2018/04/04 – ලංකාදීප

milinda-prashna

හාවඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් පින්කර් ලියන ලද කෘතිය අනිවාර්යෙන් කියැවිය යුතු පොතක් බව මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘවරයා වන බිල් ගේට්ස් සිය බ්ලොග් සටහනක දක්වා තිබේ. එයට හේතුවක් ඇත. උපකල්පනය කරන සමහර දේවල් අසත්‍ය බව කරුණු ගවේශනය කිරීමේ දී තහවුරු වන බව එකී ‘‘එන්ලයිට්මන්ට් නව්’’ නමැති කෘතිය පෙන්වාදීමයි. කරුණු පදනම් කරගෙන තීන්දු ගැනීම අවශ්‍ය බව පෙන්වන හෙයින් මෙම පොත වැදගත් බව බිල් ගේට්ස් ගේ අදහස විය හැකිය.

මෙම කෘතියෙහි එක කාරණයක් අනුව මිනීමැරුම් ඇතුළු දරුණු අපරාධ හෙයින් ලෝකය ඉතාම නරක තැනකට පත්ව ඇති බව උපකල්පනය කිරීම වැරදි බව මහාචාර්ය පින්කර් පෙන්වා දෙයි. ජනගහනයට සාපේක්ෂව මනුෂ්‍ය ඝාතන අඩු වී තිබේ. යුද ගැටුම් හෙයින් සිදුවන ඝාතන 1945 වසරේ සිට අද වන විට විසි ගුණයකින් පහත වැටී ඇත. යුද්ධ ඇතිවීම වලක්වන ජාත්‍යන්තර නීති රීති එයට බෙහෙවින් හේතු වී ඇති බව දැක්වෙයි.

ජාත්‍යන්තර පර්යේෂකයන් ගේ මතය එය විය හැකිය. නමුත් ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ට මෙරට සිදුවන මනුෂ්‍ය ඝාතන සහ අපරාධ ගැන වෙනස් අදහසක් ඇති බව පැහැදිලිය. අපරාධ ගැන භීතියක් තිබේ. අපරාධකරුවන් කොටු කරගැනීමට දරන ප‍්‍රයත්නය ගැන බරපතල විවේචන තිබේ. නීතියෙන් ලැබෙන දඩුවම ගැන නොයෙක් අදහස් ඇත.

නීති විරෝධී ගිනි අවි භාවිතා කරන පිරිස් කරන ඝාතන ගණනාවක් මෑත කාලය තුළ වාර්තා විය. ඝාතන කණ්ඩායම් ප‍්‍රසිද්ධියේ කරගෙන යන බව ජනතාව විශ්වාස කරයි. අපරාධකරුවන්ට දේශපාලන බලය හා යම් ප‍්‍රමාණයකට පොලිස් හා ආරක්ෂක අංශ සම්බන්ධතා ඇති බව ජනතාව සැක කරයි. තාක්ෂණය දියුණුය. අපරාධ වැලැක්වීම විෂයයක් සේ දියුණු වී තිබේ. සුළු හෝඩුවාවක් මත සිද්ධි අනාවරණය කරගැනීම පහසු වී ඇති අතර ඉක්මනින් තොරතුරු ගවේශණය කර වරදකරුවන්ට දඩුවම් දිය හැකිය. ශ‍්‍රී ලංකාවේ පොලිසිය හෝ එහි දක්ෂ නිලධාරීහු අවතක්සේරුවට ලක් විය යුතු නැත. එහෙත් අවාසනාවකට මෙන් මෙරට අපරාධ හා මනුෂ්‍ය ඝාතන ගැන  බලවත් ගැටළු තිබේ.

දීර්ඝ කාලයක් යුද ගැටුම් සහිත වාතාවරණයක් පැවැති රටක් සාමකාමී යුගයකට ඇතුළු වීමට කාලයක් ගතවෙයි. නීතියේ ආධිපත්‍ය තහවුරු කර සැනසිලිදායක රටක් ගොඩනගනු සඳහා මෙතෙක් ගත වූ කාලය හොඳටම ප‍්‍රමාණවත්ය. පවතින දුබලතා පාලකයන්ගේ දුර්වලතාවයකි. විනය ඇති කර ජනතාව තුළ භීතිය පහ කරන පරිසරට ඇති කිරීමට වහා පියවර ගත යුතුව ඇත. අධිකරණය හා පොලිසිය වැනි ආයතන කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී තිබේ. බාහිර බලපෑම් එල්ල වී ඇත. ඒවා වලකා අධිකරණය සහ පොලිසිය සම්බන්ධයෙන් වෙනස්කම් කළ යුතු නම් එයට පියවර ගැනීම සුදුසුය.

ලෝකයේ බොහෝ රටවල පොලිස් නිලධාරීහු ජන සමාජය සමග සම්බන්ධය. කොට්ඨාශයේ ජනතාව ගේ ක‍්‍රියාකාරකම් ගැන හොඳ අවබෝධයක් තිබේ. බි‍්‍රතාන්‍ය සහ ජපානය වැනි රටවල පොලිස් නිලධාරීහු නිතර සෙවිල්ලෙන් සිටින අතර නිලධාරීහු බාහිර බලපෑම් වලට යටත් නැත. මෙරට පොලිස් නිලධාරීහු පවා ගමේ චන්ඩියා කවුදැයි හදුනාගෙන සිටියේය. හොරකමක් සිදුවූ විට කළේ කවුදැයි දන්නා තරමට ජනතාව සමග එකට ජීවත් විය. ගමේ ආගමික ස්ථානය තරමටම පොලිසිය ගමට විශාල සම්බන්ධතාවයක පැවැතිණ. පොලිසිය ගිනි අවිගෙන ත‍්‍රස්තවාදය මර්දනය සඳහා යොමු වීම පරිහානියේ ආරම්භය බව දැක්විය යුතුය. දේශපාලනඥයන් පොලිසිය තමන්ට වහල් කරගත්තේය. එයින් ඇති කරන ලද අවාසියට අද ජන සමාජ වන්දි ගෙවමින් සිටී. අපරාධකරුවන් පොලිසිය හා නීතිය අභිබවා පැමිණ ඇති අතර ඝාතනය කර එහි සාක්ෂි දෙපතුල අසලට ගෙනැවිත් දමන තරමට අමානුෂික වී තිබේ.

මෙම පසුබිම ගැන තද අවධානයක් යොමු කළ යුතුය. පූර්ණ ප‍්‍රතිසංවිධානයක් ගැන හිතන්නට අවශ්‍යය. දේශපාලන බලපෑමෙන් තොර කළ යුතු අතර අපරාධ මැඩ පැවැත්වීම සඳහා සැලසුම් සහගත වෘත්තීයවේදීත්වය තහවුරු කිරීම කෙරෙහි පියවර ගත යුතුය.