පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, May 23, 2018

ගූගල් කැමරාව දැකපු අද්භූත දේවල් - Mysterious things captured by Google Camera

ගූගල් සිතියම ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති තරම්. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා මේ ගැන දන්නවා වගේම එය භාවිතටත් ගන්නවා. ගමන් බිමන් යද්දි, නොදන්නා තැනක් සොයා ගන්නට අවශ්‍ය වෙද්දි ගූගල් සිතියම නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ගූගල් සිතියමත් එක්කම බැඳුණු තවත් දෙයක් තමයි ගූගල් ස්ට්‍රීට් වීව්’ (Google Street View)  කියන්නේ. ගූගල් සිතියමෙන් අපට පෙන්වන්නේ චන්ද්‍රිකා මගින් ගත් ඡායාරූප. නමුත් ස්ට්‍රීට් වීව් එකෙන් පෙන්වන්නේ මාර්ගයක ගමන් ගනිද්දී අප දකින ආකාරයේ දසුනක්. ගූගල් සමාගම ලොවට දායාද කළ මේ පහසුකම් දෙක අද වන විට ලෝකය පුරා පුදුමාකාර ලෙස ජනප්‍රිය වෙලා තියෙනවා. කොහොම වුනත් ගූගල් සිතියමටත්, ගූගල් ස්ට්‍රීට් වීව් එකටත් හසු වුණු අමුතු දර්ශන බොහොමයක් ගැන අපූරු තොරතුරු අන්තර්ජාලයේ තිබෙනවා. මේවා ඇතැම් විට පුදුමාකාරයි. ඇතැම් විට බිය දනවන සුළුයි. ඇතැම් ඒවා මොනවාද කියා තේරුම් ගන්නටත් අපහසුයි. මේ වගේ දේවල් කිහිපයක් ගැන ටිකක් කතා කරන එක හොඳයි කියලා සිතුණේ මේ නිසයි.

මිනිස් දෙතොල



ගූගල් සිතියමට හසු වුණු මේ අපූරු දසුන තියෙන්නේ සුඩානයේ. මේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පෙනෙන්නේ රක්ත පැහැයෙන් යුක්ත, දැවැන්ත මිනිස් දෙතොලක්. කඳු වැටිවලින් නිර්මාණය වුණු මේ දසුන තිබෙන්නේ සුඩානයේ ඝරාබ්, ඩාර්ෆූර් කියන ප්‍රදේශයේ. බැලූ බැල්මට පෙනෙන්නේ අවට ඇති සියලු දේ ගිල දමනා යෝධ දෙතොලක් ලෙසයි.



සුන්බුන් නෞකාව



මේ සුන්බුන් නෞකාව දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපය අරන් තිබෙන්නේ සුඩානයට අයත් මුහුදු තීරයෙන්. 2003 වසරේ දී අනතුරට පත්ව ඇති මෙම නෞකාව එස්.එස්. ජාසිම් නමින් හැඳින්වෙනවා. 80.54 ක් දිග අඩි 13ක් පළල මෙය   බොලීවියානු මගී සහ භාණ්ඩ නෞකාවක්. මෙය වෙරළට කිට්ටුවෙන් යාත්‍රා කරද්දී වින්ගෙට් කොරල් පරය අසල දී මෙසේ අනතුරට පත් ව තිබෙනවා. කෙසේ නමුත් මේ ප්‍රදේශයට සාමාන්‍යයෙන් මිනිසුන්ට ළඟා විය නොහැකි ප්‍රදේශයක් ලෙසටයි වාර්තා වී තිබෙන්නේ. අපහසුවෙන් හෝ මේ කරා ළඟා වුනත්, මේ අවට මහා දරුණු ගෝත්‍රිකයන් ජීවත් වනවා යැයි පැවසෙනවා



මේසා හුවර්ෆානිටා



මේසා හුවර්ෆානිටා තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රදේශයේ. මෙම චන්ද්‍රිකා ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොළොවේ කොටන ලද දියමන්ති සංකේත දෙකක් වටා වූ වෘත්ත දෙකක්. මේ වෘත්ත දෙක එකිනෙක කැපී යන ආකාරයෙන් පිහිටුවා තිබෙනවා. දැනට දැනගන්නට ලැබී තිබෙන තොරතුරුවලට අනුව මෙම සංකේතය සම්බන්ධතාවක් දක්වන්නේ චර්ච් ඔෆ් සයන්ටොලොජිනම් ආගමික සංවිධානයටයි. මෙහි ඔවුන්ගේ රහස් ආරක්ෂක නිවාස ඇතැයි පැවසෙනවා. බයිබලයේ එළිදරව් පොතේ සඳහන් වන ලෝකාවසානයේ අවසන් මහා යුද්ධය වන ආමගෙඩොන්අවස්ථාවේ දී ලෝකයෙන් පිටතට ගොස් පුනරාගමනය කරද්දී, මග පෙන්වීමක් ලෙස මෙම සංකේත යොදා ඇති බව චර්ච් ඔෆ් සයන්ටොලොජි සංවිධාන පවසනවා.


