Sharing a poem by Suharshinie Dharamarathna, on  this Black July anniversary.

ජූලි මාසය කළු වුනේ ඇයි?

Why Amma Why We Call it Black July

 

ජූලි මාසය ලස්සනයි හරි ඇහැළ මල් පෙති විසිරිලා

පවර දළදා සමිඳු පිදුමට නුවර වීදිය සැරසිලා

ඇසළ මසකලු අපේ මහසත් මෙත් සිතින් නික්මන් කලේ

අම්මේ මට තේරෙන්නේ නෑ ඇයි ජූලි මාසය කළු වුනේ?

 

බෙහෙත් බොනවට තල් හකුරු දෙන ඩොක්ට නාදන් යාපනේ

බෙහෙත් එක්කම කැවිලි අරගෙන කොළඹ කොටුවෙන් ගොඩ වුනේ

කන්ද පාමුළ හූ කියාගෙන එදා දුම්රිය නැවතුනා

පීලි මත ලේ මිදුණු කළුවෙන් ජූලි මාසය කළු වුනා

 

පිච්ච මල් වැල් වරල ගවසා සුදු සිනා උතුරින් ගෙනා

රාජිණී මිස් ඇන්ද තිලකය එදා කඳුලින් සේදුණා

අයනු ආවනු එකට පැටලී  හෝඩි පොත අමතක වුනා

ඇගේ මුහුණේ ඇඳුණු කළුවර ජූලි කළුවට යාවුණා

 

සිංහ වෙස් ගත් කැනහිලුන් කැල වලිග කොන ගිනි දල්වලා

දුව දුවා කඩ වීදි අවුලා සොයුරු පෙම ගිනිබත් කළා

කඳු මතින් පැන බුර බුරා නැගී වෛරයේ කළු දුම් වලා

දව දවා බැඳි යදම් බිඳ දා දෙරණ අහසම කළු කළා

 

කඳු මුදුන් වල මීදුමෙන් මට තාම දුම් රොටු පේනවා

කන්ද පාමුල බාලචන්ද්‍රන් කිරි සිනාවක් පානවා

නුඹට ගෙන ආ දෝසි අහුරක් පුංචි දෝතේ තබනවා

ජූලි කළුවර සුදු කරන්නට හීනයක් මට තියෙනවා

 

 

සුහර්ෂිනී ධර්මරත්න