sol lewitt red square white letters

පහතින් පළ වන්නේ සොල් ලෙවිට් (Sol Lewitt) නම් ඇමරිකානු ජාතික දෘශ්‍ය කලා ශිල්පියා ගේ (නමුත් සත්‍ය වශයෙන්ම ‘දෘශ්‍ය’ යන යෙදුම මෙහිදී යෝග්‍ය නොවන්නේ ඔහු සිය භාවිතාව තුළ අභියෝගයට ලක් කරන්නේම මෙම ‘දෘශ්‍යබවේ’ ඇති ආධිපත්‍යය වීමයි) ‘Sentences on Conceptual Art’ නම් කෙටි ලියවිල්ලක සිංහල පරිවර්තනයයි. ‘සංකල්පීය කලාව’ (Conceptual Art) නම් දෘශ්‍ය කලා ව්‍යාපාරය – පොදුවේ හැඳින්වෙන්නේ මේ ආකාරයටයි – සඳහා බලපෑමක් කළ ලියවිලි අතරින් මෙය වැදගත් එකකි. 1969 වසරේ ‘Art-Language’ නම් බ්‍රිතාන්‍ය සඟරාවේ පළමු වරට පළ වූ මෙම ලියවිල්ල නූතනවාදී චිත්‍ර කලාවේ ඓතිහාසික අවසානය හඳුනා ගත හැකි එක නිශ්චිත ලක්ෂ්‍යයක් ලෙස අපට ගත හැකිය.

 

***

සංකල්පීය කලාව ගැන වැකි

 

  1. සංකල්පීය කලාකරුවන් යනු බුද්ධිවාදීන් නොව ගූඨවාදීන් වේ. තර්ක ශාස්ත්‍රය වෙත ළඟා විය නොහැකි නිගමන වෙත ඔවුන්ට පැන ගත හැකිය.

 

  1. සබුද්ධික විනිශ්චයන් මගින් සබුද්ධික විනිශ්චයන් පුනරාවර්තනය කරයි.

 

  1. තර්ක ශාස්ත්‍රීය නොවන විනිශ්චයන් නව අත්දැකීම් වෙත ඉඩ විවර කර දෙයි.

 

  1. ආකෘතික කලාව (Formal Art) මූලිකවම සබුද්ධික වේ.

 

  1. සබුද්ධික නොවන සිතුවිලි පරම ලෙස සහ තර්ක ශාස්ත්‍රීය ලෙස අනුගමනය කළ යුතුය.

 

  1. කෘතිය ක්‍රියාවට නගනා අතර මැද කලාකරුවා ඔහුගේ අදහස වෙනස් කරන්නේනම් ඔහු අවසන් ප්‍රතිඵලය අවධානමට ලක් කරන අතර අතීත ප්‍රතිඵල පුනරාවර්තනය කරයි.

 

  1. කලාකරුවා ගේ පුද්ගලික අරමුණ, අදහස ආරම්භ වීමේ සිට අවසාන සම්පූර්ණ කිරීම දක්වා ඔහු ආරම්භ කරනා ක්‍රියාවලියට සාපේක්ෂව ගත්විට ද්වීතීක වේ. ඔහුගේ පුද්ගලික කැමැත්ත යනු ඔහුගේ මමත්වය පමණක් විය හැක.

 

  1. චිත්‍ර ශිල්පය සහ මූර්ති ශිල්පය වැනි වචන යොදා ගන්නා විට ඒවා මගින් සම්පූර්ණ සම්ප්‍රදායක් හැඟවෙන අතර ඉන් පසුව මෙම සම්ප්‍රදායට යටත්වීමක් ඉඟි කරයි. මේ මගින් කලාකරුවා මත සීමා පනවන අතර මෙම සීමාවන් ඉක්මවා යන කලාවක් නිර්මාණය කිරීමට ඔහු එතරම් කැමති වන්නේ නැත.

 

  1. සංකල්පය සහ අදහස යනු එකක් නොවේ. පළමුවැන්නෙන් ඉඟි කරන්නේ පොදු දිශානතියක් වන අතර දෙවැන්න යනු පළමුවැන්නේ අනු කොටස් වේ. සංකල්පය ක්‍රියාත්මක කරන්නේ අදහස් වලිනි.

 

  1. කලාකෘති බවට පත්විය හැක්කේ අදහස් වලට පමණි. වර්ධනය වෙමින් තිබෙනා දාමයක් තුළ ඒවා තිබෙන අතර අවසානයේදී ඒවාට යම් යම් ආකෘති මුණ ගැසිය හැකිය. සෑම අදහසක්ම භෞතික කළ යුතු නොවේ.

 

  1. අදහස් සෑම විටම ගමන් කරන්නේ තර්ක ශාස්ත්‍රීය පිළිවෙලකට නොවේ. ඒවා මගින් එකක් අනපේක්ෂිත දිශාවකට යා හැකි වුවත් දෙවැනි අදහසක් ඇති විය හැක්කේ පළමු අදහස මනස තුළ අනිවාර්යයෙන් සම්පූර්ණ වීමෙන් පසුවයි.

 

  1. භෞතික බවට පත්වන සෑම කලා කෘතියක් සඳහාම එලෙස භෞතික බවට පත් නොවුණු වෙනත් මාදිලීන් බොහෝ ගණනක් තිබේ.

 

  1. කලාකරුවාගේ මනසේ සිට නරඹන්නා ගේ මනස දක්වා අතරමැද තිබෙන මග පෙන්වන්නෙක් ලෙස කලා කෘතිය හඳුනා ගත හැකිය. නමුත් එය නරඹන්නා වෙත කවදාවත් ළඟා නොවීමට ඉඩ ඇති අතරම කලාකරුවාගේ මනසෙන් කවදාවත් පිට නොවීමටද ඉඩ තිබේ.

