප්ප විවට්ට කප්ප අනුව යන්නක්. හිතනවා ද එයට බටහිර විද්‍යාඥයන් තැනක් දේවි කියා. එහෙම දුන්නොත් දෙවියන් වහන්සේ නීට්ෂෙ කීවාක් මෙන් නොව සැබෑවට ම මිය යනවා.



එක් තැනක මිනිස් ආරම්භයක් ගැන කියන්නේ බටහිර විද්‍යාවට හෙවත් නූතනත්ව වතිකානුවට එකඟ ව. මා කියා ගෙන ආවේ අප රටේ ඉතිහාසය ගැන කියද්දී ඊනියා පුරාවිද්‍යාඥයන් නුතනත්ව වතිකානුවට (බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට) එකඟ ව පිටින් මෙරටට මිනිසුන් ආ බව කියනවා. ලංකාව බොහෝ කලකට පෙර අද ඉන්දියාව කියන උප මහාද්වීපයට යාව තිබුණා නම් ඒ බිම් කඩේ සිටි මිනිසුන් ලංකාවේත් ඉන්න ඇති.



මිනිසුන් කොපමණ කලක් අද ලංකාව නමින් හැඳින්වෙන භූමියේ සිටියත් මෙරට සිංහල ජාතිය ජාතියක් ලෙස ඇතිවුණේ කවදාද යන්න ප්‍රශ්නයක්. අද ඇතැමුන් බෞද්ධයන් වීමට පෙර මෙරට සිංහල ජාතියක් තිබූ බව කියනවා. ඔවුන්ට බෞද්ධකමට වඩා සිංහලකම වැදගත්. ඕල්කට් බෞද්ධයනට සිංහලකමට වඩා බෞද්ධකම වැදගත්.



මෙරට සිංහල බස (හෙළ බස) කතා කළ මිනිසුන් අවුරුදු දසදහසකට පෙරත් ඉන්න ඇති. අපවත් වී වදාළ බද්දේගම විමලවංශ හිමියන්ට අනුව යක්‍ෂ නාග දේව රාක්‍ෂස ආදීන් කතා කර ඇත්තේ හෙළ බස. එක් භාෂාවක් කතා කළ පමණින් මිනිස් කොට්ඨාශයක් (කොට්ඨාශ කිහිපයක්) ජාතියක් වන්නේ නැහැ. මා කතා කරන්නේ ඊනියා ජාතික රාජ්‍යවල රටවැසියන් හෙවත් පාස්පෝට් රටවැසියන් ගැන නො වෙයි. හෙළ බස කතා කරමින් සිටි ජනතාව සිංහයන් ද සමග එකතුව ජාතියක් බවට පත්වුණේ ගැමුණු රජු දවස. ඒ අර මිනිසුන් එකතු කරන සංස්කෘතියක් ඇති කිරීමෙන්. ඒ සංස්කෘතිය (හැදිච්චකම) ඇති කිරීමට බුද්ධාගම ආධාර වුණා. සිංහල නම් ජාතිය ලෙස එදා හැඳින්වුණේ සිංහල බෞද්ධයන්. අද ප්‍රශ්නය වී ඇත්තේ මේ ජාතියට දෙමළ මුස්ලිම් ජනයා එකතු කර ගන්නේ කෙසේ ද යන්න මිසක් පාස්පෝට් ජාතියක් ගොඩ නැගීම නො වෙයි. චීන ජාතියටත් භාෂාවක් රාජ්‍යයක් හා කොන්ෆියුෂීයස් සහ තාමේ දහම් මත පදනම් වූ සංස්කෘතියක් ද තිබෙනවා.



අප පළමුව සිංහල බෞද්ධකම රැක ගත යුතුයි. එය සිංහල හා බෞද්ධ යනුවෙන් දෙකකට කැඩීමට බොහෝ දෙනා උත්සාහ කරනවා. ඒ අතර පඬියන් ඊනියා කලාකරුවන් (ඔවුන්ට කලාකරුවන් යැයි කීවත් ඔවුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අවජතක දරුවන්) බටහිර ක්‍රම අනුගමනය කරන පුරා විද්‍යාඥයන් හා තවත් අය ඉන්නවා. අපි පළමුව සිංහල බෞද්ධකම ශක්තිමත් කර දෙමළ මුස්ලිම් ජනයා අවශෝෂණය කර ගන්නේ කෙසේ දැයි කල්පනා කරමු.