අමුතු ත්‍රිකෝණය



මේ අමුතු ත්‍රිකෝණය දකින්නට ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවේ. මහා තිරිඟු යායක් මැද පිහිටි මේ ත්‍රිකෝණයේ දීප්තිමත් ආලෝක ලප කිහිපයක් දකින්නට පුළුවන්. පිටසක්වළ යානා ගැන අධික විශ්වාසයක් අති සියලු දෙනා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ නිසැකවම මෙය තිරිඟු යායට උඩින් පියාසර කළ පිටසක්වළ යානාවක් බවයි. තවත් පිරිසක් පවසන්නේ මෙය සුළං බලයෙන් විදුලිය නිපදවන පද්ධතියක් විය හැකි බවයි. කොටස් තුනක් ලෙස ලෙස ඉදි කොට ඇති මෙය වයර්වලින් එකිනෙක සම්බන්ධ කොට ඇති නිසා ඉහළ සිට බලද්දී ත්‍රිකෝණයක හැඩයෙන් යුක්තව පෙනෙන බවයි ඔවුන් පවසන්නේ.


පස් කොන් තරුව



මේ පස් කොන් තරුව ගූගල් සිතියමට ලැබී ඇත්තේ කසක්ස්තානයෙන්. මම තරුව වටා වූ වෘත්තයේ විශ්කම්භය ආසන්න වශයෙන් අඩි 1,200 ක් පමණ විය හැකි බව පැවසෙනවා. කසක්ස්තානයේ ඉහළ ටොබොල් ජලාශයේ දකුණු ඉවුරේ මෙම පස් කොන් තරුව පිහිටා තිබෙනවා. බොහෝ දෙනෙක් මුලදී පැවසූවේ මෙය යම් ආගමික නිකායකට අයත් සංකේතයක් බවයි. නමුත් විස්තර සෙවීමේ දී දැනගන්නට ලැබුණේ මෙය හුදෙක්ම උද්‍යානයක සැලැස්මක් පමණක් බවයි.


සැන්ඩි දූපත



සැන්ඩි දූපත ලෙස නම් කොට ඇති මෙය ගූගල් සිතියමේ සටහන් වී තිබූ අතර තොරතුරු සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණේ මෙය මෑත කාලයේ මුහුදෙන් මතු වුණු දූපතක් බවයි. ගිනිකොන දිග පැසිෆික් සාගරයෙන් මතු වූයේ යැයි සැලකුණු මේ පිළිබඳ සොයා බලන්නට විද්‍යාඥයන් පිරිසක් ගිය ද, එවැනි දූපතක් සොයා ගැනීමට හැකි වූවේ නැහැ. පසුව මේ පිළිබඳ විස්තර කෙරුණේ එක්කෝ මෙය මිනිස් වරදක් හෝ මුහුදෙන් හදිසියේ මතු වන යමහල් පාෂාණ හෝ විය හැකි බවයි.


වයසක බෝනික්කෝ



මේ වයසක බෝනික්කන් හමුවන්නේ ජපානයේ ෂිකුකු දූපතේ පිහිටි කුඩා ගම්මානයක් වන නගෝරෝවලින්. නගෝරෝ ගම්මානය හඳුන්වන්නේ පඹයන්ගේ ගම්මානයනමින්.  ඒ මෙහි පුදුමාකාර ලෙස බෝනික්කන් සාදන නිසයි. සැබෑ ජීවමාන ප්‍රමාණයේ සාදන බෝනික්කන්ටත් මේ ගම්මානය ප්‍රසිද්ධයි. කෙසේ නමුත් ගූගල් ස්ට්‍රීට් වීව්වලට හසු වූ මෙම බෝනික්කන් සාදා තිබුණේ වයසක ගැහැණියක්. මේ බෝනික්කන් සම්බන්ධව තවත් අද්භූත කතාවක් ද තිබෙනවා. ඒ මේ බෝනික්කන් කිසිදා එකම තැන නොපවතින බවයි. එනම් යම් කිසි බෝනික්කු යම් තැනක තැබුව ද, පසුව බලද්දී එය ඇත්තේ වෙනත් තැනකයි. මේ  බෝනික්කන් සාදන මහළු කාන්තාව නම් පවසන්නේ තමි කිසි දිනෙක මේවායේ ස්ථාන වෙනස් නොකරන බවයි.

අපායට යන පාර




ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ නිව් බෝල්ටිමෝර් හි වීදි ඔස්සේ ගූගල් ස්ට්‍රීට් වීව් මගින් ගමන් කරද්දී මේ අපායට යන පාර බලාගන්නට පුළුවන්. ඔබ කිසිවකු හෝ Silent Hill  නමැති වීඩියෝ ක්‍රීඩාව සෙල්ලම් කොට හෝ දැක හෝ ඇත් නම්, මේ එහි දර්ශනයක් නොවේදැය බැලූ බැල්මට පෙනේවි. කෙසේ නමුත් පසුව දැනගන්නට ලැබුණේ මෙය එක්තරා තාක්ෂණික දෝෂයක් නිසා ඡායාරූපයේ සිදු වූ විකෘති වීමක් බවයි. 


2018 මැයි 6 ලක්බිම රිද්ම

6 comments:

  1. ඇත්තෙන්ම හොඳ විස්තරයක්!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
  2. Replies
    1. තෑන්ක් යූ! තෑන්ක් යූ.

      Delete
  3. Me kiyana widihata සුන්බුන් නැවක් penna naha.link eka klick kalaama yanne sudan walata

    ReplyDelete
    Replies
    1. එතන පොඩි ගැටලුවක් තියෙනවා. මට මුලින්ම හුමුවුණු විස්තරයේ තමයි මේ කතාව මේ විදියට තිබුණේ. නමුත් ඇත්තටම මේ නෞකාව අනතුරට පත්වෙලා සුඩානය අවට. මම නිවරදි විස්තරය අලුතින් එකතු කළා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න