 

  1. කලාකරුවන් දෙදෙනෙක් එක සංකල්පයක් බෙදා ගන්නේනම් එක කලාකරුවෙක් ගේ වචන මගින් අනෙකා තුළ අදහස් දාමයක් උත්පාද කළ හැක.

 

  1. කිසිදු ආකෘතියක් තවත් ආකෘතියකට වඩා නෛසර්ගිකව උත්තරීතර නොවන නිසා කලාකරුවා හට ඕනෑම ආකෘතියක් යොදා ගත හැක – වචන වල (ලිඛිත හෝ වාචික හෝ) ප්‍රකාශනයක සිට භෞතික යථාර්ථයක් දක්වා සමාන ලෙස යොදා ගත හැක.

 

  1. වචන යොදාගෙන ඇතිනම් සහ ඒවා පැන නගින්නේ කලාව පිළිබඳව අදහසකින්නම්, එවිට ඒවා කලාව මිස සාහිත්‍යය නොවේ, සංඛ්‍යා යනු ගණිතය නොවේ.

 

  1. කලාව සමග බැඳුනු සහ කලාවේ සම්ප්‍රදායන්ට අයත් වන සියලු අදහස් කලාව වේ.

 

  1. සාමාන්‍යයෙන් අප අතීතයේ කලාව තේරුම් ගන්නේ වර්තමානයේ තිබෙනා සම්ප්‍රදායන් වලට අනුව වන අතර මේ මගින් අතීතයේ කලාව වැරදියට වටහා ගනියි.

 

  1. කලාවේ සම්ප්‍රදායන් කලා කෘති මගින් වෙනස් කරයි.

 

  1. සාර්ථක කලාව මගින් අපගේ සංජානනයන් වෙනස් කරමින් සම්ප්‍රදායන් පිළිබඳව ඇති අවබෝධය වෙනස් කරයි.
  2. අදහස් සංජානනය කිරීම මගින් නව අදහස් වෙත මාවත් විවර වේ.

 

  1. කලාකරුවාට සිය කලාව පරිකල්පනය කළ නොහැකි අතර එය සම්පූර්ණ වන තුරු එය සංජානනය කිරීමට නොහැකි වේ.

 

  1. එක කලාකරුවෙක් විසින් කලාකෘතියක් වැරදියට සංජානනය කළ හැක (එනම් මුල් නිර්මාණ කරුවාට වෙනස් ලෙස එය අවබෝධ කරගත හැකිය). නමුත් මේ වැරදි අල්වා ගැනීම මගින් ඔහු ඔහුගේම සිතුවිලි දාමයක් වෙත ගමන් කරනු ඇත.

 

  1. සංජානනය ආත්ම සාපේක්ෂ වේ.

 

  1. කලාකරුවා අනිවාර්ය ලෙස ඔහුගේ කලාව අවබෝධ කරගන්නේ නැති විය හැක. ඔහුගේ සංජානනය අනෙකන්ට වඩා හොඳ හෝ නරක හෝ වන්නේ නැත.

 

  1. කලාකරුවෙක් ඔහුගේ කලාවට වඩා අනෙකන්ගේ කලාව හොඳින් සංජානනය කරන්නට ඉඩ තිබේ.

 

  1. කලා කෘතිය යන සංකල්පය සඳහා එම නිර්මාණයේ අමුද්‍රව්‍ය හෝ එය නිර්මාණය වුනු ක්‍රියාවලිය හෝ ඇතුලත් විය හැක.

 

  1. නිර්මාණය පිළිබඳව අදහස කලාකරුවාගේ මනසේ ස්ථාපිත වූ පසු සහ අවසන් ආකෘතිය තීරණය වූ විට ඉතිරි ක්‍රියාවලිය සිදු වන්නේ නොදැනුවත්වයි. කලාකරුවාට පරිකල්පනය කළ නොහැකි අතුරුඵල රාශියක් තිබේ. මේවා නව නිර්මාණ සඳහා අදහස් ලෙස භාවිතා කළ හැක.

 

  1. මෙම ක්‍රියාවලිය යාන්ත්‍රික වන අතර එයට බාධා නොකළ යුතුය. එහි ගමනාන්තය වෙත එය යා යුතුය.

 

  1. කලා කෘතියක් තුළ අඩංගු වන සංඝටක විශාල ප්‍රමාණයක් තිබේ. වඩාත් වැදගත් වන්නේ වඩාත් ප්‍රමුඛ ලෙස පෙනෙනා දේවල්ය.

 

  1. කලාකරුවා විසින් එකම ආකෘතියක් කෘති කීපයකට යොදා ගන්නේනම් සහ අමුද්‍රව්‍ය වෙනස් කරන්නේනම්, කලාකරුවාගේ සංකල්පය තුළට අමුද්‍රව්‍ය ඇතුලත් වන බව අපට උපකල්පනය කළ හැක.

 

  1. සරලමතික අදහස් සුන්දර ලෙස ක්‍රියාවට නැංවීම මගින් බේරා ගත නොහැක.

 

  1. හොඳ අදහසක් අසාර්ථක කරගැනීම අපහසු වේ.

 

  1. කලාකරුවා සිය ශිල්පය අනවශ්‍ය ලෙස ප්‍රගුණ කළ විට ඔහු නිපදවන්නේ ආටෝප කලාවයි.

 

  1. මේ වාක්‍යය කලාව ගැන විස්තර විචාරයක් කරයි. නමුත් ඒවා කලාව නොවේ.

 

සොල් ලෙවිට්

පරිවර්තනය – වංගීස සුමනසේකර

 

 

 

***